මට බාර දුන් චිත්‍රපට වලින් ආදායම අරන් දුන්නා

  👤  2042 readers have read this article !
Published by : MB WEB 2018-05-12 12:21:19

මාධ්‍ය කලාවේ ඔබ පය තැබූ තැන නෙවෙයි අද ඉන්නේ. අද ඔබ වෙනත් වෘත්තියක?

පැහැදිලිවම. මම මාධ්‍ය ජීවිතයට ඇතුළු වුණේ රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙක්, නිෂ්පාදකයෙක් හැටියට. මම එවක සේවය කළේ ස්වර්ණවාහිනි ආයතනයේ. මම මේ අද ඉන්නේ, ෆිල්ම් ප්‍රමෝටර් එහෙම නැත්නම් චිත්‍රපට ජනතාවට අලෙවි කරන්නා නමැති ලාංකේය චිත්‍රපට කලාවට අලුත් වෘත්තියක. ලෝකයේ දියුණු රටවල, චිත්‍රපට නිර්මාණය වෙද්දී චිත්‍රපටය ඇරඹෙද්දීම චිත්‍රපටය ජනතාව වෙත සේන්දු කරවීමේ, චිත්‍රපට ශාලාවට රසිකයන් ඇද්දවීමේ මහා වගකීම දරන ඒ වෘත්තිකයාව පත්කර ගන්නවා. නමුත් අපේ රටේ තවම එහෙම නෑ.

එහෙම වෙන්නේ නොදැනුවත්කමද, වුවමනාවක් නැතිකමද?

අපේ අධ්‍යක්‍ෂවරු චිත්‍රපටය හදලා තිරගත වෙන්න සති කිහිපයක් තිබියදී තමයි චිත්‍රපටයේ ප්‍රචාරය එහෙම නැතිනම් ජනතාව අතරට යැවීමේ ක්‍රමයක් ගැන හිතන්නේ. ඒක එච්චර සරු දෙයක් වෙන්නේ නෑ.
චිත්‍රපටයක රූ ගැන්වීම, ගීත පටිගත කිරීම ආදියේ ආරම්භයේ සිටම ක්‍රමානුකූලව, චිත්‍රපටය පිළිබඳ රසික පිරිස අතර උනන්දුව ඇති කරවිය යුතුයි. චිත්‍රපටය තිරගත වෙන දිනය උදාවන තුරු රසිකයන් ඇඟිලි ගනිමින් ඉන්නා තත්ත්වයට චිත්‍රපටය පත් කිරීම තමයි ෆිල්ම් ප්‍රමෝටර් සතු කාර්යය.

එය වෙනම විෂයක් කියලද ඔබ කියන්නේ?

ඔව්, වෙනම විෂයක්. හැදෑරීමක් සහිතව කළ යුතු දෙයක්. චිත්‍රපටයේ තේමාව අනුව විවිධ පැතිකඩවලින්, විවිධ ක්‍රමවේදවලින් ජන කාණ්ඩය හඳුනාගෙන ඉලක්කයන් සහිතව කළ යුතු මහා කාර්යභාරයක්. පූර්ව ප්‍රචාරක පටය පවා සවිඥානයෙන් යුතුව කළ යුතු වෙනවා. සමාජයේ විවිධ කුලක ආමන්ත්‍රණය කළ හැකි ආකාරයෙන් කළ යුතුයි. චිත්‍රපටයේ ලස්සන දර්ශන පෙළක් අමුණලා වැඩක් නෑ.

ඔබ මුලින්ම මේ කාර්යයට අත ගැසුවේ කුමන චිත්‍රපටයෙන්ද?

මම ස්වර්ණවාහිනියේ වැඩ කරන කාලේ ස්වර්ණවාහිනියේ සෝමා එදිරිසිංහ මැතිනියගේ නිෂ්පාදනයක් වුණු උදයකාන්ත මහත්මයාගේ 'රෝස වසන්තය' චිත්‍රපටය. අසංග එදිරිසිංහ මහත්මයා මට පූර්ණ නිදහස ඉඩ හසර ලබා දුන්නා. 'අනුෂ ඔයා ඔය තියෙන විදියට අලුත් කන්සෙප්ට් එකත් එක්ක මේ ෆිල්ම් එක ප්‍රමෝට් කරන්න' කියලා මට භාර දුන්නා.

හැබැයි ඉතින් ඕනෑම කුණු ගොඩක් විකුණන්න බැහැ නේද?

බැහැ... බැහැ... යම් මට්ටමක චිත්‍රපටයක් විය යුතුමයි. අපේ ප්‍රචාරක රටාවට සම්මිශ්‍රණය කරන්න පුළුවන් අමුද්‍රව්‍ය තිබිය යුතුමයි. රස කරන තුනපහ ටික අපි දාන්නේ. ඔබට මතක නම් 2002 අවුරුද්දේ අපි රෝස වසන්තය චිත්‍රපටයට හදපු පූර්ව ප්‍රචාරක පට ඒවා චිත්‍රපටයේ ග්ලැමර් එක වැටෙන්න නොදී අමුතු විදියකට හැදුවා. චිත්‍රපට ප්‍රචාරක කලාවේ විශේෂ වෙනසක් කළා. වැඩි ප්‍රේක්‍ෂක පිරිසක් චිත්‍රපටයට ආකර්ෂණය කර ගන්නා ආකාරයට අපි කටයුතු කළා. ඒක ඉතා සාර්ථක වුණා. ඒ වසරේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය බවට 'රෝස වසන්තය' පත් වුණා.

මේ විෂය ගැන ඔබ හැදැරීමක්, අධ්‍යයනයක් කළාද?

අසංග මහත්තයා මට කිව්වා මේ ක්‍ෂේත්‍රය සම්බන්ධ වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගන්න කියලා. මම ඉන්දියාවේ 'පුනේ' චිත්‍රපට ආයතනයට ගිහින් අධ්‍යයනය කළා. මම ඉපැද්දුණේ එහි අධ්‍යයන කටයුතුවලින් පසුවයි. ෆිල්ම් ප්‍රමෝටර් කියන්නේ ෆිල්ම් පබ්ලිසිටි මැනේජර් කියන එක නෙවෙයි. චිත්‍රපටය ආරම්භයේ සිට දින 100 දක්වාම චිත්‍රපටයේ කටවුට් එක ගහන තැන පවා නිර්මාණය කරන, චිත්‍රපටය සමඟ සමාන්තරව යන චිත්‍රපටයේ හැම අංශයක් ගැනම අවබෝධය ඇති වගකීම් සහිත චරිතයක්. 

මෙය අවබෝධයෙන් යුතු වගකීමක්?

සත්තකින්ම, චිත්‍රපටයක් ජනතාව කරා රැගෙන යෑමේදී යම් තේමාවක් ඔස්සේ එය කළ යුතුයි. ඒ චිත්‍රපටයේ හැඩය, පැහැය, වර්ණය, සවිඥානිකව දැක තේමාව හදාගත යුතුමයි. කොමඩි චිත්‍රපටයකට සීරියස් ප්‍රචාරක තේමාවක් හරි යන්නේ නැහැනේ.

ඔබේ ප්‍රචාරක ක්‍රමවේදයන් හරහා ජනතාව වැලඳගත් චිත්‍රපට මතක් කරන්න කැමැතිද?

2002 'රෝස වසන්තයෙන්' පස්සේ රන්ජන් රාමනායකගේ 'වන්ෂොට් වන්' චන්න පෙරේරාගේ 'අංජලිකා', ප්‍රසන්න විතානගේ ඉර මැදියම, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ 'උත්පලවන්නා', වසන්ත ඔබේසේකරගේ 'සලෙළු වරම', සුදේශ් කුමාර නිෂ්පාදනය කළ ඩොනල්ඩ් ජයන්තගේ 'මායා', මහාචාර්ය සුනිල් ආරියරත්නගේ 'පත්තිනි', අවසානයටම කළේ රන්ජන් රාමනායකගේ 'දොස්තර නවරියන්'.

ඔබේ ප්‍රචාරණ ක්‍රමවේදයන් තුළ අඩුම වශයෙන් චිත්‍රපට නිෂ්පාදනය කරන්නට ගිය පිරිවැයවත් ඔබ සොයා දුන්නාද?

කිසිම චිත්‍රපටයක් පාඩු ලබන තත්ත්වයට ගෙන ආවේ නෑ. මේක කරන එක ඇත්තටම ලේසි වැඩක් නෙවෙයි. විශාල කැපවීමක් තියෙන්න ඕනෑ. චිත්‍රපට නිෂ්පාදක කියන්නේ චිත්‍රපටයට මුදල් වියදම් කරන්නා පමණක් නෙවෙයි. එයින් එහා පරාසයකට ගිය, වැය කරන හැම සතයකටම සැලැස්මක් ඇති, චිත්‍රපටය විකිණීමේ අංශයන් ගැන මනා වැටහීමක් ඇති කෙනකුත් විය යුතුයි. මුදල රීකවර් කර ගැනීම පිළිබඳ සැලසුම් සහගත නිරූපණයක් ඇති අයකු විය යුතුයි. අසංග එදිරිසිංහට එම ඥානය තිබුණා. මා කරන භූමිකාව හඳුනා ගත හැකි වන්නේ එවැනි සවිඥානික නිෂ්පාදකවරුන්ටයි. ජගත් සුමතිපාලටත් සදේශ් කුමාරටත් ඒ දැනුම තිබුණා. මලිත් පල්ලියගුරුත් එහෙම කෙනෙක්.

මා චිත්‍රපට දකින්නේ වාණිජ, කලාත්මක ආකාරයෙන් නොවෙයි. චිත්‍රපටයක් ජනතාව අතරට යැවිය හැකි එකක් නම් එය හොඳ චිත්‍රපටයක්. ඔය ටෙලිවිෂන් එකේ සමහර චිත්‍රපට යනකොට මට දුක හිතෙනවා. ඒ චිත්‍රපට දිව්වේ නැති හොඳ නිර්මාණ. ජනතාව අතරට හොඳට ගෙනියන්න පුළුවන් ගති ලක්‍ෂණ තිබුණ ඒවා. නමුත් ඒ දේ හරියට නොකෙරුණු නිසා දිව්වේ නෑ. ජනතාව අතරට ගියේ නෑ. ප්‍රමෝට් වෙලා නෑ. ජනගත කරලා නෑ.

දේශීය චිත්‍රපට කලාවට විකුණුම් රේඛාවක හැරවුමක් හඳුන්වා දුන් ඔබ තවත් වැඩකට ඇරැඹුමක් දී ඇති බව ආරංචියි. ඔබ ඔබේ චිත්‍රපටය ජනගත කරන ක්‍රමවේදය අපට දැක ගන්න පුළුවන් වේවිද?

මට චිත්‍රපටයක් කිරීමට 2006 වසරේදී ආරාධනා කළේ අසංග එදිරිසිංහ මහත්මයායි. විවිධහේතු නිසා එය තිරපිටපත දක්වා පැමිණ නතර වුණා. එදා මෙදා තුර මම හොඳින් ඇස් ඇරගෙන මේ ක්‍ෂේත්‍රය පිළිබඳ අවදියෙන් හිටියා.

මට දැන් මගේ පාසලේ ආනන්ද විද්‍යාලයේ දිසානායක කියලා මගේ මිතුරකු හම්බ වුණා. ඔහු මාත් එක්ක මගේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න සූදානම් වෙනවා.

ක්‍රිෂාන්ති කුලසූරිය නමැති ලේඛිකාවගේ අලුත්ම නවකතාව ඇසුරෙන් තමයි මම මේ චිත්‍රපටය කරන්නේ. 'රීෂ්මා' නමැති කෘතිය කියැවීමෙන් පසු චිත්‍රපටයකට එය ඉතා සුදුසු බව මට හැඟී ගියා. මම අලුත්ම නිළියක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතාම සංවේදී ආදර කතාවක්. මෙය 2019 වර්ෂයේදී ප්‍රේක්‍ෂකයන්ට නවමු අත්දැකීමක් වේවි. ආදරය සහ වෛරය අතර ඇති කෙස් ගසක වෙනස සාක්‍ෂාත් කරන චිත්‍රපටයක්. මෙයට නළු නිළියන් තේරීම සිදුවෙනවා. රන්ජන් රාමානායක ප්‍රධාන භූමිකාවක් කරනවා. ප්‍රධාන නිළිය භාරතයේ රංගන ශිල්පිණියක්. මෙය කුලගොත් භේද නැති ජූජනීය ආදර කතාවක්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon