පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් ඇතුළු 6කට එරෙහි නඩුව අද

  👤  2529 readers have read this article !
Published by : MB WEB 2018-02-20 10:11:55

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයාගත් මුදල්වලින් ගවර්ස් කෝපරේට් නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි දීමට සිටි සාක්ෂිකරුවකු අසනීප වී රෝහල්ගතව සිටීම හේතුවෙන් නඩු විභාගය අද (20) විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.

මෙම නඩුව (ඉකුත් සිකුරාදා) කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබිණි.

එහෙත් පැමිණිල්ල මෙහෙය වන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සාක්ෂි ලබා ගැනීමට නියමිතව සිටි සාක්ෂිකරුවකු අසනීපව රෝහල් ගතව සිටීම නිසා නඩු විභාගය කෙටි දිනයකට කල් තබන ලෙසයි.

ඒ අනුව නඩු විභාගය අදට (20) කල් දැමූ විනිසුරුවරයා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සෙසු සාක්ෂිකරුවන්ට අවවාද කළේය.

ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඉරේෂා ද සිල්වා, නිත්‍ය සේනානි සමරනායක සහ ගවර්ස් කෝපරේට් සමාගම නම් කර තිබේ.

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තා අධිකරණය මඟහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යෑමට අධිකරණය අවසර දී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon