ලංකාව කප් එක දෙසට හැරෙයි

  👤  2619 readers have read this article !
Published by : MB WEB 2018-03-07 13:06:57

සිරිනාම රාජපක්‍ෂ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති 15 වැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී කුසල් ජනිත් පෙරේරා පන්දු 37කදී ලබා ගත් ලකුණු 66ත් ශ්‍රී ලංකා ඉනිම අවසානයේ තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා හා දසුන් ශානක දැක්වූ වේගවත් පිතිහරඹයත් හේතුවෙන් ඊයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති නිදහස් කුසලාන ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමි විය. ඒ අනුව ඉන්දියාවට එරෙහිව 5 වැනි විස්සයි-20 ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වූ අතර තරගයේ වීරයා ලෙස කුසල් ජනිත් සම්මාන ලැබීය.

ඉන්දියාව ලබා දුන් ලකුණු 175ක ඉලක්කය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා පිලේ කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලකගේ ආරම්භය මුළු ලකුණු 12ක් වන විට ඉන් ලකුණු 11ක්ම ලබා සිටි මෙන්ඩිස් දවා ගන්නට වොෂිංටන් සුන්ධාර් සමත් වූ අතර ධනුෂ්කට එක්වූ කුසල් ජනිත් ඉන්දියානු පන්දු යවන්නන්ට එරෙහිව වේගවත් පිතිහරඹයක යෙදෙමින් 4 වැනි පන්දුවාරයේ හතරවැනි පන්දුවේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 50ක් සේ සටහන් කළේය. ඒ අතරතුර වේගපන්දු යවන ෂාඩුල් තකූර් යැවූ ඉනිමේ 3 වැනි පන්දුවාරයේදී කුසල් ලකුණු 27ක්ම ලබා ගැනීම කැපී පෙනුණු අතර ලකුණු 19ක් ලබා සිටි ධනුෂ්ක දැවී යෑමෙන් අනතුරුව පැමිණි නායක චන්දිමාල් කුසල් ජනිත් එක්ව තැබූ සබඳතාව ලකුණු 28ක් විය. චන්දිමාල් ලකුණු 14කට දැවී යෑමෙන් පසු කුසල් ජනිත්ද තම 8 වැනි විස්සේ අර්ධ ශතකයද වාර්තා කොට දැවී ගියේය. ඉන් පසුව තරංගද චහල්ගේ 2 වැනි කඩුල්ල ලෙස ලකුණු 17කට දැවී යෑමෙන් පසුව දසුන් ශානක හා තිසර පෙරේරා එක්ව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියේ පන්දුවාර 3යි පන්දු 5කදී ලකුණු 39ක් ලබා ගනිමිනි.

කාසියේ වාසිය පරාජය වීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීමට සිදුවූ ඉන්දීය පිලේ නායක ෂර්මාගේ සහ ධවාන්ගේ ආරම්භය වයිඩ් පන්දුවක් නිසා හිමිවූ ලකුණු 1කට පමණක් සීමා කරන්නට පළමු පන්දුවාරය යැවූ චමීරගේ 4 වැනි පන්දුවටම හැකියාව ලැබුණ අතර ෂර්මා එසේ ලකුණු බිංදුවකට දවාගන්නට ජීවන් මෙන්ඩිස්ගේ අඟනා උඩපන්දු රැකීමද ඉවහල් විය. මිඩ් ඕෆ්හි පන්දු රකිමින් සිටි මෙන්ඩිස් පසු පසට දිව ගොස් සිදු කළ දක්‍ෂ උඩපන්දු රැකීමත් සමඟ ඉන්දීය පළමු කඩුල්ල ලකුණු 1ක්ව තිබියදී දැවී ගිය පසු ධවාන්ට එක්වූ සුරේෂ් රයිනාටද පන්දු 3කට වඩා මුහුණ දීමට නුවන් ඉඩ දුන්නේ නැත. එනම් ඉනිමේ 2 වැනි පන්දුවාරය යැවූ ප්‍රදීප්ගේ 6 වැනි පන්දුව ෆුල් ටොස් පන්දුවක් ලෙසින් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් ඉන්දීය පිලට එක්වූ රයිනා ලකුණු 1කට දැවී යෑමෙන් පසුව ධවාන් හා මනේෂ් පාන්ඩේ එකතුවී ඉන්දීය ඉනිම ලකුණු 104 දක්වා ගෙන ගියේය.

ඔවුන් දෙදෙනාගේ වේගවත් ඉනිම ලකුණු 95ක සබඳතාවක් වර්ධනය කරගැනීමට පන්දු 64ක් පමණක් වැය කර තිබියදී 13 වැනි පන්දුවාරය යැවූ මෙන්ඩිස්ගේ 4 වැනි පන්දුවට මිඩ් විකට්හි සිටි ධනුෂ්ක අතට උඩපන්දුවක් දීමෙන් පන්දු 35කට මුහුණ දී සිටි පාන්ඩේ දැවී යන විට 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 37ක් ලබා තිබුණි. ඒ වන විටත් ඉනිමේ 11 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී ධවාන් තම 5 වැනි විස්සයි-20 අර්ධ ශතකය වාර්තා කර තිබූ අතර ධනුෂ්ක යැවූ 18 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී ඔහු ලකුණු 90කට දැවී ගියේ මිඩ් ඔෆ්හි සිටි තිසර උඩ පන්දුවක් රැකගැනීම නිසාය. එය ධවාන්ගේ විස්සයි-20 ඉහළම ලකුණු සංඛ්‍යාවද වූ අතර ඒ සඳහා පන්දු 49ක් වැයකරමින් හතරේ සහ හයේ පහර 6 බැගින් ලබා ගෙන තිබුණි.

ඉන්දියාව

රෝහිත් ෂර්මා ඇ. ජීවන් ප. චමීර 00
ෂිකර් දවාන් ඇ. තිසර ප. ධනුෂ්ක 90
සුරේෂ් රයිනා ප. ප්‍රදීප් 01
මනිෂ් පාන්ඩේ ඇ. ගුණතිලක ප. ජීවන් 37
රිෂබා පාන්ට් ඇ. ප්‍රදීප් ප. චමීර 23
දිනේෂ් කාර්තික් නොදැවී 13
අතිරේක 10
මුළු ලකුණු (පන්දුවාර 20කදී කඩුලු 5කට) 174

පන්දු යැවීම _ චමීර 4-0-33-2, ධනුෂ්ක 3-0-16-1, ජීවන් 3-0-21-1, නුවන් ප්‍රදීප් 3-0-38-1

ශ්‍රී ලංකාව

ධනුෂ්ක ගුණතිලක ඇ. පාන්ට් ප. උනඩ්කට් 19
කුසල් මෙන්ඩිස් ඇ. දවාන් ප. වොෂින්ටන් 11
කුසල් පෙරේරා ස්ට. ප. වොෂින්ටන් 66
දිනේෂ් චන්දිමාල් ප. චහාල් 14
උපුල් තරංග ප. චහාල් 17
දසුන් ශානක නොදැවී 15
තිසර පෙරේරා නොදැවී 22
අතිරේක 11
මුළු ලකුණු (පන්දුවාර 18.3 කදී කඩුලු 5 කට) 175
පන්දු යැවීම - වොෂින්ටන් 4-0-28-2,
චහාල් 4-0-37-2, උනඩ්කට් 3-0-35-1

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon