ජාත්‍යන්තර බෝනොවන රෝග සමුලුවක් ශ්‍රී ලංකාවේ දී

  👤  1623 readers have read this article !
Published by : MB WEB 2018-03-29 10:17:03

බෝනොවන රෝග පිළිබද ප්‍රථම සාක් කළාපීය සමුලුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී ලබන 31 සහ අප්‍රේල් 01 යන දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදි බෝනොවන රෝග අවම කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, සාක් රටවල අත්දැකීම් හුවමාරු කර ගැනීම වැනි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.

 
ජානමය, ශාරීරික සහ පාරිසරික පුරුදු වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන රෝගී තත්ත්වයක් වන බෝනොවන රෝග අවම කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රටකම වැඩසටහන් දියත් කර ඇත. මෙහිදී හෘද රෝග පිළිකා ශ්වසනාබාධ, දියවැඩියාව ඇතුලු ප්‍රධාන බෝනොවන රෝග වලට වැඩි වශයෙන් ගොදුරුව ඇත්තේ පහළ සහ මධ්‍යම ආදායම්ලාභි රටවල්වීම ද විශේෂත්වයකි.
 
ලොව පුරා සිදුවන මරණ වලින් බහුතරයක් සිදු වන්නේ බෝනොවන රෝග වලිනි. ලොවපුරා වසරකට මිලියන 10 ක පමණ සංඛ්‍යාවක් බෝනොවන රෝග වලට ගොදුරු වී ජිවිතක්ෂයට පත් වෙයි. දුම්කොළ භාවිතය, ව්‍යායාම් නොකිරීම, සමබල ආහාර වේලක් නොගැනීම, මත්පැන් භාවිතය බෝනොවන රෝගවලට ගොදුරුවීමට බලපාන සාධක වෙයි. අප්‍රාණික දුම් පාලනය ද මීට ඇතුලත් වෙයි.
 
බෝනොවන රෝග තිරසර සංවර්ධන ඉළක්ක ජයගැනීම සදහා බාධාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇත. ඒ අනුව වසර 2030 වන විට බෝනොවන රෝග අවම කර ගැනීම සදහා ඉළක්ක ගත වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මක වෙයි. ඉන් ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය  සංවිධානය ඇගයීමට ලක් කර ඇති අතර, එය අනෙක් රටවලට ද ආදර්ශයක් බවට පෙන්වා දී ඇත. හෘද රෝග, අධික රුධිර පීඩනය ඇතුලු රෝග වලින් මියයන සංඛ්‍යාව වසර 2025 වන විට සියයට 25 ක් දක්වා අවම කිරීමට සැළසුම් සකස් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon