රටින් එපිට නාට්‍ය ලෝකය කොළඹට ගේන ජාත්‍යන්තර නාට්‍ය උළෙල

  👤  2334 readers have read this article !
Published by : MB WEB 2018-05-15 16:45:24

මෙවරත් කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල පවත්වන්න සූදානම් නේද?

ඔව්. මේ පාර කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල පැවැත්වෙන්නේ 7 වැනි වතාවට. මේ වසරේ අපි උළෙල නම්කර තිබෙන්නේ ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රවීණ නාට්‍යකරුවාගේ නමින්. ධර්මසිරි බණ්ඩාරනායක අභිනන්දන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල ලෙස තමයි එය නම් කළේ.

නාට්‍ය උළෙල කොටස් කිහිපයකින් නේද පැවැත්වෙන්නේ?

මෙදා පාර නාට්‍ය උළෙලට නාට්‍ය දහතුනක් පෙන්වනවා. නාට්‍ය දර්ශන පෙන්වීම පටන් ගන්නේ 24 වැනිදා සිට 30 වැනිදා දක්වා. ලංකාවේ නිර්මාණ පහක් සහ විදේශීය නිර්මාණ අටක් පෙන්වනවා. නාට්‍ය උළෙලේ එක අංශයක් තමයි නාට්‍ය උළෙල නම් කරන නාට්‍යකරුවාව අභිනන්දනය කිරීම. එය තිබෙන්නේ 23 වැනිදා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී. ඊට පස්සේ නාට්‍ය දර්ශන පැවැත්වෙනවා. ඒ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී. විදේශීය නාට්‍යකරුවන් විසින් මෙහෙයවන වැඩමුළු මාලාවක් ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. නාට්‍ය අධ්‍යක්ෂවරුන් සඳහා පමණක් වන ජාත්‍යන්තර සම්මේලනය ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. ජාත්‍යන්තර සම්මේලනයේ මෙවර විශේෂත්වය තමයි ලංකාවේ නාට්‍යකරුවෝ කිහිපදෙනෙක් එකතු වෙලා ලංකාවට ගැළපෙන නාට්‍ය ප්‍රතිපත්තියක් යෝජනා කරනවා. ඒ යෝජනාවලිය පිටරට නාට්‍යකරුවන්ට ඉදිරිපත් කර ඔවුන්ගෙනුත් අදහස් ලබාගන්නවා.

එහෙනම් මේ නාට්‍ය උළෙලේ ප්‍රතිඵලයක් ලෙස නාට්‍යවලට උචිත යම් ප්‍රතිපත්ති මාලාවක් ගොඩනැඟෙයි?

සෑම ආණ්ඩුවක්ම පත්වෙද්දි සියලුම කලා ක්ෂේත්‍රවල අය විවිධ ඉල්ලීම් කරනවා. නමුත් අපි දන්න අවුරුදු හැත්තෑවක ඉතිහාසය තුළ ඒ දේවල් සිදුවෙලා තියෙන්නේ දශම ගණන්වලින් මිසක් මහ ලොකුවට නෙවෙයි. නාට්‍ය කලාව ගැන අපි විටින් විට විවිධ ඉල්ලීම් කළාට විධිමත් ලියවිල්ලක් සැකසුනොත් කවුරු එය නොකළත් අපේ අවශ්‍යතාව ගැන සටහනක් අපි ළඟ තියෙනවා. ජාත්‍යන්තර නාට්‍යකරුවන් අපේ රටට එනකොට අපිට හොඳ වරප්‍රසාදයක් හම්බෙනවා. අනෙක් රටවල නාට්‍ය ප්‍රතිපත්ති දැනගෙන ලෝකය සමඟ ගනුදෙනු කරමින් අපේ ලියැවිල්ල බරසාර ලියැවිල්ලක් බවට පත් කරන්න. ජාත්‍යන්තර නාට්‍ය උළෙලක ප්‍රතිඵලය ඒකයි.

නාට්‍ය පෙන්වීමට වඩා එහා ගිය ප්‍රතිඵලයක් ලබා ගන්න මෙය හොඳ අවස්ථාවක් නේද?

හුදු නාට්‍ය ටිකක් පෙන්වීම නෙවෙයි මේ නාට්‍ය උළෙලේ අපේක්ෂාව. පිටින් බලන කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ලංකාවේ නාට්‍යකරුවෝ නාට්‍ය ප්‍රතිපත්තියක් යෝජනා කරනවිට එයට අදහස් දක්වන්න පිටරට නාට්‍යකරුවෝ සැදී පැහැදී ඉන්නවා. අපේ අත්දැකීම් සහ විදේශීය නාට්‍යකරුවන්ගේ අත්දැකීම් හුවමාරුවක් මේ එක්ක සිදු වෙනවා.

නාට්‍ය උළෙලේ පෙන්වන නාට්‍ය මොනවද කියලත් මතක් කරමු?

ධර්මසිරි බණ්ඩාරනායකගේ ට්‍රෝජන් කාන්තාවෝ මැයි 24 ප.ව. 7.00ටත්, ස්විංග්ස් ඔෆ් ලව් නාට්‍ය මැයි 25 ප.ව. 7.00ටත්, ඩයරි ඔෆ් අ මෑඩ් මෑන් නාට්‍ය එදිනම ප.ව. 8.00ටත් පෙන්වනවා. ඇමොක් නාට්‍ය 26 වැනිදා ප.ව. 7.00ටත් මින්ඩුස් කෝල් නාට්‍ය එදිනම ප.ව. 8.00ටත් පෙන්වනවා. 27 වැනිදා ප.ව. 7.00ට ඩු ගින්ග්ස් ෆෝට් නාට්‍යත් ප.ව. 8.00ට ලිවිං සිලර් වැලි නාට්‍යත් පෙන්වනවා. මැයි 28 ප.ව. 7.00ට මන්ඩ්‍රගෝරා සර්කස් නාට්‍යත් ප.ව. 8.00ට එතරොල්රිකා එතරියල් ඉපොක් නාට්‍යත් පෙන්වනවා. මැයි 30 වැනිදා ප.ව. 7.00ට චෙයාර්ස් නාට්‍යත්, ප.ව. 7.30ට නිලක් බලමුද? නාට්‍යත්, ප.ව. 8.00ට බර්ඩ්ස් හු ෆොගොට් හව් ටු ෆ්ලයි ඇනා නාට්‍යත් ප.ව. 8.30ට පාට නාට්‍යත් පෙන්වනවා.

ජාත්‍යන්තර නාට්‍ය තෝරා ගැනීමේ පදනම මොන වගේද?

ජාත්‍යන්තර නාට්‍යවලට අයැදුම්පත් එකසිය පනස් පහක් අපිට ඇවිත් තිබුණා රටවල් හතළිහකින්. කණ්ඩායමේ ප්‍රමාණය, තාක්ෂණික අවශ්‍යතා, රංග ශාලාවල අවශ්‍යතා සියල්ල සලකා බලලා අපිට ගැළපෙන නාට්‍ය 27ක් පළමු අදියරේදී තෝරා ගත්තා. ඒ 27 අධීක්ෂණ මණ්ඩලයට යොමු කළා. ඒ අය නාට්‍ය ‍ෙදාළහක් තේරුවා. ඉන් 8ක් තමයි නාට්‍ය උළෙලේ පෙන්වන්නේ. ජාත්‍යන්තර නාට්‍ය තෝරද්දි අපිට තිබෙන තව ගැටලුවක් තමයි අපි මේ කිසිම නාට්‍ය කණ්ඩායමකට සතපහක්වත් ගෙවන්නේ නෑ. ඔවුන් ඔවුන්ගේ ගුවන් ප්‍රවේශපත්‍ර පවා අරගෙන ලංකාවට එන්න කැමැති වෙන්න ඕන. එහෙම කැමැති අය තමයි මේ එන්නේ.

මේ නාට්‍ය උළෙලේදී ඔබේ ස්විංග්ස් ඔෆ් ලව් (ආදර ඔන්චිල්ලාව) නාට්‍යත් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මුල් වතාවට නේද දකින්න ලැබෙන්නේ?

ඔව්. ස්විංග්ස් ඔෆ් ලව් නාට්‍යයේ මංගල දර්ශනය පැවැත්වුණේ ඉන්දියාවේ පූනේ සහ කොරියාවේ සෝල්වලයි. නාට්‍ය හදනකොටම අපිට ආරාධනාවක් තිබ්බා නාට්‍යයේ මංගල දර්ශන එහෙට දෙන්න කියලා. රටවල් ගණනාවක මේ නාට්‍ය පෙන්වන්න ආරාධනා ලැබිලා තිබෙනවා. ලංකාවේ නිල මංගල දර්ශනය පෙන්වන්නේ 25 වැනිදා.

ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ පරමාර්ථයන් සාක්ෂාත් වෙලා තිබෙනවාද?

ලෝකයේ නාට්‍ය කලාව කියලා සිතියමක් තියෙනවා. ලංකාව ඒ ලෝක නාට්‍ය කලා සිතියමට යන්තම් හරි ගනුදෙනුවක් තියාගෙන හිටියේ අපේ රටේ නාට්‍යකරුවන් කිහිපදෙනෙක් තමන් හදාගත්ත නාට්‍ය වෙන රටකට ගිහින් පෙන්වීමෙන් විතරයි. අපි ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් ලංකාවේ පටන් ගත්තම අතිවිශාල වෙනසක් සිද්ධ වෙනවා. මේ හත්වැනි වතාවත් එක්ක ගණන් බැලූ විට අපිට විදේශ රටවලින් අයැදුම්පත් හාරසියයක් විතර ඇවිත් තියෙනවා. ඒ අතරින් අපි නාට්‍ය පනහක් විතර තෝරාගෙන තියෙනවා පසුගිය අවුරුදු හත ඇතුළත. මීට කලින් ලංකාවට ආපු නැති නාට්‍යකරුවෝ දාහක් විතර ඇවිත් තියෙනවා. නමුත් අවාසනාවට සංචාරක මණ්ඩලයට ඒක තේරෙන්නේ නෑ. මේ රටට විදේශීය නාට්‍යකරුවෝ එද්දි අපේ නාට්‍යකරුවෝ ඔවුන්ව හඳුනා ගන්නවා.

ඔවුනොවුන් අතර ගනුදෙනුවක් හැදෙනවා. 2016 අපේ නාට්‍ය උළෙලට තිබ්බ එක නාට්‍යයක් නේපාලයේ කත්මණ්ඩු නාට්‍ය උළෙලට යවන්න පුළුවන් වුණා. අපේ නාට්‍ය කණ්ඩායමේ අයට බොහෝ රටවලට යන්න පුළුවන් වුණා. ලෝකය එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වුණා.

නාට්‍යකරුවන් බොහෝ වෙලාවට ආත්ම තෘප්තිය තකා නාට්‍ය නිර්මාණකරණය සිදු කරනවා. කොතරම් ප්‍රතිපත්ති හැදුවත් නාට්‍ය ක්ෂේත්‍රයට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය ගැන සතුටු වෙන්න බෑ නේද?

ඕක විග්‍රහ කරන්න හරි අමාරුයි. රාජ්‍ය සන්තකව අතිවිශාල උත්සව ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි මේ නාට්‍ය උළෙල කරන්නේ අපේ වුවමනාවට. සමහර නිලධාරීන් කැමැතියි මේ උළෙලට උදවු කරන්න. නමුත් රාජ්‍ය පරිපාලනයේ තිබෙන සාම්ප්‍රදායික සහ සමහර කාරණා නිසා ඒ අයට මෙයට උදවු කරන්න බෑ. එතකොට තමයි අපි හිරවෙන්නේ. රජය හැම වෙලාවෙම කියනවා එයාලා මාර දේවල් කරනවා කියලා. කලාකරුවෝ හැමතිස්සෙම කියනවා රජයෙන් සතපහක දෙයක් වෙන්නේ නෑ කියලා. ඔය හැම දෙයක් අතරෙම රජයට අමතක වෙලා තියෙනවා රාජ්‍ය අනුග්‍රහය දෙන්න පාවිච්චි කරන්නේ අපේ බදු මුදල් කියලා. සමහර නිලධාරීන් හිතනවා අපිට රුපියල් සියයක් දෙන එක පාපකර්මයක් කියලා. එහෙම පරස්පරයක් මේ රට ඇතුළේ තියෙනවා. විධිමත් ප්‍රතිපත්තියක් නැති එක තමයි මේවට මුල. ලංකාවේ නාට්‍ය කලාව වෘත්තීය කලාවක් නෙවෙයි. මේකෙන් කිසිවෙක් හම්බ කරන්නේ නෑ. තෘප්තියටයි, ඇඟේ අමාරුවටයි, පොරක් වීමේ ආසාවටයි තමයි නාට්‍ය කරන්නේ. අතින් දීලා හරක් බලන එකක් තමයි අපි කරන්නේ.

ඒක හැමදාම කරන්න පුළුවන්ද?

ලංකාවේ නාට්‍ය කලාව පටන් ගත්ත දා ඉඳන් මහාචාර්ය සරච්චන්ද්‍ර කරලා තියෙන්නෙත් ඕකමයි. අපි කරන්නෙත් ඕකමයි. අපෙන් පස්සේ තව පරම්පරාවක් ඕක කරයි. මිනිස්සු තමන් ඇතුළේ කැකෑරෙන නිර්මාණාත්මක දේවල් එළියට දාන්න විවිධ දේවල් භාවිත කරනවා. නමුත් බොහෝ දේවල් වෘත්තීය මට්ටමේ නෙවෙයි තියෙන්නේ. අපේ රටේ වෘත්තීය නළුවෝ හා වෘත්තීය නාට්‍ය කලාවක් නෑ. මීට දශක දෙකකට කලින් හැරිලා බැලුවොත් කොළඹ තිබ්බ රඟහල්වලින් භාගයක්වත් අපිට නෑ. මේ පරිහානියට හේතුව තමයි නිශ්චිත, දීර්ඝකාලීන වැඩපිළිවෙළක් නැතිකම. අනාදිමත් කාලයක ඉඳන් අපි බලාපොරොත්තු වුණු දියුණු නාට්‍ය ශාලා ඇති නොවීමේ ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. නාට්‍ය හැදුණට සම්මාන උළෙල තිබ්බට ජාත්‍යන්තර නාට්‍ය උළෙල කළාට අපි බලාපොරොත්තු වන මුඛ්‍ය පරමාර්ථය රජය විසින් කළ යුතුයි.

ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කරන එක පහසු කටයුත්තක් නෙවෙයි නේද?

ලංකා ඉතිහාසය පටන්ගත්තා කියන දවසේ ඉඳන් 2012 වෙනකල්ම ලංකාවේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් ඇයි සිද්ධ නොවුණේ. ඒක කරන එක පහසු නම් ගොඩක් අය ඕක කරනවා. කරන්න බැරි නිසා තමයි ඒක වුණේ නැත්තේ. මේක මහ බැරෑරුම් වැඩක්. ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කරන්න ජාත්‍යන්තර නාට්‍යකරුවෝ ඉන්න ඕන. ඒ හැකියාව මට තියෙන හින්දා මට ඒක කරගන්න පුළුවන් වුණා. නමුත් අපි හිතන මට්ටමට අනුග්‍රහය ලැබෙන්නේ නෑ. අවුරුදු හයක් හතක් තිස්සේ මේ කටුකත්වය අපි අත්විඳිනවා.

මේ උළෙල කරන්නේ ලාබ ලබන්න නෙවෙයි. මේක ආණ්ඩුවෙන් කරන්න ඕන වැඩක්. ආණ්ඩුවට තේරෙන්නේ නෑ ඇයි මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා. කලාව, සංස්කෘතිය ගැන ආණ්ඩුව යාවත්කාලීන වෙන්නේ නෑ. පැලැස්තර ක්‍රමයක්, බඩගෝස්තරවාදයක් තියෙන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon