‘ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරන්න’ කණ්ඩායම් නායකයෝ ඉල්ලා සිටිති

  👤  1447 readers have read this article !
Published by : MB WEB 2018-03-28 15:16:09

කොළඹ, ගාල්ල, මහනුවර හා දඹුල්ල යන කණ්ඩායම් හතරක සහභාගිත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය අනිද්දා
(30 වැනිදා) ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසිනුත්, ගාල්ල කණ්ඩායම සුරංග ලක්මාල් විසිනුත්, මහනුවර කණ්ඩායම ඇන්ජිලෝ මැතිව්ස් විසිනුත් දඹුල්ල කණ්ඩායම දිමුත් කරුණාරත්න විසිනුත් මෙහෙයවනු ලබයි.

තරගාවලිය ආරම්භ කරමින් මෙහි පළමු තරග ලෙස දඹුල්ල හා මහනුවර තරග මාර්තු 30 වැනිදා සිට අප්‍රියෙල් 2 වැනිදා දක්වා කටුනායකදීත්, එදිනම ගාල්ල හා කොළඹ තරගය හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ පිටියේදීත් පැවැත්වීමට නියමිතව ඇත. කෙසේ වුවත් මහනුවර කණ්ඩායමේ නායකත්වය හොබවන ඇන්ජිලෝ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන්ම සුව අතට පත්ව නොමැති බැවින් ඔහු 30 වැනිදා ආරම්භ වන තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව මෙම තරගාවලියට අදාළව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කළ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රඳවාගත යුතු බව නායකයෝ ප්‍රකාශ කළහ. "තවමත් මගේ ආබාධය සම්පූර්ණයෙන්ම සුව වෙලා නැහැ.

වෛද්‍යවරු නිතරම මාව පරීක්‍ෂා කරලා උපදෙස් ලබා දෙන නිසා ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කිරීමට මට සිදුවෙලා තියෙනවා. පළමු තරගයට මට ක්‍රීඩා කරන්න බැරි වුණත් ඉතිරි තරග ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මෙවැනි තරගාවලියක් පැවැත්වීම හොඳයි. මේ හේතුවෙන් නවක ක්‍රීඩකයන්ට ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීමට හැකි වෙනවා. කොහොම වුණත් පසුගිය කාලයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිදුවූ සිදුවීම් එතරම් හොඳ දේවල් නොවෙයි. වැලිකඩදාසි භාවිත කරනවා වගේ දේවල් අපේ ක්‍රීඩකයන් කරන්නේ නැහැ කියන විශ්වාසය මට තියෙනවා. නිතරම ක්‍රීඩාවේ ජීවගුණය පවත්වාගන්නා ලෙස මම අපේ ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන්ද මහනුවර කණ්ඩායමේ නායක ඇන්ජිලෝ මැතිව්ස් සඳහන් කළේය.

මෙම අවස්ථාවට පැමිණි කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ද අදහස් දක්වමින් පැවැසුවේ මෙවැන්නකි. "මෙම තරගාවලිය ජේ‍යෂ්ඨ හා තරුණ ක්‍රීඩකයන්ට තමන්ගේ අනාගතයට හොඳ අවස්ථාවක්. මමත් 2010 වසරේදී මෙවැනි තරගාවලියක් ක්‍රීඩා කරලයි ජාතික කණ්ඩායමට ආවේ. ඒක නිසා මෙය අඩු තක්සේරුවට ගන්න එපා. ඒ වගේම මෙම තරගාවලිය මඟින් ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට එන්න වරම් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා" යනුවෙනි.
මේ අතර ගාල්ල කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් හා දඹුල්ල කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නද මැතිව්ස් හා චන්දිමාල් දැක්වූ අදහසට සමාන අදහසක් දක්වමින් පැවැසුවේ දේශීය තරග රාමුවකදී සිවුදින දිවා-රාත්‍රි ක්‍රිකට් තරගාවලියක් පවත්වන පළමු අවස්ථාව මෙය බවත්, එළැඹෙන කොදෙව් සංචාරය සඳහා එක්වීමට මෙම තරගාවලිය මහඟු පිටිවහලක් වනු ඇති බවත්ය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ මේ වනවිට සියලුම රටවල් රෝස පන්දුව යොදාගෙන තරග පවත්වන බවත්, එයට අනුගත වීම සඳහා මෙම තරගාවලියට රෝස පන්දුව යොදාගත් බවත්ය.

"එක් ක්‍රීඩකයකු හෝ දෙන්නකු හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද වනවිට වෙලා තියෙන දේ බලන්න. අද ඔවුන් උස්සලා පොළොවේ ගැහුවා වගේ තත්ත්වයට පත්වෙලා තියෙනවා. ලෝකයම ගෞරවය කරපු රටක් මේ තත්ත්වයට වැටුණේ එක් ක්‍රීඩකයකු හෝ දෙන්නෙකු කළ වරදක් නිසයි. බංග්ලාදේශ තරගයේදී තිසර පෙරේරා කළ දේට අපි ආඩම්බර වෙන්න ඕන. ඔහු බංග්ලාදේශ ක්‍රීඩකයන් සමඟ ආරවුලකට ගියේ නැහැ. ඔහු ලංකාවේ ගෞරවය රැකගත්තා" යනුවෙන්ද සුමතිපාල මහතා පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon