ක්‍රිකට් නැති පාසලකින් තිදෙනකුම සංචිතයට

  👤  1959 readers have read this article !
Published by : MB WEB 2018-04-02 14:27:45

තරග 6කින් සමන්විත ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියක් සඳහා අප්‍රේල් මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන අතර තලවතුගොඩ ඔස්ට්‍රේෂියා ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් සංචිතයට එකම පාසලේ තිදෙනෙකු ඇතුළත් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කමල් කුරුප්පු විසින් හොබවන අතර කණ්ඩායමේ පුහුණුකරු ලෙස අසේල පතිරණ කටයුතු කරයි. නායක කමල් කුරුප්පු ඇතුළුව උප නායක කෝලිත හපුආරච්චි සහ රුවන් චන්ද්‍රකුමාර යන තිදෙනා ක්‍රිකට් නොමැති පාසලක් වන මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයීය ආදි සිසුන් වීමද කැපී පෙනෙන කරුණකි.

2003 වසරේදීද එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත වී ඇති අතර එම තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන තිබේ. නායක කමල් කුරුප්පු 2002 වසරේ සිට ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අතර 2004, 2011 සහ 2017 යන වර්ෂයන්හිදී ලෝක කුසලාන ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියටද සහභාගී වී ඇත. 2004 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේදී අනුශූරයන් බවට පත්ව ඇතත් අනෙක් වර්ෂ දෙකේදීම අර්ධ අවසන් පූර්ව වටයන් දක්වා පැමිණ පරාජයට පත්ව තිබේ.

තරිඳු මෙන්ඩිස්, ක්‍රිශාන්ත පීරිස්, ඇන්ඩි සොලමන්ස්, ඉරෝශාන් ද සිල්වා, රුමේෂ් පෙරේරා, සල්මන් ෆාරිස්, මල්ෂාන් රොද්‍රිගූ, ගිහාන් ගුණතිලක, හරේෂ් ද සිල්වා සහ ශෙවෝන් ෆොන්සේකා සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වන අතර අසිත දේවපුර කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon