ජනිත් තකහනියේම ඇමෙරිකාවේ ගියේ ඇයි?

  👤  2633 readers have read this article !
Published by : MB WEB 2018-03-07 17:28:43

ජනිත් පසුගිය දවස්වල තකහනියේම ඇමෙරිකාවේ ගියේ ඇයි?

ඇමෙරිකාවේ ඉන්න ලංකාවේ පිරිසක් අවුරුදු දෙකකට සැරයක් නර්තන ප්‍රසංගයක් කරනවා. රන්වන් රැයක් නමින්. ඒ වගේම ඒ අවස්ථාවේදී ලංකාවේ ශිල්පීන් කිහිප දෙනකුට උපහාර සම්මාන පිදීමකුත් සිදු කරනවා. මීට කලින් රවින්ද්‍ර රන්දෙණිය මහත්මයා, ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය මාලනී ෆොන්සේකා මහත්මිය වගේම දිල්හානි අශෝකමාලා, සබීතා පෙරේරා, චන්න විජේවර්ධන වගේ පිරිසක් මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙනවා.

මේ අවුරුද්දේ එයාලගේ තේමාව වෙලා තිබුණේ ලංකාවේ තරුණ සිනමාව. ඒකේ ආරාධිතයන් විදියට තමයි මමත් රොෂාන් රණවනත්, උදාරි පෙරේරාත් සම්බන්ධ වුණේ.

මේ සැරේ රන්වන් රැයක් වෙනුවෙන් ජනිත්, රොෂාන්, උදාරි වගේ තරුණ පිරිසක් තෝරා ගැනීම හැඳුනුම්කමට කළ දෙයක් කියලත් සමහරුන්ට හිතෙන්න පුළුවන්.

කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ඒ හැඳුනුම්කමට අපිව ගෙන්න ගත්තත් ඔවුන්ට අපෙන් වෙන ලාභයක් නැහැ. මට තියෙන නම හරහා ඒ ප්‍රසංගයට පිරිසක් එක්කාසු වෙනවා හැරෙන්න දෙයක් ඔවුන්ට නැහැ. අපිට සම්මානයක් ලැබුණට වඩා එතැන තියෙන වටිනාකම තමයි කවුරු හෝ පිරිසකට යමක් කිරීම. අපි මේ වැඩේට තව කලාකරුවන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගන්න හැදුවා. වීසා ගැනීමේ ප්‍රශ්න වගේ දේවල් නිසා අපි තුන් දෙනාට තමයි මෙයට සහභාගි වෙන්න පුළුවන් වුණේ.

ප්‍රසංගය නිකන්ම නිකන් ප්‍රසංගයක් නෙවෙයි. ඒ හරහා තවත් වැඩ කොටසක් ඉෂ්ට වෙනවා නේද?

ඒ ප්‍රසංගයේ ආදායමෙන් එයාලා විවිධ සුබසාධන වැඩකටයුතු කරනවා. ලංකාවේ ගොඩක් අයට එයාලා උදවු කරලා තියෙනවා. මේ අවුරුද්දේ එයාලා ඒ ප්‍රසංගයේ ආදායමින් අවුකන අලිවංගුව කියන ගම්මානයට සිංහල අලුත් අවුරුද්දට කලින් වියළි ආහාර ලබාදීමක් සිදුකරනවා. රන්වන් රැයක් ප්‍රසංගයේ නර්තන රචනය සහ අධ්‍යක්ෂණ කටයුතු කරන්නේ පාලිත කස්තුරිආරච්චි. ඔහු ලොකු වැඩ කොටසක් මෙහිදී කරනවා. සමහරු රට ගියාම අපේ කලාව අමතක කරනවා. රට ගියාම ලංකාවෙන් ගිය කෙනෙක් කියලා බොහෝ අයට අමතක වෙනවා. ඇත්තටම මේ ප්‍රසංගයේදී අපිට තේරුණා පාලිත අයියා ලංකාවේ තරුණ පිරිස එකතු කරගෙන ලස්සන වැඩ කටයුත්තක් ඇතුළේ ලොකු දෙයක් ලංකාවටත් කරනවා.

ජනිත්, රොෂාන්, උදාරි නිසා ඒ ප්‍රසංගය වටා පිරිසක් එකතු කරගන්න පුළුවන් වුණාද?

ඔව්. අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. රන්වන් රැයක් ප්‍රසංගය පිරිලා තිබුණේ එරට ඉන්න ශ්‍රී ලංකාවේ ජනතාවගෙන්.

සමහරු සුබසාධන වැඩ කරන්නෙත් ජනප්‍රිය වීමේ ආශාවන් තියාගෙන. ජනිතුත් ජනප්‍රියත්වය බලාගෙන සුබසාධන වැඩවලට දායක වෙන කෙනෙක්ද?

සමාජයේ හරියට පිළිගැනීමක් තියෙන වැඩවලට මම සම්බන්ධ වෙනවා. එහෙම පිළිගැනීමක් නැති දේවල්වලට ගියාම අපිට නරක නාම ගන්න වෙන නිසා මම හොයලා බලලා හොඳ වැඩවලට සම්බන්ධ වෙනවා. මගේ උපන්දිනය වෙනුවෙන් කරන ලේ දන්දීමේ වැඩසටහනත් මම අවුරුදු හයක් කරගෙන ආවා. මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න තමයි මට ඕන වුණේ.

අපි කරන දේ මිනිස්සුන්ට පේන්නන්නත් ඕන. ගොඩක් අය මගෙන් අහනවා ඇයි මේ දේවල් පේන්න කරන්නේ කියලා. ජනප්‍රියත්වයට හරි මිනිස්සු හොඳ දෙයක් කරනවා නම් හොඳයි. මොකද ඒකෙන් සමාජයට වෙන්නේ හොඳ දෙයක්.

මේ දවස්වල පුංචි තිරයේ වැඩවල නොපෙනුණාට ජනිත් රංගන කටයුතු නොකරනවා නෙවෙයි නේද?

මම වැඩ නොකරන කෙනෙක් නෙවෙයි. මේ දවස්වල අස්වැන්න කියලා ටෙලි නාට්‍යකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. මහේෂ් මුණසිංහගේ රෂ් කියලා චිත්‍රපටයක වැඩත් කරනවා. ඇමෙරිකාවේ ගිය නිසා වැඩ කිහිපයක් භාරගන්න බැරි වුණා. වැඩ කරන්න පුළුවන් කාල සීමාව බලලා මම වැඩ භාරගන්නවා. අප්‍රේල් මාසේ යුරෝපා සංචාරයකටත් සහභාගි වෙන නිසා ඊට කලින් භාරගත්ත වැඩ ටික කරනවා.

විදෙස් ප්‍රසංග ලැබෙන්නේ එක පිරිසකටයි කියලා සමහරු චෝදනා නඟනවා?

එක ටෙලි නාට්‍යයක රඟපාපු කෙනෙක්ටත් තමන් නළුවෙක් නිළියක් කියලා කියාගන්න පුළුවන්. ඒ අය කොච්චර ජනතාව පිළිගන්නවද කියන එකයි ගැටලුව තියෙන්නේ. හැමෝටම රංගනය කියන දේ වෘත්තියක් විදියට කරන්නත් බෑ. වාසනාව, දක්ෂතාව කැපවීම වගේ බොහෝ කාරණා මත තමයි අපිට ජනතාවගේ ඉල්ලුමක් තියෙන්නේ. සාරංග, සුරාජ්, දිනක්ෂි, ශලිනි වගේ අයට ඡ්මඥදබඵ විදෙස් ප්‍රසංග ලැබෙනවා. එයාලා ගෙන්වන්නේ ප්‍රේක්ෂකාගාරයට අවශ්‍ය ශිල්පීන්ව. ඒ නිසා ඒ ලැබෙන දෙයට බැන බැන ඉන්නේ නැතිව තමන්ගේ තැන හදාගන්න එකයි ඔය චෝදනා කරන අය කරන්න ඕන.

සමහරුන්ට රංගනය වෘත්තීයමය වශයෙන් කරගෙන යන්න බැරි තරමට ගැටලු එද්දී ජනිත්ට ඒ ගැටලුව බලපාලම නැද්ද?

මට එහෙම ගැටලුවක් නැහැ. පසුගිය දවස්වල මගේ තාත්තාට අසනීප වුණාම මට තේරුණා, මම වෙන ජොබ් එකක් කළා නම් මට ඒ වියදම දරා ගන්න බැරි තරමට තත්ත්වයක් එනවා. කලාව තුළ අපි මහන්සි වෙලා වැඩ කළොත් අපිට යමක් උපයන්න පුළුවන්. හැබැයි ක්‍ෂේත්‍රයේ අස්ථාවර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ශාරුක් ඛාන්ට වුණත් බිස්නස් තියෙනවා. ඒ ඔහු රංගනයෙන් වගේම වෙනත් විදියටත් තමන්ගේ ස්ථාවරය හදාගෙන ඉන්න නිසා. ඒ නිසා අපිත් අපේ ස්ථාවරය හදාගන්න ඕන.

ජනිත් ලැබෙන ඕනම වැඩක් කරන කෙනෙක්ද?

නැහැ. මම තෝරා බේරා ගැනීමක් එක්ක වැඩ කරන්නේ. මට වැඩක් නැති නිර්මාණවලට කතා කරනවා අඩුයි. මුදල් සහ වැඩ කරන පිරිස ගැන හිතලා තමයි වැඩ භාරගන්නේ.

ජනිත් මුදල ගැන හිතලා වැඩ කරන කෙනෙක් වගේ?

ඔව්. ඒක එහෙම වෙන්න ඕන. නැත්නම් ඒක වෘත්තියට කරන අගෞරවයක්. හිතවත්කමට වැඩකරන්න ගියාම තමයි ජීවත්වෙන්න සල්ලි නෑ කියන්නේ. හැබැයි මමත් හිතවතෙක් නම් මුදල ගැනත් හිතන්නේ නැතිව වැඩ කළ අවස්ථා තියෙනවා.

තිළිණි කෞශල්‍යා
විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon