කල් ගිහින් හරි හොඳ චිත්‍රපට නළුවෙක් වෙනවා

  👤  2117 readers have read this article !
Published by : MB WEB 2018-03-02 14:01:27

අමිල කාලෙකට පස්සේ සිනමාවෙන් එළියට ඇවිත්?

ඔව්. මේ දවස්වල මම රංගනයට සම්බන්ධ වෙන 'පෝරිසාදයා' චිත්‍රපටය තිරගත වෙනවා. මම සම්බන්ධ වුණ රූපාන්තරණ චිත්‍රපටය තිරගත වෙලා අවුරුදු හතරකට පස්සේ තමයි පෝරිසාදයා චිත්‍රපටය තිරගත වුණේ.

රූපාන්තරණවලින් පස්සේ සිනමාවේ දකින්න නොලැබෙනකොට ගොඩක් අය හිතුවේ අමිල එතැනින් නැවතිලා කියලා?

මම එතැනින් නැවතුණේ නැහැ. චිත්‍රපට හයකට විතර මම සම්බන්ධ වුණා. ලංකාවේ චිත්‍රපටයක රඟපෑවම ඒක තිරගත වෙනකල් කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඒක තමයි තත්ත්වය.

ඒකෙන් රංගන ශිල්පියාට ලොකු අසාධාරණයක් වෙනවා?

ඔව්. විශේෂයෙන්ම අපි වගේ අලුතින් ක්‍ෂේත්‍රයට එන අයට මාකට් එක හදාගන්න කල් යනවා. අපි කරන නිර්මාණ එළියට එන්න ප්‍රමාද වෙනවා කියන්නේ අපේ දක්‍ෂතා පෙන්වන්න තියෙන අවස්ථාවන් කල් යනවා කියන එක.

නිර්මාණ එළියට එන්න කල් ගියාට අමිලට සිනමාවේ ආරාධනා අඩුවෙලා නෑ නේද?

මම අවුරුදු දහයක් නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කළා. එතැනින් පස්සේ තමයි මම රංගන ගමන පටන් ගන්නේ. මට ආරාධනාවල නම් අඩුවක් නැහැ. හැබැයි මගේ හැකියාව පෙන්වන්න පුළුවන් විදියේ නිර්මාණ ලැබුණා අඩුයි. එහෙම නිර්මාණ නොලැබුණාම නොවෙයි. නමුත් මගේ දැක්මට හරියන නිර්මාණ ලැබෙන්න ඕන කියලා හිතනවා.

පෝරිසාදයා චිත්‍රපටයේදී අමිල නිරූපණය කරන්නේ කළු චරිතයක්. ඒ වගේ චරිතයක් අමිල එක පයින් භාරගත්තද?

හර්ෂ උඩකන්ද මට මුලින්ම කතා කළේ සුදු චරිතයකට. හැබැයි පස්සේ මට හම්බ වුණේ චිත්‍රපටයේ කළු චරිතය. මම හදාගත්ත ප්‍රතිරූපයත් එක්ක විලන් චරිතයක් කරන එක ප්‍රශ්නයක් කියලත් මට හිතුණා. මාව ගොඩක් දැකලා තිබ්බේ අහිංසක චරිතවලින්. හැබැයි මේ විලන් චරිතයේ මට යමක් කරන්න තිබ්බා. ඒ නිසා බය නැතිව 'ඉල්මි' කියන චරිතය මම භාර ගත්තා. මට මේ චරිතයේ කරන්න දෙයක් තිබ්බා.

ඒ කියන්නේ රොමැන්ටික් ප්‍රේමවන්තයාම වෙන්න අමිලට වුවමනා නැද්ද?

මට ප්‍රේමවන්තයම වෙන්න ඕන කියලා දෙයක් නැහැ. මට කලාවට යමක් කරන්න ඕන. සිනමාව ඇතුළේ යමක් කරලා වැඩ පෙන්වන්න මට ඕන. මට ලැබෙන චරිතය ලොකුද, පොඩිද කියලා මම බලන්නේ නැහැ. අපිටත් වැඩක් කරන්න පුළුවන් කියලා දැනෙන දෙයක් කරන්න මම කැමැතියි. හිමින් හිමින් හරි මම මගේ අරමුණට යනවා.

මොකද්ද ඔය අමිල හිමින් හිමින් යන්න හදන අරමුණ?

ලංකාවේ හොඳ චිත්‍රපට නළුවෙක් වීමේ ආසාව මට තියෙන්නේ. කල් යයි. හැබැයි මම එතැනට හිමින් හරි යනවා.

අමිල ලැබුණ චරිතයට උපරිම සාධාරණය කළා කියලා හිතනවද?

මට යම් දෙයක් ලැබුණොත් එයට උපරිම සාධාරණය කරන්න බලනවා. මේ චරිතය වෙනුවෙනුත් මම ගොඩක් මහන්සි වුණා. මේ චිත්‍රපටයේදී අපි පරණ කම්හලක් ඇතුළේ රූගත කිරීම් කළා සතියක් විතර. නාද්දි සතියක් විතර යනකල්ම කළු පාටට දුම් රොඩු හේදි හේදි ගියා. නහයෙත් ඒ දුම් රොඩු කෑලි. ඇඳුම් ගන්න දෙයක් නෑ. මම ඒ ඇඳුම් අයින් කරලා තිබ්බා 'පෝරිසාදයා' චිත්‍රපටය මතක් වෙන්න. කරපු කැප කිරීමට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

සිනමාවට ආවා වගේම රැඳෙන්නත් ලොකු තරගයක් දෙන්න වෙනවා. රොෂාන්, හේමාල් අල්ල ගත්ත තැන අමිල අභිභවා යයිද?

මට කාවවත් අභිභවා යන්න වුවමනාවක් නැහැ. මට වෙනම තැනක් හදාගන්න ඕන. හේමාල්, රොෂාන් මේ තැන ඉන්න ඕන. මම එයාලව අවුරුදු දහයක් විතර තිස්සේ දන්නවා. කැපවීම, උනන්දුව මත එයාලා මේ තැන ඉන්න ඕන. එයාලා එයාලගේ තැන තියා ගනියි. මගේ පාර මම හදාගන්නවා.

අමිල කා එක්කවත් තරග කරන්නේ නැද්ද?

අනේ නැහැ. මට කාටවත් තරග දෙන්න ඕන නැහැ.

ක්‍ෂේත්‍රයේ රැඳෙන්න සම්බන්ධතා ගොඩක් වැදගත්ලු. සම්බන්ධතා ශක්තිමත් කරන වැඩෙත් අමිල කරනවාද?

ඕක තමයි මට තියෙන ප්‍රශ්නය. මම විවාහකයි. මගේ පවුලේ වැඩ මගේ නිරූපණ කටයුතු, මගේ බිස්නස් එකේ වැඩ එක්ක සම්බන්ධතා වර්ධනය කරගන්න මට වෙලාව තමයි අඩු. මම ආශ්‍රය කරන අයව සුහදව ඇසුරු කරනවා. මගේ වැඩ පස්සට යන්නත් හේතුව ඔය සම්බන්ධතා අඩුකම. මම තාම මුණගැහිලා නැති අයත් ඉන්නවා. කොහොම වුණත් ඉදිරියේදී ලැබෙන වැඩත් එක්ක සම්බන්ධතා තියාගන්නත් මම උත්සාහ කරනවා.

වෘත්තීයමය නළුවෙක් වෙලා මේ ගමන වේගවත් කරගන්න කැමැති නැද්ද?

මම නිරූපණ කටයුතු, වෙළෙඳ දැන්වීම් රංගනය විතරක් කරලා බැලුවා. ඒත් එහෙම කළාට මේ සිස්ටම් එක එක්ක වෘත්තීයමය නළු භුමිකාවෙම ඉඳන් ජීවත් වෙන්න අමාරුයි. මම තනිකඩයෙක් වුණා නම් ඒක කරන්න තිබ්බා.

ටෙලි තිරයේ වැඩවලට අමිල සම්බන්ධ වෙන්න කැමැති නැද්ද?

මම ටෙලි නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වුණා. මට කරන්න යමක් තියෙනවා නම් මම ඒ නිර්මාණවලට සම්බන්ධ වෙනවා.

අමිල යන යන තැන බිරියව එක්කගෙන යන කෙනෙක් නෙවෙයි. මේ නිසා ඔබ පවුලට සමීප නැති කෙනෙක් කියලත් සමහරු කියන්න ගත්තා?

එක එක අය එක එක කතා කියනවානේ. මම මගේ පෞද්ගලික ජීවිතය මගේ අනෙක් වැඩකටයුතු එක්ක කලවම් කර ගන්නේ නෑ. මගේ බිරියට මං ගැන අවිශ්වාසයක් නැහැ. තනියෙන් එන්න කියලා තමයි මට ගොඩක් තැන්වලට ඇරැයුම් ලැබෙන්නේ. තනිව යායුතු තැන්වලට මම තනිව යනවා. දෙන්නටම ඇරැයුම් ලැබෙන තැන්වලට දෙන්නම යනවා.

කල් ගිහින් හරි හොඳ චිත්‍රපට නළුවෙක් වෙනවා?

නැහැ. මගේ බිරිය ඉන්ජිනේරුවරියක්. එයා කලාවේ දේවල්වලට සම්බන්ධ වෙන්න, ඇඟේ එල්ලිලා එන්න, ජනප්‍රිය වෙන්න කැමැති නැහැ. හැබැයි එයා මට හැම දෙයටම පුළුවන් උපරිම සහාය දෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූපය - අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon