ඩුබායිහිදී හෘදයාබාධයකින් මියගිය සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවි

  👤  4491 readers have read this article !
Published by : MB WEB 2018-02-26 10:31:43

සුවහසක් හින්දි චිත්‍රපට ලෝලීන්ගේ ආදරයට පාත්‍රව සිටි සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවි කපූර් (Sri devi Kapoor) ගේ දේහය ඊයේ (25දා) ඩුබායි සිට ඇය සිය පවුලේ අය සමඟ පදිංචිව සිටි මුම්බායි කරා රැගෙන එන ලදී.

සිය ඥාති පුත්‍රයකු වන බොලිවුඩ් සිනමා නළු මොහිත් මර්වාහ් (Mohit Marwah) ගේ විවාහ මංගල්‍යයට සහභාගි වීම සඳහා ඩුබායි කරා ගොස් සිටි ශ්‍රී දේවි බරපතළ හෘදයාබාධයකට ලක්වීමෙන් ඉකුත් සෙනසුරාදා (24දා) රාත්‍රියේ මිය ගියාය.

මිය යන විට ඇයගේ වයස 54කි. ඥාති පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට ඇය සහභාගි වී ඇත්තේ මුද්‍රිත රෝස පැහැති සාරියකින් සැරසීය.

ශ්‍රී දේවි මෙම විවාහ මංගල්‍යයට සහභාගි වීම සඳහා ඇයගේ සැමියා ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයකු වන බොනී කපූර් (Boney Kapoor) සහ ඔවුන්ගේ බාල දියණිය වන කුෂී (Khushi) සමඟ ඩුබායි කරා ගොස් ඇත. දියණියන් දෙදෙනකුගේ ආදරණීය මවක වන ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය වන ජන්වි (Janhvi) ඇයගේ කුලුඳුල්් චිත්‍රපටය වන Dhadak හි රඟපෑම් කටයුතු සඳහා ඉන්දියාවේ නතරව ඇත.

ඩුබායි හි ශ්‍රී දේවි හා පවුලේ අය නැවතී සිටි හෝටලයේදී ඇයට හෘදයාබාධය ඇතිවී ඇති අතර වහාම රෝහල කරා ගෙන ගියත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව ප්‍රකාශ වී ඇත.
ශ්‍රී දේවි ඩුබායි හිදී මියගිය පුවත සැලවීමත් සමඟ එහි ඇත්ත නැත්ත දැනගැනීම සඳහා සමාජ ජාලා වෙබ් අඩවිවල මහත් කැලඹීමක් ඇතිවී තිබේ. ඩුබායි සිට නැවත ඉන්දියාව කරා පැමිණි විගසම වාගේ ශ්‍රී දේවිගේ සැමියාගේ සහෝදරයකු වූ සංජේ කපූර්ට එසැණින්ම නැවත ඩුබායි කරා යෑමට සිදුව ඇති අතර ඔහු විසින් එම ශෝචනීය පුවත තහවුරු කර ඇත. චිත්‍රපට නළු අනිල් කපූර් ශ්‍රී දේවිගේ සැමියා වන බොබිගේ අනෙක් සොහොයුරා වෙයි.

වයස අවුරුදු 4දී චිත්‍රපට රංගනයට එක්වූ ශ්‍රී දේවි උපත ලබා ඇත්තේ සිය පියාගේ උපන් නගරය වූ මදුරාසියේ සිවකාසි හිදීය. මුලින් දෙමළ සහ තෙළිඟු චිත්‍රපටවල රඟපෑ ඇය පසුව හින්දි චිත්‍රපටවල රඟපාමින් බොලිවුඩයේ පළමු "සුපිරි තාරකාව" ලෙස විරුදාවලි ලැබුවාය.

සිය ජීවිත කාලය තුළ චිත්‍රපට 300කට පමණ රංගන දායකත්වය ලබාදීමට මෙම සුපිරි නිළියට හැකි විය.Chandhi, Himmatwala, Chaal Baaz, Nagina, Gumrah, Lamhe යන චිත්‍රපටවල ඇයගේ රඟපෑම් ප්‍රේක්ෂකයාගේ නොමැකෙන මතක සටහන්ය.

එසේම Mr India සහ English Vinglish යන සිනමා පට දෙකෙහිද ඇගේ රඟපෑම් සඳහා බොහෝ පැසසුම් හිමිවිය. නාගීනා හි නාග කන්‍යාව ලෙස ඇයගේ රඟපෑම ප්‍රේක්ෂකයාට අමතක නොවන්නකි.

ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණනාවකින් හා තවත් සිනමා සම්මාන ගණනාවකින් පුදනු ලැබූ ශ්‍රී දේවි 2013දී ඉන්දියාවේ සිවිල් පුරවැසියකුට ලබාගත හැකි ඉහළම සම්මාන අතරින් 4 වැනි තැනට එන "පද්ම ශ්‍රී " සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

ඇයගේ හදිසි මරණයෙන් කම්පනයට පත්වූ සුවහසක් රසිකයන් අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ ජනාධිපති රාම් නාත් කෝවින්ද් ද වෙති.

ඉන්දීය අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මෙන්ම බොලිවුඩ් නළු නිළියෝද දෙස් විදෙස් ප්‍රභූවරුන්ද ට්විටර් හරහා ඇගේ හදිසි වියෝවෙන් ඇතිවූ කම්පනය හා කනගාටුව ප්‍රකාශ කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon