දකුණු අප්‍රිකානු ජනපති ධුරයෙන් සූමා ඉවත්වෙයි

  👤  1739 readers have read this article !
Published by : MB WEB 2018-02-15 13:02:03

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකබ් සූමා වහාම ක්‍රියාත්මකවන පරිදි සිය පදවියෙන් ඉල්ලා අස්විය.

බදාදා සවස (14) සිය තීන්දුව ජනතාවට දන්වනු ලැබුවේ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමිනි.

මීට පෙර, සූමා අයත්වන පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) ඔහුට දන්වා තිබුණේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු අතර එසේ නොමැතිනම් පාර්ලිමේන්තුවේ විශ්වාසය භංගය පිළිබඳ ඡන්ද විමසීමකට මුහුණ දෙන ලෙසය.

අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ අභිනව නායක මෙන්ම නියෝජ්‍ය ජනාධිපති සිරිල් රමෆෝසා හට මාර්ගය විවර කරදෙන ලෙසට එල්ලවූ දැඩි පීඩනයට 75 හැවිරිදි ජේකබ් සූමාට මුහුණ දීමට සිදුවිණි.

2009 වසරේ බලයේ සිටින සූමා දූෂණ චෝදනා ගණනාවකට මුහුණ දී සිටී.

ජනාධිපති ස්ත්‍රී දූෂණයට වැරදිකරු බව උප ජනාධිපති කියයි

ඔහු සමග සමීප සබඳතා පැවති ඉන්දීය සම්භවයක් ඇති බලසම්පන්න හා ධනවත් ගුප්තා පවුල වෙසෙන ජොහැන්නස්බර්ග් නුවර පිහිටි නිවසට පොලිසිය බදාදා ඇතුළුවිය.

'විනයවත් ඒඑන්සී සාමාජිකයා'

ජනාධිපති සූමා සිය ඉල්ලා අස්වීමේ ප්‍රකාශය සිනහවෙන් ඇරඹුවේ, මාධ්‍යවේදීන් වෙතින් බරපතල බවක් පෙනෙන්නේ ඇයිදැයි කවටකම් කරමිනි.

ගෙවීගිය වසර ගණනාව පුරා තමන් සමග එකට ක්‍රියාකළ පුද්ගලයින්ට ගෞරවය පිදීමෙන් අනතුරුව ඔහු පැවසුවේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය තුළ පවතින ප්‍රචණ්ඩත්වය මෙන්ම බෙදීම තමන්ගේ ඉවත්වීමට බලපෑ බවය.

"මං නිසා කිසිම ජීවිතයක් නැතිවෙන්න ඕන නැහැ. ඒ වගේම මං නිසා අප්‍රිකානු ජාතික කොංග්‍රසය කිසිදාක නොබෙදිය යුතුයි. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනරජයේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය යන තීරණයට මා එළඹුණා" යැයි ජේකබ් සූමා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, "මාගේ සංවිධානයේ නායකත්වයේ තීරණය සමග මා එකඟ නොවන නමුත්, මා සෑම විටම අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ විනයවත් සාමාජිකයෙකු වුණා" යනුවෙනි.

"මා ඉවත්ව ගිය ද දකුණු අප්‍රිකාවේ ජනතාවටත්, මා සේවය කළ සංවිධානය වන අප්‍රිකානු ජාතික කොංග්‍රසයටත් මගේ ජීවිතෙන් තවදුරටත් සේවය කරනවා" යැයි ද ජේකබ් සූමා කියා සිටියේය.

ඔහුගේ ඉවත්ව යාම "සැබවින්ම දකුණු අප්‍රිකානු ජනතාව වෙනුවෙන්" බව නිවේදනයක් නිකුත් කරමින් අප්‍රිකානු ජාතික කොංග්‍රසය පෙන්වා දුණි.

එහි නියෝජ්‍ය මහා ලේකම් ජෙසී දුආර්ටේ වාර්තාකරුවන් අමතමින් පැවසුවේ "ජනාධිපති සූමා අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ මූලික සාමාජිකයෙකු ලෙස රැඳෙනවා. ඔහු දැක්වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ආචාර කරන්නට අප්‍රිකානු ජාතික කොංග්‍රසයට අවශ්‍යයි." යනුවෙනි.

වර්ණභේදවාදී සමයේදී අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සන්නද්ධ අංශයේ හිටපු සාමාජිකයෙකු වූ ජේකබ් සූමා පක්ෂයේ විවිධ නිලතල හරහා ජනාධිපති ධුරය දක්වා පැමිණියේය.

නමුත් ඔහු ඉවත්ව යන්නේ ඔහු වටා ඇති අපචාර ක්‍රියා ගණනාවක චෝදනා ද සමගිනි.

(BBC)

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon