ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට බෝම්බ ප්‍රහාර දෙකක්

  👤  1153 readers have read this article !
Published by : MB WEB 2018-05-01 16:08:34

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට ඊයේ (30) එල්ල වූ ඉස්ලාමීය සටන්කාමීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් හේතුවෙන් මාධ්‍යවේදීන් අට දෙනකු ඇතුළුව 29 දෙනකු මරුමුවට පත්ව ඇත.

මරුමුවට පත්වූ මාධ්‍යවේදීන් අතර ප්‍රංශ පුවත් සේවයට (AFP) අයත් ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු වන ෂාහ් මාරයි (Shah Marai) ද වන බව AFP පුවත් සේවය ප්‍රකාශ කරයි. එසේම මියගිය මාධ්‍යවේදීන් අටදනා අතර මාධ්‍යවේදිනියකද සිටින බව වාර්තා වේ.

කාබුල් අගනුවර Shashdark නමින් හැඳින්වෙන ප්‍රදේශයේ ඊයේ පෙරවරු 8ට පමණ බෝම්බයක් පුපුරා ගොස් ඇත. ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ඇෆ්ගන් රාජ්‍ය ආයතන පිහිටි මෙම පෙදෙසේ සිදුවූ පිපිරීම වාර්තා කිරීම සඳහා වහ වහා එහි පැමිණි මාධ්‍යවේදීන් අතර රූපවාහිනි කැමරාකරුවකු ලෙස වෙස්වළාගෙන සිටි IS සටන්කාමියකු දෙවැනි බෝම්බය පුපුරවා හැරීමෙන් මාධ්‍යවේදීන් අටදෙනා මරුමුවට පත්ව තිබේ.

මෙම පිපිරීම් දෙකේම වගකීම IS සටන්කාමීන් විසින් භාරගෙන තිබේ.

මෙම බෝම්බ පිපිරීම් දෙකෙන් තවත් 45 දෙනකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර ඇත. AFP පුවත් සේවයට අනුව මියගිය AFP ඡායාරූප ශිල්පි ෂාහ් මාරයි 1996 දී රියැදුරකු වශයෙන් එම පුවත් සේවයට එක් වී ඇති අතර 2002දී ඔහු ඡායාරූප සපයන්නකු බවට පත්වී තිබේ. අවසානයේදී ඔහු පුවත්පත් සේවයේ ප්‍රධාන ඡායාරූප ශිල්පී තනතුරට ද පත්විය.

තමන්ට අහිමි වූ ඡායාරූප ශිල්පියා ගැන AFP පුවත් සේවයේ ගෝලීය අධ්‍යක්ෂවරයා ෂාහ් මාරයි අලුත උපත් දියණියක ඇතුළු දරුවන් සය දෙනකුගේ පියකු බවද සඳහන් කර ඇත. ඔහු ඇෆ්ගනිස්තානයේ ගැටුම් වසර 15ක් තිස්සේ ආවරණය කරන්නකු බවද සඳහන් කර තිබේ.





සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon