මා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කිරීමේ තීරණයක් තවම නෑ - ගෝඨාභය රාජපක්ෂ

  👤  2212 readers have read this article !
Published by : MB WEB 2018-05-14 13:37:16

"මාව ජනාධිපති අපේක්ෂකත්වයට පත් කිරීමේ තීරණයක් තවම නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමයි ඒ සම්බන්ධව තීරණය ගත යුත්තේ. ඒ මහතා ඒ සම්බන්ධව යම් තීරණයක් ගත්තොත් ඒ ගැන සලකා බලනවා" යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඊයේ (13දා) ගොඩකවෙලදී පැවැසීය.

ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාරස්ථානයේ ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර පළමු පුද පූජා පැවැත්වීමේ පුණේ‍යාත්සවයට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී ඒ මහතා එසේ පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍යට මෙසේද පැවැසීය. "ලලිත් වීරතුංග මහතා සිල් රෙදි බෙදුවා කියලා තේරුමක් නැතිව හිරේ දැම්මා. ඒ විදියට රටේ නායකයන්ව අත්අඩංගුවට අරගෙන හිරේ දාලා රටක් යන ගමනක්. යම් නායකයෙක් යන ගමනක් කිසිවකුට වළක්වන්නට බැහැ"

"අපේ පවුල බෞද්ධ දර්ශනය සමඟ ගොඩනැඟුණු පවුලක්. රටේ හැමෝටම සමානාත්මකව සලකන්න අපි පුරුදු පුහුණු වෙලා සිටිනවා වගේම අප අතර ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ නැහැ. දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතා යම් දේශපාලන තීරණයක් ගත්තොත් අපි සියලු දෙනාම එයට එකඟයි"
පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විසිවැනි සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේ පැවැසීය.

"ජනාධිපති තනතුරේ වැදගත්කම අප දැක්කේ යුද සමයේදී. මම හිතන්නේ නැහැ එදා ජනාධිපතිවරයෙක් නොසිටියා නම් එම ජයග්‍රහණය කරන්න පුළුවන් වේවි කියලා. දැඩි තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිට එදා හැකියාව තිබුණා. ඒ නිසා වැදගත් වන්නේ අගමැතිද, ජනාධිපතිද කියන එක නොවෙයි, එම විධායක තනතුර දරන තැනැත්තාගේ වැදගත්කමයි. නිවැරැදි තීන්දු තීරණ ගන්න පුළුවන් හොඳ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරන, ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක් නම් රටේ නායකයා හැටියට ඕනෑම තනතුරක සිටියදී රට හොඳ අතට ගමන් කරවීමට පුළුවන්"

මෙම අවස්ථාවට ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පූජ්‍ය කෑලිගම විජිතනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේ විශාල පිරිසක් වැඩමකර සිටියහ.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රින් වන රංජිත් ද සොයිසා, ජානක වක්කුඹුර, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටි අතර එම විහාරස්ථානයේ විහාරාධිපති කෝම්පිටියේ සුසීල හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම දායක සභාව එය සංවිධානය කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon