ගයන්තිකාට රන් පදක්කමක්

  👤  1566 readers have read this article !
Published by : MB WEB 2018-02-05 15:07:40

ඉරානයේ ටෙහෙරාන්හිදී පසුගියදා (3දා) අවසන් වූ ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ගයන්තිකා අබේරත්න ලැබූ රන් පදක්කම මෙන්ම නිමාලි, උපමාලිකා සහ ජනක හිමිකර ගත් ලෝකඩ පදක්කම් තුන හේතුවෙන් පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

එහිදී මීටර් 1500 කාන්තා ඉසව්වට සහභාගි වූ ගයන්තිකා විනාඩි 4යි තත්පර 26.83ක කාලයක් සටහන් කරමින් (නව ගෘහස්ථ වාර්තාවක්ද සහිතව) රන් පදක්කම දිනා ගනිද්දී මීටර් 400 කාන්තා ඉසව්වට සහභාගි වූ උපමාලිකා රත්නකුමාරි තත්පර 54.90ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

තවද ශූරතාවලියේ අවසන් දිනයේදී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.61ක් වාර්තා කළ ජනක ප්‍රසාද් විමලසිරි ලෝකඩ පදක්කමක් දිනාගත් අතර තරගාවලියේ ආරම්භක දිනයේදීම මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගි වූ නිමාලි ලියනආරච්චි විනාඩි 2යි තත්පර 10.83ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කමක් දිනාගත්තද ඇයගේ හොඳම කාලය අසලටවත් ඒමට නොහැකි වී තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් මෙම සිවුදෙනාට අමතරව හෂිනි ප්‍රබෝධා (තුන්පිම්ම) සහභාගි වුවද ඇයට පදක්කමක් කරා යෑමට නොහැකි වී තිබිණි. මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමේදී දිනක ප්‍රමාදයකින් පසුව යෑමට සිදුවූ අතර එයට හේතුව වූයේ මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ වරදින් මතුවූ ගුවන් ප්‍රවේශ පත්‍ර ප්‍රශ්නයක් නිසා පෙර දිනයේ කටුනායක ගුවන් තොටුපොළට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත හැරී ඒමට සිදු වීමයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon