ජාතික ඔලිම්පික් කමිටුවට නව පාලකයන් තෝරන්නේ අදයි

  👤  2079 readers have read this article !
Published by : MB WEB 2018-02-23 11:25:33

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද පස්වරු 5.00ට කොළඹ 7 ජාතික ඔලිම්පික් කමිටු නිවහනේ ශ්‍රවණාගාරයේදී ආරම්භවීමට නියමිත අතර, නව සභාපතිවරයකු සහ ලේකම්වරයකු ඇතුළු විධායක මණ්ඩලයට නිලධාරීන් 12 දෙනකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මෙම නිලවරණය පැවැත්වෙනු ඇත.

ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාවට අනුව වසර 4කට වරක් නිලවරණයක් පැවැත්විය යුතු වුවත් 2009න් පසුව පැවැත්වෙන මෙවර නිලවරණය සඳහා ඡන්දය භාවිත කිරීමේ අයිතිය අනුබද්ධිත සාමාජික සංගම් 31ක නියෝජිතයන් හට හිමිවී ඇත. ඒ අනුව සභාපතිවරයකු, ප්‍රධාන ලේකම්වරයකු, උප සභාපතිවරුන් සිවු දෙනෙක්, භාණ්ඩාගාරික, උප ලේකම්, උප භාණ්ඩාගාරික හා කමිටු සාමාජිකයන් තිදෙනෙක් රහස් ඡන්දයෙන් තෝරා ගැනීම අද සවස සිදු කෙරෙනු ඇත.

ඒ අනුව සභාපති පුටුව සඳහා ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු සහ ජාතික ටෙනිස් සංගමයේ උප සභාපති සුරෙන්ද්‍රන් සුබ්‍රමනියම් යන මහත්වරුන් තරග කරන අතර, ලේකම් තනතුරට තරග වදින්නේ වත්මන් ලේකම් මෙන්ම ටෙනිස් සංගමයේ හිටපු සභාපතිවරයකු වන මැක්ස්වෙල් ද සිල්වා සහ ජාතික කැනොයින් සම්මේලනයේ සභාපති ප්‍රීතිවිරාජ් පෙරේරා යන මහත්වරුන්ය.

සිල්වා මහතා සුබ්‍රමනියම් පාර්ශ්වයෙනුත්, පෙරේරා මහතා රොහාන්ගේ පාර්ශ්වයෙනුත් එසේ ලේකම් තනතුර වෙනුවෙන් අපේක්‍ෂකයන් වෙද්දී ඩයන් ගෝමස්, පාලිත ප්‍රනාන්දු, එච්. යූ. සිල්වා සහ අනුර ද සිල්වා යන මහත්වරු රොහාන්ගේ පාර්ශ්වයෙන් උප සභාපති තනතුරු සඳහා තරග වදිති. එම තනතුරු හතරට ඊට විරුද්ධ පිලෙන් නාම යෝජනා දී ඇත්තේ ජෝෂප් කෙනී, අසංග සෙනෙවිරත්න, චමින්ද කුමාර මල්ලවාරච්චි, සුමිත් එදිරිසිංහ සහ දම්පත් පණ්ඩුල යන මහත්වරුන්ය.

මේ අතර භාණ්ඩාගාරික තනතුරට සභාපති අපේක්‍ෂක රොහාන්ගේ පාර්ශ්වයෙන් ශිරන්ත පීරිස් මහතා තරග වදින විට ඔහුට එරෙහිව එම තනතුර සඳහා සේනක රණසිංහ හා ගාමිණී ජයසිංහ යන මහත්වරුන් ඉදිරිපත්ව සිටී. උප ලේකම් තනතුරට චන්දන ලියනගේ සහ කංචන ජයරත්න මහතා අතර සටනක් නිර්මාණය වී ඇති අතර, උප භාණ්ඩාගාරික තනතුරට දෙපාර්ශ්වයෙන් සටනට බැස ඇත්තේ දයාන් ද සිල්වා සහ නිශාන්ත පියසේන යන මහත්වරුන්ය. තවද ඔලිම්පික් කමිටුවේ කමිටු සාමාජිකයන් සඳහා ශාන්තසිරි නාලක, චානක හසන්ත, මොහොමඩ් හුසේන්, ඉඳුනිල් රණසිංහ, අජිත් තමෙල් සහ අජිත් කුමාර සියඹලාපිටිය යන මහත්වරුන් තරග බිමට පිවිස ඇත.

කෙසේ වෙතත් මෙම නිලවරණය අධීක්‍ෂණය කිරීම සඳහා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයා ලෙස ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්‍ෂ හයිඩර් ෆාමෙන් මහතා සහභාගිවීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon