අනතුර ඉදිරියේ දිවි පරදුවට තබන මාධ්‍යවේදීන්

  👤  1183 readers have read this article !
Published by : MB WEB 2018-05-06 16:52:57

මැයි මස තුන් වෙනිදා සිහිපත් කෙරෙන ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් ලෝකය පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

1990 පටන් මේ දක්වා ලෝකය පුරා මරා දමනු ලැබ ඇති මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 2,500 කට අධික බව මාධ්‍යවේදිනී සොරායා අවෙර් (Soraya Auer) බීබීසී වෙබ් අඩවියට සපයන ලද ලිපියකින් පවසන්නීය.

පසුගිය මස 30 වෙනිදා මෑත කාලයේ මාධ්‍යවේදීන් ගොදුරු කරගත් මාරක ප්‍රහාර වාර්තා වූ දිනයකි.

එදින ඇෆ්ඝනිස්ථානයේ එල්ල කෙරුණු ප්‍රහාර දෙකකින් මාධ්‍යවේදීන් දහ දෙනකුගේ ජීවිත අහිමි කෙරිණි.

ඇෆ්ඝන් භූමියේ දී දිවි අහිමි වූ එම මාධ්‍යවේදීන් දහදෙනාත් සමඟ 2018 වසරේ මේ වනවිට වාර්තා වී ඇති මාධ්‍යවේදී මරණ සංඛ්‍යාව තිස්දෙකක් (32) බව මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) පවසයි.

එම සම්මේලනයේ දත්ත අනුව 2017 වසරේ ජනවාරි සහ මැයි අතර වාර්තා වූ මාධ්‍යවේදී මරණ සංඛ්‍යාව සමඟ සාපේක්ෂව බලන විට 2018 වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ මරණ ප්‍රමාණය තුනෙන් එකකින් වැඩි වී ඇත.

මේ අතර ලෝකය පුරා ජනමාධ්‍යවේදීන්ට එල්ල කෙරෙන තර්ජන වැඩිවෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික සහ සංස්කෘතික ආයතනය (UNESCO) අනතුරු ඇඟවීමක් කරයි.

ජගත් මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කළ 'යුනෙස්කෝ' ආයතනය බොහෝ රටවල වාර්තාකරුවන් ශාරීරික ප්‍රහාරවලට සහ හිරිහැර ආදියට මුහුණ දෙන බව පෙන්වා දෙයි.

අන්තර්ජාල අධීක්ෂණ සහ තීව්‍ර වෙමින් පවතින මාධ්‍ය වාරණය මගින් නිදහස් අදහස් ප්‍රකාශනයට තර්ජනයක් එල්ල වෙමින් පවතින බව ද 'යුනෙස්කෝ' ආයතනය පවසයි.

2017 වසරේ මරා දමන ලද මාධ්‍යවේදීන්ගෙන් වැඩිදෙනා දේශපාලන දූෂණ, සංවිධානාත්මක අපරාධ පිළිබඳව ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නිරතවූවන් යැයි මාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කීපයක් පවසන බව මාධ්‍යවේදිනී සොරායා අවෙර් (Soraya Auer) සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon