ලංකාවට දුර පැනීමේ ඉසව්වෙන් පදක්කමක් පිළිබඳ බලාපොරොත්තුවක්

  👤  1124 readers have read this article !
Published by : MB WEB 2018-04-03 15:26:36

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හෙට (04දා) ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවරදී ආරම්භ වීමට නියමිතව ඇති අතර, එහිදී දුර පැනීම ඉසව්වට සහභාගි වන ජානක විමලසිරිට පදක්කමක් කරා යා හැකි බව ඔහුගේ පුහුණුකරු ලුවිස් විශ්වාසය පළ කර ඇත.

ජානක විමලසිරි එක් අවස්ථාවක මීටර් 8.15ක දුරක් තරණය කළද සුළඟේ වාසිය හේතුවෙන් එම දුර ප්‍රමාණය ගණනය නොකළ නමුත් පසුගිය වසරේ ජාතික ක්‍රීඩා උළෙලේදී මීටර් 7.91ක පිම්මක් සටහන් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක්ද එක්කිරීමට විමලසිරි සමත්ව තිබිණි.

මේ අතර පිරිමි දුර පැනීම ඉසව්ව සඳහා ගෝල්ඩ්කෝස්ට් නුවරට පැමිණ සිටින ක්‍රීඩකයන් අතර පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ රිදී හා ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩකයන් දෙදෙනාද සිටී. ඒ අනුව රිදී පදක්කම දිනාගත් දකුණු අප්‍රිකාවේ ෂාර්ක් විසර් එහිදී මීටර් 8.12ක දුරක් සටහන් කර තිබූ අතර, රුෂ්වාල් සමායි මීටර් 8.08ක දුරක් සටහන් කරමින් ලෝකඩ පදක්කම දිනා තිබිණි.

එක් අවස්ථාවක මීටර් 8 ඉක්මවා දක්‍ෂතා දක්වා ඇති හෙයින් මෙවර සටනක් දෙන්නට තමනට හැකියාවක් ඇති බවද විමලසිරි පවසයි.

"පසුගිය ආසියානු තරගාවලියේදී දැඩි සීතලක් තිබුණත්, මේ කාලගුණ තත්ත්වය (ගෝල්ඩ්කෝස්ට්) පුහුණුවීම සඳහා ඉතාමත් හොඳයි. ඒ නිසා මේ තරගය පිළිබඳව මටත් මගේ පුහුණුකරුවාටත් දැඩි විශ්වාසයක් තියෙනවා" යැයිද විමලසිරි ඊයේ සඳහන් කළේය.

විමලසිරිගේ අදහස අනුමත කරන ඔහුගේ පුහුණුකරු ලුවිස් සඳහන් කරන්නේ ඔහුගේ පුහුණුවේ යම් දියුණුවක් ලබා තිබෙන හෙයින් පදක්කමක් කරා යෑමට විමලසිරිට හැකියාවක් ඇති බවය.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේදී ක්වීන්ස්ලන්ත නුවරදී පසුගියදා පැවැති මලල ක්‍රීඩා තරගාවලියටද විමලසිරි සහභාගි වූ අතර, එහිදී ඔහු මීටර් 7.70ක දුරක් සටහන් කර තිබීමද විශේෂත්වයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon