මම ලස්සන ජීවිතයක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ

  👤  1740 readers have read this article !
Published by : MB WEB 2018-04-29 09:39:02

මේ දවස්වල පැතුම් වැඩ කිහිපයකම පේන්න ඉන්නවා?

ඔව්. ධ්ඊව් නාළිකාවේ විකාශය වෙන පිනි ටෙලි නාට්‍යයට වගේම ස්වර්ණවාහිනියේ 'පාරා' කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. තවත් ටෙලි නාට්‍යකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ලබන මාසේ ඉඳන් ඒ ටෙලි නිර්මාණයටත් සම්බන්ධ වෙන අදහසින් ඉන්නේ.

පසුගිය කාලේ පැතුම් වැඩිපුර ටෙලි තිරයේ පේන්න හිටියේ නෑ. ඒත් දැන් පුංචි තිරයට අවස්ථා ජයයි වගේ?

මම ක්‍ෂේත්‍රයට ආපු කාලේ පොඩි බේ්‍රක් එකක් තිබ්බා. ඊට පස්සේ දැන් ආයෙත් ටිකක් වැඩකරන්න පටන් ගෙන තියෙන්නේ.

දැන් ලැබෙන හැම නිර්මාණයක්ම පැතුම් භාරගන්නවාද?

ලැබෙන හැමදේම මම කරන්නේ නෑ. මට හරියන වැඩක් නම් තමයි මම ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. මොකද මම හදාගත්ත ප්‍රතිරූපයක් තියෙනවා. ඒ හදාගත්ත තැන එක්ක එතැනින් පල්ලෙහාට යන වැඩක් නම් මම කරන්නේ නෑ.

පැතුම්ගේ තෝරා ගැනීම් වැඩිද?

තෝරා ගැනීම් කියන්නේ, ලැබෙන චරිතයෙන් මට හානියක් කර ගන්න මම කැමැති නැහැ. මම ක්‍ෂේත්‍රයට ආවේ ප්‍රධාන චරිතයකින්. ඒ නිසා මම හිටිය තැනින් උඩට යන්න පුළුවන් දේවල් තෝරා ගන්නවා.

ඒ කියන්නේ පැතුම් ප්‍රධාන චරිතමද හොයන්නේ?

නැහැ. නැහැ. මම ප්‍රධාන චරිත හොයන්නේ නැහැ. මට කරන්න තියෙන්නේ එක සීන් එකක්ද, මම ඒක හරියට කරනවා. චරිතයක් දුන්න පළියට කරන්නම් වාලේ චරිත කරන්න මම කැමැති නැහැ.

පැතුම් එක අධ්‍යක්ෂවරයෙක්ගේ වැඩවල නිතර දකින්න ලැබෙනවා. මොකද්ද හේතුව?

ශාන්ත සොයිසා මහත්තයාගේ වැඩවල මාව වැඩිපුර දැක්කම ඒ අධ්‍යක්ෂවරයාගේ වැඩ විතරක් මම කරනවා කියලා සමහරු හිතනවා ඇති. ශාන්ත සොයිසා මහත්තයා තමයි මාව රංගනයට ගෙනාවේ. ඉතින් ඔහු ඔහුගේ නිර්මාණවලට මට කතා කරනවා. ඔහුගේ නාට්‍ය ජනප්‍රියත් වෙනවා. එහෙම කියලා ඔහුගේ වැඩවලට විතරක් මම සීමා වෙලා නැහැ. මම වෙනත් අධ්‍යක්ෂවරු එක්කත් වැඩ කරනවා.

පැතුම්ටත් පස්සේ ක්‍ෂේත්‍රයට අලුත් අලුත් අය එකතු වුණා. අලුත් අය පැතුම්ට අභියෝගයක්ද?

එක එක්කෙනාට තියෙන්නේ විවිධ දක්ෂතා. අපි අපිට ලැබෙන චරිතයෙන් හැකියාව පෙන්වනවා මිසක් කාවවත් අභියෝගයක් කරගන්න අවශ්‍ය නැහැ. අපිට ප්‍රේක්ෂකයෝ ආදරය කරනවා. ඒ ආදරය රැකගෙන වැඩ කළොත් හරි.

පැතුම්ට ලැබෙන අවස්ථා ගැන සතුටු වෙන්න පුළුවන්ද?

මම වැඩ මත්තෙම මැරී ගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. නිදහසේ ඉන්න වැඩිපුර කැමැතියි. හැබැයි ලැබෙන දේ මම හරියට කරනවා.

දැන් මියුසික් වීඩියෝ අතහැරලාද?

මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන එක ටිකක් අඩු කළා. මොකද අපි ආවා වගේම අලුත් කට්ටිය එන්න ඕන. එයාලටත් අවස්ථා දෙන්න ඕන. හැම වැඩකටම අපිම එල්ලෙන්න හොඳ නැහැ. ඒ නිසා එයාලටත් අවස්ථා දීලා මම බේ්‍රක් එකක් තිබ්බා.

කලා ශිල්පීන් ගැනත් කාලෙන් කාලෙට එක එක කතා පැතිරෙනවා. පැතුම් ගැනත් දැන් කතාවක් පැතිරෙනවා දන්නවාද?

නැහැනේ... මම නම් එහෙම දෙයක් දන්නේ නැහැ. එක එක කාලෙට අපි ගැන එක එක කතා කියනවනේ. ගොඩක් මිනිස්සු ඉතිං හොඳක් කියනවට වඩා නරකක් කියන්නනේ බලන්නේ. මම නම් ඔය කතා කියනවට ආසයි. ඒ කියන්නේ අපිට කතා හදන්නේ අපි ජනප්‍රිය නිසානේ. ඔය කතාවලින් අපි තවත් ජනප්‍රිය වෙනවා.

පැතුම්-ගයාත්‍රි නම් සම්බන්ධ කරලා පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?

මෙහෙමයි. ඔය වගේ කතා ඉතින් අපි එකට වැඩ කරද්දී හැමෝටම හදන කතා. ගයාත්‍රි අක්කා මගේ යාළුවෙක්. අපි පිනි ටෙලි නාට්‍යයේ එකටත් වැඩ කරනවා. අපි දෙන්නා එකට කරපු කවර් පේජ් එකක් නිසා තමයි ඔහොම කතා හදලා තියෙන්නේ. අපි අතර වෙන සම්බන්ධයක් නැහැ. වැරැදි නැති වෙලත් පද හදන එක තමයි මිනිසුන්ගේ වැඩේ.

එතකොට මේ පැතිරෙන කතා බොරු කියලද කියන්නේ?

ඔව්. එහෙම දෙයක් වෙන්න බෑ. මම ක්‍ෂේත්‍රයේ කෙනෙක් විවාහ කරගන්න කැමැත්තක් නැහැ. ක්‍ෂේත්‍රයෙන් පිට කෙනෙක් සහකාරිය කරගන්න තමයි මම කැමැති. පසුගිය කාලේ මම මෙගා ස්ටාර් වැඩසටහනට අනුරාධා එක්ක නර්තනයක් ඉදිරිපත් කළාමත් ගොඩක් අය ඇහුවා එයා මගේ ගර්ල් ෆ්රෙන්ඩ්ද කියලා. අපි කා එක්ක හරි එකට වැඩ කළොත් ඔහොම කතා හැදෙනවා. ඕක මට විතරක් පොදු දෙයක් නෙවෙයි. ඔය කතා ගැන මම හිතන්නේ නෑ. මම ලස්සන ජීවිතයක් ගැන බලාපොරොත්තු තියාගෙන වැඩ කරන කෙනෙක්.

ක්‍ෂේත්‍රයෙන් පිට හිත ගියපු කෙනෙක් ඇති එහෙනම්?

හිත ගියපු අය නම් ඉන්නවා. ඒවා වෙලාවට කලාවට සිද්ධ වෙයි. නළුවෙක් කියලා නොබැඳ ගොඩක් කල් ඉන්න මගේ අදහසක් නැහැ. අවුරුදු 29, 30 වෙද්දී මම විවාහ වෙනවා. සුදුසු කාලේ සුදුසු පරිදි විවාහය සිද්ධ වෙයි. බලමු නේද?

මොනවද පැතුම්ගේ ඉදිරි සැලැසුම්?

මම මගේ සැලෝන් එක පටන් ගන්න හිටියේ. ඒත් ආර්ථික ප්‍රශ්නයක් නිසා ඒක කල් ගියා. කොහොම වුණත් ඔක්තෝබර් මාසයේ විතර ඒක ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූපය - අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon