එජාප ප්‍රතිසංවිධානය අප්‍රේල් 30දාම කළ යුතුයි

  👤  1813 readers have read this article !
Published by : MB WEB 2018-04-19 13:28:01

අප්‍රේල් 30 වැනිදා වන විට අවසන් වීමට නියමිතව තිබුණු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය මැයි 06 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම විරෝධය පළ කරන බවත්, එම ප්‍රතිසංවිධාන කටයුතු අප්‍රේල් 30 වැනිදා වන විට පොරොන්දු වූ පරිදි අවසන් විය යුතු බැව් දැනුම් දී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් කමිටු 4ක් පත්කළ බවත්, පක්ෂයේ ප්‍රධාන තනතුරු තරුණ ක්‍රියාකාරීන්ට ලබාදීමට අග්‍රාමාත්‍යවරයා ඒ අවස්ථාවේ එකඟ වූ බවත් චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ඊට අමතරව පක්ෂයේ ඉදිරි නායකත්වය ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යම් යම් ඉඟි පළ කළ බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

මේ සියලුම කරුණු සම්බන්ධයෙන් 30 වැනිදා තෙක් දැඩි අවධානයකින් පසුවන බවත් එම පොරොන්දු ඉටු කිරීමට ක්‍රියා නොකළොත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ඇමැතිවරුන් ඇතුළු අති බහුතරයක් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් වෙනුවෙන් දේශපාලන තීන්දුවක් ගන්නා බවත් විජේසිරි මන්ත්‍රිවරයා අවධාරණය කරයි.

එවැනි තීන්දුවක් ගත්තොත් එක්සත් ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් ඇතිවී දැඩි ව්‍යාකූලතාවක් ඇතිවීමට ඉඩ තිබෙන බවත්, එවැනි තත්ත්වයක් ඇති නොකර පොරොන්දු වූ පරිදි ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සිදුකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon