මමත් ගේම්කාරයෙක්

  👤  1910 readers have read this article !
Published by : MB WEB 2018-05-04 17:29:49

විරාජ් දැන් අලුත් වැඩක පේන්න අරගෙන

ඔව්. "සිල්ලර සමනල්ලු" ටෙලි නාට්‍ය තමයි මම සම්බන්ධ වුණු අලුත්ම ටෙලි නාට්‍යය. සද්ධා මංගල සූරිය බණ්ඩාර තමයි පිටපත ලියන්නේ. සංජය නිර්මාල් තමයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. මම මේ ටෙලි නාට්‍යයේ නිරූපණය කරන්නේ "පැටියා" කියන චරිතය.

ඉඳලා ඉඳලා විරාජ් එහෙනම් ගේම්කාරයකුත් වුණා..?

ඔව්. මමත් ගේම්කාරයෙක් වුණා. පුංචි තිරයේ ගොඩක් අය මාව දැකලා තිබ්බේ පෙම්වතාගේ චරිතයෙන්. ඒත් "සිල්ලර සමනල්ලු" ටෙලි නාට්‍යයේ මම එක්තරා විදියක ගේම්කාරයෙක්. මහා පරිමාණයේ ගේම් ප්ලෑන් කළාට අපි කරන්නේ ගොන්කම්. මාව මේ වගේ චරිතයකින් ප්‍රේක්ෂකයන්ටදකින්න ලැබීම අලුත් අත්දැකීමක් වෙයි. 

පෙම්වතාගේ චරිතයෙන් පිට පැනලා මේ වගේ වෙනස් චරිතයක් කරන්න විරාජ් ගේමක් දෙන්න ඇති නේද..?

මම ධනංජය එක්ක පළමුවැනි වතාවට තමයි රඟපාන්නේ. ධනංජය කියන්නේ මම ආස කරන නළුවෙක්. ඒ වගේම රොහාන් කියන්නෙත් දැන් ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක්. මේ දෙන්නා අතරට මාව දාන්න ඇත්තේ ලොකු වගකීමක් එක්ක. මම මගේ චරිතය ෆේල් නොවී කරන්න ඕන. ආසම කරන චරිතයක් මම මේ කරන්නේ. ඉතිං ඒ චරිතය හොඳට කරන්න මම ගේමක් දීලා තියෙනවා.

ඒ කියන්නේ විරාජ් කැපී පෙනෙන්න උත්සාහ කරනවා කියන එකද?

මම කැපිලා පෙනෙන්න උත්සාහ කරනවා නෙවෙයි. නමුත් සමහරු හිතනවානේ අපිට රඟපාන්න බෑ කියලා. විරාජ් පෙරේරාට රඟපාන්න බෑ කියලා කවුරුහරි කිව්වොත් ඒ කෙනාට මේ චරිතය බලන්න කියන්න. මම රංගනය තුළ කාටවත් පරදින්නේ නෑ. ධනංජයගෙන් සහ රොහාන්ගෙන් ගේමක් ඉල්ලලා මම රඟපාලා තියෙනවා.

ඔය වගේ දේවල් කියද්දි විරාජ් පොර මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් කියලා හිතෙන්න පුළුවන්..?

මම පොරක් කියලා කියන්න මම උත්සාහ කරන්නේ නැහැ. අපි අපේ හැකියාව පෙන්නන්න ඕන. අභියෝග තියාගන්න ඕන. අපි අපි අතර පෞද්ගලික කෝන්තරවත් පෞද්ගලික තරගවත් නැහැ. අපේ චරිත ප්‍රේක්ෂකයාට දැනෙන තැනට ගේන්න වගේම දක්ෂතාව පෙන්වන්න තමයි උරෙන් උර ගැටෙන්නේ.

විරාජ්ට ක්ෂේත්‍රයේ අයගෙන් කැපිලි තියෙනවද..?

කැපිලි නම් නැති වෙන්න බැහැ. කොච්චර කැපිලි තිබ්බත් මම මගේ වැඩේ හරියටම කරනවා. මම මේ තාක් කැපවීමෙන් වැඩ කරගෙන ආවා. ඒ කැපවීමට දැන් ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. මේක මගේ හොඳම කාලය. කැපිලි තිබ්බත් මම මට පුළුවන් උපරිම තැනට යනවා.

දැන් විරාජ් ටෙලි තිරයට වැඩි ඉඩක් වෙන් කරලද..?

ඔව්. මම මේ දවස්වල ටෙලි නාට්‍ය වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කරන්න හිතුවා. මේ අවුරුද්ද ඇතුළත ටෙලි නාට්‍ය උපරිම හතරක් පහක් වගේ කරන්න ඉන්නේ.

ලැබෙන හැම වැඩේම පේන්න ඉන්න අදහසක් නැද්ද..?

මම ලැබෙන හැම වැඩේම එල්ලෙන්නේ නෑ. පිටපත හොඳ වෙන්න ඕන. අධ්‍යක්ෂවරයා ගැනත් මම හිතනවා. මම හදාගත්ත චරිතය පලුඳු වෙන වැඩක් කරන්නේ නැහැ. උසස් නිර්මාණයකට වුණත් කැපවෙන්න පුළුවන් හැකියාව මට තියෙනවා.

ඔය කැපවීම ඇතුළේ සම්මාන ගැන බලාපොරොත්තුත් ඇති නේද..?

සම්මාන ලබන්න ආසයි. ජනප්‍රිය සම්මානය ගන්න එක නම් දේශපාලනය කරනවා වගේ වැඩක්. ඒ නිසා ජනප්‍රිය සම්මානයට වඩා හොඳම නළුවා කියන තැනට එන්න ලොකු ආසාවක් තියෙනවා.

විරාජ් දැන් බොහෝ වෙලාවට දකින්නේ එක නාළිකාවකින්. විරාජ් එක නාළිකාවකට කොටු වෙලාද..?

මම රඟපාන නාට්‍ය එක නාළිකාවකින් විකාශය වෙද්දී සමහරුන්ට හිතෙන්න පුළුවන් මම ඒ නාළිකාවට විතරක් කොටුවෙලා කියලා. ඒත් මම නාළිකා බෙදාගෙන නැහැ. සමහර මාධ්‍ය නාළිකාවලින් අපිට කතා කරන්නේ නැහැ. අපිට කතා කරන මාධ්‍ය නාළිකා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න මගේ අකැමැත්තක් නැහැ.

මියුසික් වීඩියෝවල රඟපෑම අතහැරියාද..?

ඉස්සර වගේ නෙවෙයි. දැන් ලැබෙන ඔක්කොම කරන්න අමාරුයි. මේ අවුරුද්දටම තාම මම කළේ මියුසික් වීඩියෝ දෙකයි. දැන් මියුසික් වීඩියෝ කළා ඇති. මොකද අලුත් අයත් දැන් එන්න ඕන.

මොනවද අලුත් වැඩ..?

අලුත් නාට්‍යයකට ආරාධනා ලැබුණා. ඉදිරියෙදි එයටත් සම්බන්ධ වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අශාන් ගමගේ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon