ලෙස්ටර්ගෙ උපන් දිනයට 'වෛෂ්ණාවී' සමඟ යශෝධා යළිත්...

  👤  4114 readers have read this article !
Published by : MB WEB 2018-04-09 16:29:54

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කතාවකට අනුව ප්‍රවීණ සිනමා රංගධර ටෝනි රණසිංහ විසින් තිර පිටපත ලියන ලද "වෛෂ්ණාවී" චිත්‍රපටය දැන් තිරගතවේ.

"වෛෂ්ණාවී" එහෙමත් නැත්නම් "රුක් දේවතාවිය" කියන මේ සම්භාව්‍ය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සිනමා කිවිදිනි සුමිත්‍රා පීරිස් විසිනුයි.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන චරිතාංග නිළියකට අපි කතා කළා. ඇය යශෝධා විමලධර්ම.

යශෝධා, අමුතුම විදියේ කතාන්දරයක් මේ චිත්‍රපටයේ ඇතුළත් වී තිබෙන බවයි පෙනෙන්නේ?

ඔව්.....ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කතාවක් තමයි මේ චිත්‍රපටය පුරා දිගහැරෙන්නේ. රූකඩ කලාවට සම්බන්ධ තරුණයෙක් හා රුක් දේවතාවියක් අතර ඇතිවන සබඳතාවක් හා එයින් මේ ජන සමාජයට ලබාදෙන සුවිශේෂී පණිවුඩය අතිශය ගැඹුරින් අප සිතා බැලිය යුතුයි. අවසානයේ මිනිස් වෙසින් සිටින ඇය ඇගේ විමානයට යන්නේ ඒ වැදගත් පණිවුඩය මිනිස් සමාජයට ලබාදුන් පසුවයි.

සුමිත්‍රා පීරිස් මහත්මිය මේ චිත්‍රපටය ඉතා ඕනෑකමින් අධ්‍යක්ෂණය කළ බව කියැවෙනවා?

ලෙස්ටර් සර් දැන් අවුරුදු 99ක් වයසැති, ඒත් ඉතා හොඳ සිහි නුවණින් ජීවත් වන දුර්ලභ ගණයේ මනුස්සයෙක්. ඔහු මේ චිත්‍රපටයේ දිගහැරෙන කතාවට ඉතා ආදරෙයි.
ඒ නිසාම සුමිත්‍රා පීරිස් මහත්මිය තමන්ගේ ස්වාමිපුරුෂයාට ලබාදෙන සුවිශේෂී තෑග්ගක් හැටියට තමයි මේ චිත්‍රපටය නිර්මාණය කළේ. ඒත් දැන් ඇය ඉන්නේ විශාල ප්‍රශ්න ගොඩක.

ඇයි ඒ?

පසුගිය කාලයේ ඇගේ නිවෙස සම්බන්ධව ඇතිවුණු ප්‍රශ්නය හැමදෙනාම දන්නවා. දැන් මේ චිත්‍රපටය. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ මනෝ නානායක්කාර මහතායි. ඔහු හදිසියේ අසනීප වුණා. මේ නිසාම චිත්‍රපටයේ අවසාන අදියරේ වැඩ කටයුතු හුඟක් අතපසු වුණා. චිත්‍රපටය අවසන් කරලා අවුරුදු 5-6ක් විතර ගත වුණත් තිරගත කරගන්න පිටපත් වගේම ප්‍රචාරක හා අනිකුත් සියලු දේ අවසන් කර ගන්න බැරිව ඇය ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා.
ජාතික චිත්‍රපට සංස්ථාවෙන් පවා ඇය උදවු ඉල්ලුවා. වගකිවයුතු අයට කිව්වා. ඒත් වැඩක් වුණේ නැහැ. අවසානයේදී තමයි එහි රඟන අපි මේ වෙනුවෙන් මහන්සි වුණේ.
මම හිතන්නේ ආචාර්ය ලෙස්ටර් - සුමිත්‍රා යුවළ අද ඉන්නේ දැඩි මානසික කම්පනයකින්. මේ රට වෙනුවෙන් සිනමා කර්මාන්තය වෙනුවෙන් නිර්මාණ රැසක් දායාද කළ ඔවුන් අද තනි වෙලා.

මේ චිත්‍රපටයේ ඔබ සමඟ රංගනයේ යෙදෙන අනිකුත් නළු නිළියන් කවුද?

තුමිඳු ‍ෙදාඩන්තැන්න, ජයලත් මනෝරත්න, අයිරාංගනී සේරසිංහ, වසන්ති චතුරාණි, මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් පිලපිටිය, ටෝනි රණසිංහ, සමාධි වගේ ශිල්පීන් රඟපානවා.

අපි ඔබේ පැත්තට දැන් හැරෙමු. ඔබත් තනිවම වැඩ කරගන්න කෙනෙක්. ජීවිතේ ගැන දුකක් හිතෙන්නේ නැද්ද?

(සිනාසෙමින්) ඒක ගැන මට තිබෙන්නේ ලොකු සතුටක්. මොකද මම මේ ජීවිතේ කැප කර තිබෙන්නේ මගේ අම්මා තාත්තා වෙනුවෙන්. තාත්තා දැන් ජීවතුන් අතර නැති වුණත් මම ඔහු වෙනුවෙන් උපරිමයට සතුටු විය හැකි විදියට යුතුකම් ඉටු කළා. දැන් අම්මා ඉන්නේ අසනීපෙන්නේ. ඇය ගැන මම අවධානය යොමු කර තිබෙන්නෙත් ඒ විදියටමයි.

ඒ අයට ඔබ ගැන දුකක් තිබුණේ නැද්ද?

නැහැ. ඕනෑම කෙනෙක් මගේ අම්මාගෙන් ඇහුවොත් ඇය මගේ තනිකඩ ජීවිතය ගැන දුක් නොවන බව දැන ගන්න හැකිවේවි. ඇය මා ගැන දන්නවා.

ගෑනු ළමයෙක් වුණාම නිසි වයසේදී විවාහ විය යුතුයි. නැතිනම් කවදා හෝ තනිකම දැනේවි කියන මතය තුළ ඔබ ඉන්න බවක් පෙනෙන්නේ නැහැ?

ඔව්.....කවුද ඒ විදියේ සාම්ප්‍රදායික මත හදලා තිබෙන්නේ, මිනිස්සු නේද? ඒක මතයක් විතරයි. ඇයි ගෑනු ළමයකුට තනියම ඉන්න බැරිද? ඉන්න පුළුවන්. ජීවිතේ තේරුම් ගත්තාම එහෙම ඉන්න පුළුවන්. මම ඉන්නවා. මට ඒක ගැන දුකක් නැහැ.
අනික දුක දැනෙන්නේ මොකටද? අපිට කොයිතරම් වැඩ කරන්න තියෙනවද? කාර්යබහුල ජීවිත ගත කරන අපිට එහෙම හිතන්න, දුක් වෙන්න වෙලාවක් නැහැ. වැඩ...වැඩ..වැඩ. එහෙම තමයි ජීවිතේ ගෙවෙන්නේ.

ඒ කියන්නේ තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියන එකද?

මට මගේ මවුපියන් හොඳ මාර්ගයක් පෙන්වා දුන්නා. අධ්‍යාපනය ලබා දුන්නා. මගේ ජීවිතේ ස්ථාවරය රඳවා ගන්නා හැටි දැන් මම දන්නවා. නම කැත කරගන්නේ නැතිව ජීවත් වෙන හැටි මට තේරෙනවා. ඒ හැකියාව මට ලැබුණේ ගෙදරින්. අම්මා තාත්තා දෙන්නා මාව හොඳින් තේරුම් ගත්තා. ඒ සතුට මට තියෙනවා. මිනිස්සු අතරට ගියාම ඒ ලැබෙන රසික ප්‍රසාදය වගේම ආදරය මම විඳිනවා.
මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 32ක්. පාසල් යන කාලේ තමයි මගේ තාත්තා මාව මේ ක්ෂේත්‍රයට යොමු කළේ. එදා ඉඳලා ඔවුන් මම යන ගමන දිහා බලා හිටියා. ආශීර්වාදය ලබා දුන්නා. මම හිතනවා මේ වගේ දෙන්නෙක් මට ලැබුණේ පෙර සසරේ කළ පිනකට කියලා.
මගේ මවුපියන් සාම්ප්‍රදායික විදියට හිතන අය නෙවෙයි. මම තනිකඩව හරි සතුටින් ඉන්නවා නම් ඉන් එහාට දෙයක් ගැන ඔවුන් හිතන්නේ නැහැ.

ගෑනු ළමයකුට මේ සමාජය තුළ විවාහ නොවී තනිවම ජීවත් වෙන්න පුළුවන්ද?

පුළුවන්. මේ මම ඉන්නේ (සිනා සිසී) ඒකට බුද්ධිය තිබෙන්න ඕන. තමන් කරන දේ අවබෝධයෙන් යුතුව කරන්න ඕන.


සමන් ප්‍රියංකර නම්මුනිගේ
ඡායාරූප -
වෙනුර චන්ද්‍රමාලිත

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon