'යශෝදරා' චරිතයට හඬ කවන්න ලැබීම වාසනාවක්

  👤  3690 readers have read this article !
Published by : MB WEB 2018-05-06 15:29:43

යශෝදරා චිත්‍රපටයේ යශෝදරාවට හඬකවන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

මට ඒ අවස්ථාව උදාවුණේ අධිරජ ධර්මාශෝක කතා මාලාවේ දේවි ධර්මාට හඬකැවීම නිසා. දේවි ධර්මාට රඟපාන 'පල්ලවී' තමයි යශෝදරා චිත්‍රපටයේ යශෝදරා දේවියටත් රඟපාන්නෙ. ඒ නිසා මට යශෝදරාට හඬකවන්න අවස්ථාව ලැබුණා. මට ඒ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සුනිල් ආරියරත්න මහතාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාව ඒකට සුදුසුයි කියලා යෝජනාව ගෙනාවෙ කමල් දේශප්‍රිය සහ සංජීවනී. ඒ අයටත් ස්තුතිවන්ත වෙනවා.

ඒ කියන්නේ යශෝදරාවගේ චරිතයට හඬකවන්න ලැබීම ගැන සතුටින් වගේ ඉන්නේ?

යශෝදරා කියන්නෙ ලෝකෙ හිටපු උසස් චරිතයක්. ප්‍රජාපතී දේවියයි, යශෝදරා දේවියයි තරම් ශේ‍ර්ෂ්ඨ කාන්තාවෝ දෙන්නෙක් මේ ලෝකේ පහළ වෙලා නෑ. ඒ වගේ පරමාදර්ශී චරිතවලට හඬකවන්න ලැබීම මට ලැබුණු භාග්‍යයක්. ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍ය මාලාවේදී ප්‍රජාපතී දේවියගේ චරිතයට හඬකවන්න මට අවස්ථාව ලැබුණා. 'යශෝදරා' චරිතයට හඬකවන්න ලැබීම ඇත්තටම වාසනාවක්.

යශෝදරාවගේ චරිතයට හඬකැවීම වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති?

ඔව්. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට පල්ලවීව ප්‍රිමියර් එකේදී හම්බවුණා. ඒ වෙලාවෙ මම එයත් එක්ක කතා කළා. ඇත්තටම එයා මට ස්තුතිවන්ත වුණා, මගේ කටහඬ නිසා එයාගේ චරිතෙ ගොඩක් ඉස්මතුවීම ගැන. ඒකට මට ගොඩක් සතුටුයි.
සුනිල් ආරියරත්නයන් වගේම නන්දා මාලනී, රෝහණ වීරසිංහ වගේ මේ ෆිල්ම් එක බලපු ගොඩක් අය මට පෞද්ගලිකවම කතා කරලා කිව්වා හඬ කැවීම ඉතාම සාර්ථකව කරලා තියෙනවා කියලා. ඒක මටත් ලොකු සතුටක්.

මේ හඬ කැවීම අසීරු වුණේ නැද්ද?

තව කෙනෙක්ගෙ චරිතයකට හඬකවනවා කියන එක ලොකු දෙයක්. යශෝදරා දේවියට රඟපාන කෙනා ඉන්දියානු නිළියක්. නමුත් එයා සිංහලෙන් තමයි දෙබස් හැම එකක්ම කිව්වේ. අපි සිංහල උච්චාරණය කරන විදියයි පල්ලවී සිංහල උච්චාරණය කරන විදියයි වෙනස්. එනිසා ඒකට හඬකවනවා කියන එක ගොඩක් අසීරුයි. මම හිතනවා මේ චරිතයට හඬකැවීම තුළ මට වටිනාකමක් එකතු වෙනවා කියලා. ගොඩක් අය පුදුම වුණා, මම ඒ චරිතෙට හඬකැවුවෙ කියලා දැනගත්තම.

හඬකැවීම කොතරම් ප්‍රබල මාධ්‍යයක් වුණත් හඬකැවීමේ ශිල්පීන්ට නිසි ඇගයුම ලැබෙනවා කියලා හිතනවද?

හඬකැවීම් ශිල්පය ගැන ඒ නිර්මාණකරුවන් ගැන ශ්‍රී ලංකාවේ ලොකු ඇගයීමක් කරන්නෙ නෑ. ඒක කනගාටුවට කාරණාවක්. අපි කොච්චර වෙහෙසක් දරලාද නිර්මාණ තුළින් තව චරිතයක් ජීවත් කරන්නේ. ඒවාට නිසි ඇගයීමක් ඇත්තටම නැහැ. හැමෝම අහනවා ඕගොල්ලො මෙච්චර දේවල් කරනවා ඒ වෙනුවෙන් නිසි ඇගයීමක් කරන්නෙ නැත්තේ ඇයි කියලා.
අපිව අගයන්න කියලා අපිට කියන්න බෑනේ. ඒවාට අදාළ බලධාරීන් නිසි ක්‍රමවේද සකස් කළ යුතුයි. නමුත් අපි අපේ සතුට සහ තෘප්තිය පතා මේ නිර්මාණවලට දායක වෙනවා.

සමහර ශිල්පීන් විදේශීය ටෙලි නාට්‍යවලට චිත්‍රපටවලට හඬකැවීම ප්‍රතික්‍ෂේප කරනවා. විදෙස් නිර්මාණවලට හඬ රංගනය කිරීමට ඔබේ විරුද්ධත්වයක් තිබුණෙම නැද්ද?

විරුද්ධයි කියන්නෙ බහුතරය නොවේ. සුළුතරය. විදේශීය ටෙලි නාට්‍ය ආවේ අද ඊයෙක නෙවෙයි.
හඬකැවීම් කරන්න සිද්ධ වෙන්නේ අපේ හොඳ නිර්මාණකරුවන්ට අවස්ථාව නොලැබීම හේතුවෙන්. මීට අවුරුදු 20කට කලින් නිර්මාණයකට ගෙවූ මුදලටත් වඩා අඩු මුදලක් නිර්මාණයකට ගෙවන කොට නිර්මාණකරුවො කොහොමද නිර්මාණ කරන්නේ. එතකොට නිර්මාණකරුට සිද්ධවෙනවා හොඳ නිර්මාණ අතහරින්න.
විදේශීය නිර්මාණයකට හඬකවලා විකාශය කරන එක චැනල් එකකට ලාභයි. ඒකට යන වියදම අඩුයි. ඩබින් කරන එකට ලොකු වියදමක් යන්නේ නෑ. ආටිස්ලට ගෙවන ප්‍රමාණය විතරයි. මේ විදියට ලොකු බජට් එකක් යන්නෙ නැති හින්ද තමයි ඒවා නිතරම විකාශය වෙන්නෙ. එතකොට අපේ දේශීය නාට්‍ය කලාවට වෙන්නෙ අයහපතක්. ඒවා ගොඩනඟන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ.

සිනමා හඬ රංගනයට සම්බන්ධ වෙලා ඉන්න "ෆර්නි" සිනමා රංගනය තුළ දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඇයි ඒ?

මම සිනමා නිර්මාණ තුනකට සම්න්ධවෙලා තියෙනවා. හෙක්ටර් කුමාරසිරිගේ "අනෝරා" කියන සිනමා නිර්මාණය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. හොඳ නිර්මාණවලට කතා කළොත් සහභාගි වෙන්න පුළුවන්. නිර්මාණයකට, මුදලකට විතරක් පෙනී හිටින්න ගිහින් වැඩක් නැහැ. අපේ හොඳ සිනමා කර්මාන්තයක් තියෙනවා. ඒ සිනමා කර්මාන්තය පණ ගහලා ගන්න ඕනේ. රජයේ මැදිහත්වීමත් මේකට තියෙන්න ඕනේ. අපි සිනමාව කිව්වම කතා කරන්නේ 70, 80 දශකය ගැන විතරයි. අපේ දේශීය සිනමා කර්මාන්තය ඉදිරියට ගෙනයන්න නම් ඒ වෙනුවෙන් ලොකු දේවල් ටිකක් කරන්න වෙනවා. සමහර වෙලාවට ඇතැම් නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණවලට සහභාගි කරවා ගන්නෙත් එකම පිරිසක් පමණයි.

ඔබ මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්න ටෙලි නාට්‍ය ගැනත් මතක් කරමු?

ජයලත් මනෝරත්නයන්ගේ "සූරිය කුසුම" ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. අවුරුදු දහයකට පස්සේ නැවතත් "බට්ටි" ටෙලි නාට්‍යය සියත ටීවී එකේ විකාශය වෙනවා. ජනක චමින්ද නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. මම ඒ ටෙලි නාට්‍යයේ වැල්ලේ චරිතයක් නිරූපණය කරනවා. ඊට අමතරව තුෂාරි අබේසේකරගෙ ටෙලි නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

ඔබ වේදිකාව වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කරලා තියෙනවා නේද?

සම්පත් සහ රත්නා ලාලනීගේ "දෙසීය තුන්සීය" ලූෂන් බුලත්සිංහලගේ "තාරාවෝ ඉගිළෙති", ජයලත් මනෝරත්නගේ "හඬ නිහඬ" රවීන්ද්‍ර ආරියරත්නගේ "චරිතෙ හොරු අරන්" කියන වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලත් තියෙනවා. ගොඩක් අවිවේකී වෙන්නත් බෑ. පොඩි විරාමයක් එක්ක වැඩකරන්න තමයි ඉන්නෙ.

මොනවද තවත් අලුත් වැඩ කටයුතු?

ජුනි මාසයේදී දර්ශන රුවන් දිසානායකගෙ "වසන්ත නිද්‍රාව" කියලා ඔපෙරාවකට සම්බන්ධ වෙලා ඉන්නවා. ජුනි 04, 05 දිනවල නෙලුම් පොකුණ රංග ශාලාවේදී ඒක රංගගත වෙනවා. සංගීතය විඳින්න පුළුවන් අයට ඒක ලොකු අත්දැකීමක් වෙයි.

කොච්චර රාජකාරි තිබ්බත් ගුවන් විදුලිය තාම අතහැරලත් නෑ නේද?

මම මේ හැමදෙයක්ම කරන්නෙ ගුවන් විදුලියෙත් සේවය කරන ගමන්. රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්. මම ගොඩක් ආසාවෙන් ගුවන් විදුලියේ සේවය කරන්නෙ. ගුවන් විදුලිය නිසා තමයි මගේ ජීවිතයට අර්ථයක් වෙන හැමදේම මට ලැබිලා තියෙන්නෙ. ඒ හින්දා මුදලට එහා ගිය සේවාවක් ගුවන් විදුලිය වෙනුවෙන් මම කරන්න උත්සාහ කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon