මම ජනප්‍රිය වුණේ 'කූඹියෝ' නිසා

  👤  2172 readers have read this article !
Published by : MB WEB 2018-04-05 17:18:43

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නළු සම්මානය දිනා ගත්තේ ඔබ. ජනප්‍රියත්වයට සම්මානනීය ඇගැයීමක් ලැබීම ගැන සතුටක් ඇති.

ඔව්. ඒ ගැන මට සතුටුයි.ඒකට හේතුවක් තියෙනවා. ලංකාවේ ජනප්‍රිය දේවල්, හරසුන් දේවල් බවට පත් නොවී, මතවාදයක් හදන්න පුළුවන්, සංවාදයක් ගොඩනඟන්න පුළුවන්, සමාජ, දේශපාලන කියැවීමක් ඇති දේවල් ජනප්‍රිය වීම ගැන සුබවාදී අදහසක් මේ සම්මානය එක්ක අපට තියාගන්න පුළුවන්.

'කූඹියෝ' ජනප්‍රිය ටෙලි නාට්‍ය කරවීමට සහ ඔබව ජනප්‍රිය නළුවා කරවීමට සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් ලොකු උත්සාහයක් ගත්තා. ඒ නිසා ජනප්‍රිය සම්මානය තමන්ට හිමි වෙයි කියන බලාපොරොත්තුව තිබුණද?

මිනිස්සු මට මනාප දීම සම්බන්ධයෙන් කැමැත්තක් මට තිබුණා. නමුත් මේ සම්මානය මට ලැබෙයිද නැද්ද කියන එක ගැන අදහසක් තිබ්බේ නෑ. එස්.එම්.එස්. මත විමසුම කියන්නේ අපිට පෙනෙන දෙයක් නෙවෙයි. ඒක කොහොමද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. 'කූඹියෝ' ටෙලිනාට්‍ය නැරැඹුවේ රූපවාහිනි ප්‍රේක්ෂකයෝ නෙවෙයි. ඩිජිටල් මාධ්‍ය ඇසුරු කරපු අය. මේ සම්මානය ලැබීම ගැන අදහසක් තිබ්බේ නැතත් සම්මානය ලැබීම ගැන සතුටක් තියෙනවා.

වේදිකාව, පුංචි තිරය, සිනමාව කියන මාධ්‍ය තුනම තුමිඳු ස්පර්ශ කරලා තියෙනවා. නමුත් ඔබ වඩාත්ම ජනප්‍රිය වුණේ කූඹියෝ නිසා නේද?

ඔව්. කූඹියෝ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකාගාරය තුළ ජනප්‍රිය වුණා. ඇත්තටම 'කූඹියෝ' නිසා තමයි මම ජනප්‍රිය වුණේ.

චිත්‍රපට, ටෙලි නාට්‍ය බලලා ගේම්කාරයාව, වැරැදි දේ කරන කෙනාව ප්‍රතික්ෂේප කරලා හොඳ දේ කරන කෙනා වැලඳ ගත්ත ප්‍රේක්ෂක පිරිසක් හිටියා. හැබැයි 'කූඹියෝ' ටෙලි නාට්‍යයෙන් ගේම්කාරයාට ආදරය කරන පිරිසක් එකතු වෙලා තියෙනවා නේද?

ඔව්. මම රඟපෑවේ ප්‍රතිවීරයාගේ චරිතය. ප්‍රතිවීරයෙක්, දුෂ්ටයෙක්, ගේම්කාරයෙක්, හොරෙක් මේ සමාජයේ ජනප්‍රිය වෙන්නේ ඇයි? මේ සමාජය ඇතුළේ පේන්න තිබෙන දේවල් තමයි මිනිස්සුන්ට ජනප්‍රිය වෙන්නේ. අපි සිස්ටම් එක හොඳ කළොත් හොඳ දේවල් ජනප්‍රිය වෙයි. සිස්ටම් එක නරක කළොත් නරක දේවල් ජනප්‍රිය වෙයි. නරක සිස්ටම් එකකදී නරක තමයි ජනප්‍රිය වෙන්නේ. ගේම්කාරයෙක් ජනප්‍රිය වෙන්නේ වීරයෙක් වෙන්නේ ඒකයි. ගේම පරද්දන්න ගේම්කාරයෙක්ම එන්න ඕන කියලයි මිනිස්සු හිතන්නේ. ඒ නිසා තමයි ජෙහාන් වගේ අයට මිනිස්සු කැමැති.

ජනප්‍රිය සම්මානය දෙන ක්‍රමවේදය ගැන බොහෝ දෙනෙක්ට පැහැදීමක් නැහැ. නමුත් තුමිඳුට ජනප්‍රිය සම්මානය ලැබෙද්දී ඒ සම්මානය ගැන කවුරුත් විවේචනය කළේ නෑ?

සමාජ මාධ්‍ය ජාල හරහා පේන්න තිබ්බා ඇත්තටම මට මිනිස්සු එස්.එම්.එස්. මනාප දෙනවා කියලා. මනාපවලට බොරුවක් වෙන්නේ නෑ කියලා පේන්න තිබ්බා. සිම් බෙදලා හරි, සල්ලි බෙදලා හරි එස්.එම්.එස්. මනාප දාගත්තේ නෑ කියලා පේන්න තිබ්බා. ඒ නිසා මිනිස්සුන්ට පැහැදිලිව පෙනුණා ඇත්තක් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මිනිස්සු මට ලැබුණු සම්මානය විවේචනය කළේ නැහැ කියලයි හිතන්නේ.

සල්ලි වියදම් නොකර, තමන්ම එස්.එම්.එස්. ගහගන්නේ නැතිවත් ජනප්‍රිය වෙන්න පුළුවන් නේද?

ඔව්. හොඳ දේවල් නම් ජනප්‍රිය වෙනවා. හොඳ දේවල් අපි හරියට කළොත් ඉබේම ජනප්‍රිය වෙනවා.

ඇත්තටම ඔබට ලැබුණ සම්මානය පෙන්වන්නේ පවතින සිස්ටම් එකට තියෙන විරෝධයද?

මේ සිස්ටම් එකට තියෙන විරෝධය පළ කිරීමක් විදියට තමයි මම මේ සම්මානය දකින්නේ. මිනිස්සු පත්තරවල යන දේශපාලන කාටූන් බලනවනේ. මොකක්ද අපට ඒකෙන් ලැබෙන ආතල් එක. දේශපාලන කාටූන් බලන එක වෙනම ආතල් එකක්. ඒ කාටූන්වලින් හොරකම් කරපු එකාට හොඳට වැදිලා තියෙනවා. දේශපාලකයන්ට කාටූන්වලින් හොඳට ගහලා තියෙනවා කියලා අපි හිතනවා. අපි ඒ හරහා සතුටක් ලබනවා. දේශපාලනික අස්ථාවර සහ ජඩ සහ පාදඩ දේශපාලන තත්ත්වය පිළිබඳ අපේ විරෝධය තමයි අපි සතුටක් විදියට ප්‍රකාශ කරන්නේ. මේ කාටූන් ශිල්පියාගේ වැඩේ තමයි 'කූඹියෝ' නාට්‍යයේ ශිල්පීන් කළේ. කූඹියෝ නාට්‍යයේ ශිල්පීන් සමාජ දේශපාලනික අවුලට පහර දුන්නා.

ඒක විවේචනය කළා. ඒ විවේචනය ප්‍රේක්ෂකයෝ භාර ගත්තේ ඒ විවේචනයට තමන්ටත් මැදිහත් වෙන්න පුළුවන් කියන සතුටින්. ඒ සතුට විරෝධාකල්පයක් කියලයි මම කියන්නේ. ඒ සතුට සිස්ටම් එක පිළිබඳව තියෙන විරෝධී මත දැක්වීමක් කියලයි මම කියන්නේ. ඒ සතුට තමයි සම්මානයක් විදියට ලැබුණේ. ඒ සම්මානය පෙන්වන්නේ සිස්ටම් එකට තියෙන විරෝධය පිළිබඳ අදහසක්.

තුමිඳු ජනප්‍රිය ගොඩේ නෙවෙයි ඉන්න ඕන. හොඳම ගොඩේ ඉන්න ඕනේ කියලත් අදහස් පළ වුණා. තමන්ට හොඳම ඇගැයීමක් ලැබිය යුතුයි කියන විශ්වාසය ඔබටත් තියෙනවද?

ලැබෙනවා නම් අපි කැමැතියි.

අලුත් නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙන්නත් ඇති?

මම රංගනයෙන් සම්බන්ධ වෙන 'නෙලා' චිත්‍රපටය දැන් තිරගත වෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ පිටපතකට අනුව සුමිත්‍රා පීරිස් මහත්මිය නිර්මාණය කළ වෛශ්නාවි චිත්‍රපටය අප්‍රේල් 5 වැනිදා සිට තිරගත වෙනවා. 2010දී තමයි ඒ චිත්‍රපටය රූගත කළේ. අවුරුදු ගණනාවකට පස්සේ තමයි චිත්‍රපටය තිරගත වෙන්නේ. ඒ වගේම සුනිල් ආරියරත්නයන්ගේ යශෝදරා චිත්‍රපටයත්, සුනෙත් මාලිංගගේ නිදහසේ පියා ඩී.එස්. චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.

තුමිඳු දැන් තාත්තා කෙනෙක්. පවුලට එකතු වුණ අලුත් අමුත්තා එක්ක ගෙවෙන ජීවිතේ කොහොමද?

ඇත්තටම තාත්තා කෙනෙක් වීම කියන දේ ගැන අහලා තිබ්බට ඒ අත්දැකීම වින්දම තමයි ඒ හැඟීම වැඩිපුරම දැනෙන්නේ. පුතෙක් තමයි අපේ ජීවිතයට එකතු වුණේ. දරුවෙක් කියන්නේ අපේ ජීවිතේට එක්තරා විදියක නිර්මාණයක්. ඉතින් හරිම සතුටක් දැනෙනවා අලුත් අමුත්තා එක්ක ගෙවෙන ජීවිතය.

තිළිණි කෞශල්‍යා
විජේසිංහ
ඡායාරූපය -
අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon