උතුරට වත්මන් ආණ්ඩුකාරවරයාම ඉල්ලයි

  👤  1454 readers have read this article !
Published by : MB WEB 2018-04-05 13:07:14

සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් ඉදිරි දින කිහිපයේ සිදු කිරීමට යන බවත් ඒ අනුව හෙට (06 වැනිදා) නව පළාත් ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීමට නියමිත බවත් ආණ්ඩුකාර කාර්යාල වෙතට දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා මීට පෙර මේ සම්බන්ධයෙන් සියලුම ආණ්ඩුකාරවරුන් කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇති අතර බොහෝදුරට සිදුවන්නේ දැනට රාජකාරියේ නියුතු පළාත්වලින් ආණ්ඩුකාරවරුන් වෙනත් පළාත්වලට මාරු කිරීමක් බවට දැනුම් දී ඇත.

එක් ආණ්ඩුකාරවරයකුගේ සේවා කාලය අවුරුදු තුනකට පමණක් සීමාවීම මේ වෙනස් කිරීම්වලට හේතුව වී ඇති බවද පැවැසේ.

මේ අතර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්නැයි පළාත් කිහිපයකම පළාත් මහ ඇමැතිවරුන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ විශේෂයෙන් නැවත වරක් උතුරු පළාතෙන්ද රෙජිනෝල්ඩ් කුරේ මහතා ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

එසේ වුවද රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර දැනට ගතවී ඇත්තේ වසර දෙකක් පමණි.

එහෙත් එම කාලයේදී උතුරු ප්‍රදේශයේ සංවර්ධනයට සහ සංහිංඳියාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කිරීමටත්, උතුරු - දකුණු සංහිඳියාව ඇති කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීමත් හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට විශාල ජනතා ප්‍රසාදයක් හිමිව ඇති අතරම විශේෂයෙන් උතුරේ ජීවත්වන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව සමඟ අදහස් හුවමාරු කිරීමේදී දමිළ භාෂා ඥානයද තිබීම නිසා එතුමන්ට වැඩි ඉල්ලීමක් උතුරු පළාතෙන් ලැබී ඇත.

මේ හේතුවෙන් උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා සහ පළාත් සභා මන්ත්‍රිවරුන් පිරිසක් නැවත වරක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කරන්නැයි ඉල්ලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව සහ වාචිකව ඉල්ලීමක් සිදුකර ඇති බවටද දැන ගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon