ගී පද රචනයෙන් සමාජය සුවපත් කරන ‍ෙදාස්තර දුමින්ද

  👤  1981 readers have read this article !
Published by : MB WEB 2018-05-23 16:45:12

මේ දවස්වල ඔබ ගැන වැඩිපුර කතා වෙන්නෙ 'මම මලක් නොවේ' ගීතය නිසා. කොහොමද මේ නිර්මාණය බිහි වෙන්නෙ?

මේ ගීතය නිර්මාණය කරන්න මූලික පසුබිම සැකසුණේ ගීතයේ සංගීතය නිර්මාණය කරපු රොහාන් ෆොන්සේකා නිසා. ඔහුගේ හිතවතෙක් වුණු වෝල්ටර් අබේසුන්දරගෙ නිවෙසේදී තමයි ලක්ෂ්මන් විජේසේකර මට රොහාන්ව හඳුන්වලා දුන්නෙ. ඔහු මගේ කලින් වැඩ දැකලා මගෙන් ඉල්ලීමක් කළා උමාරියාට කියන්න ගීතයක් නිර්මාණය කරන්න කියලා.

ඇයි මේ වගේ ගීතයක් ලියන්න හිතුවේ?

ඕනෑම ක්ෂේත්‍රයක අඩු හෝ වැඩි වශයෙන් කාන්තාවන්ව විවිධ දේවලට පාවිච්චි වෙනවා. ඉතින් ඒ අදහසට ගැළපෙන්න තමයි මේ ගීතය කළේ.

ගීතයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා. වැඩිපුර කාන්තා පාර්ශ්වයෙන් තමයි ප්‍රතිචාර ලැබුණේ. මොකද මේ ගීතය කාන්තාවන්ට සුවිශේෂ ගීතයක් නිසා.

ගී පද රචනයට යොමු වුණු ආරම්භය ගැන කියමුද?

ඒක ඇත්තටම අහඹු සිදුවීමක්. මම කාලයකට කලින් ලිව්ව අදහසක් නවරත්න ගමගේ මහත්මයට පෙන්නුවා. ඔහු මගේ හොඳ හිතවතෙක්. ඔහු මට කිව්වා මේ අදහස ගීතයකට පෙරළන්න කියල. ඉතින් ඔහු තමයි මාව මුලින්ම පෙලඹෙව්වේ ගීතයක් ලියන්න කියලා.

ඔබ බොහෝ ගායන ශිල්පීන්ට ගීත රචනා කර තිබෙනවා නේද?

ඔව්. වික්ටර් රත්නායක මහත්මයා, සුනිල් එදිරිසිංහ මහත්මයා, ලක්ෂ්මන් විජේසේකර මහත්මයා, මහාචාර්ය කෝලිතභානු දිසානායක මහත්මයා, දයාන් විතාරණ, ලක්ෂ්මන් විජේසේකර නන්දා මාලිනී, නිර්මලා රණතුංග මහත්මිය වගේ ගායක ගායිකාවන් සමඟ වැඩ කරලා තියෙනවා. ඊට අමතරව රෝහණ වීරසිංහ, විජේරත්න රණතුංග, නවරත්න ගමගේ සහ මහින්ද බණ්ඩාර වගේ සංගීතඥයන් සමඟත් වැඩ කරලා තියෙනවා.

මේ වෙනකොට වික්ටර් රත්නායක මහත්මයා මම ලියපු ගීත 4ක් ගායනා කරලා තියෙනවා. නන්දා මාලනී මහත්මිය එක ගීතයක් ගායනා කළා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේ ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබීමම මගේ ලොකු භාග්‍යයක්.

අනෙක් ගීතවලට වඩා ඔබ ජනප්‍රිය වුණේ 'මලක් නොවේ ගීතය' නිසා නේද?

ඇත්තටම ඔව්.

ඔබ වෛද්‍යවරයෙක්. කොහොමද ඒ අතරතුර ගීත ලියන්න වෙලාව හදා ගන්නෙ?

ගීත ලියන්නම කියලා වෙලාවක් වෙන් කරගෙන නැහැ. යම්කිසි අදහසක් ආවම ඒක සටහන් කරගන්නවා. කොහොමහරි ඉතින් කාල කළමනාකරණය කරගන්නවා.

ඔබ සත්‍ය සිදුවීම් ඇසුරින්ද ගීත නිර්මාණය කරන්නෙ?

සත්‍ය සිදුවීම් වෙන්නත් පුළුවන්. සමහර ගායක ගායිකාවන්ට මේ වගේ ගීතයක් නිර්මාණය කළොත් හොඳයි කියලා හිතෙන අවස්ථාවනුත් තියෙනවා. ඒක එක සීමාවකට කොටු වීමක් වෙන්නෙ නැහැ.

ඔබේ කලා කටයුතුවල බලාපොරොත්තුව මොකක්ද?

මිනිසුන්ගෙ නිරෝගීකම කියන්නෙ කායික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික වශයෙනුත් සුවපත් වීම. එහෙම බැලුවොත් සමාජයම රෝගී තත්ත්වයක ඉන්නෙ. මේ වගේ සංගීතයකට මිනිස්සුන්ව සුවපත් කරන්න පුළුවන්. ඉතින් මගේ බලාපොරොත්තුව සුළු වශයෙන් හරි සමාජයට දෙයක් දෙන්න.

ආකර්ෂණීය පද රචනා කරන කෙනෙක් වෙලත් ඇයි ඔබ වැඩිපුර එළියට එන්නෙ නැත්තෙ?

ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. එළියට එන්නෙ නැතිකමක් කියලා මම හිතන්නෙ නැහැ.

ඒකට විශේෂයෙන්ම බලපාන්නෙ මාධ්‍ය. නාළිකාවලින් ගීත ප්‍රචාරය කිරීමේ වෙනසක් තියෙනවා. එක අවස්ථාවකදී ගීතයක් යම් නාළිකාවකට දුන්නම නාළිකා ප්‍රධානියා කිව්වා ඒ නාළිකාවේ ප්‍රචාරය වෙන්න ඒ ගීත ඵතධඹ වැඩියි කියලා. නමුත් ගුවන් විදුලි සංස්ථාවේ නම් ප්‍රමිතියකින් යුතුව ගීත ප්‍රචාරය කරනවා.

පද රචනය කරන්න විතරද කැමැති? ගායනය පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද?

නෑ. ඇත්තටම තමන්ගෙ හැකියාව පිළිබඳ යම් කිසි මට්ටමක අවබෝධයක් තියෙන්න ඕන. මට නම් ගීත ගායනා කරන්න අදහසක් නැහැ.

මොනවද ඉදිරියේදී සැලසුම් කරගත් අලුත් වැඩ?

දැනට නිර්මාණ 18ක් 20ක් වගේ කරලා තියෙනවා. ඒ ටික එකතු කරලා සංයුක්ත තැටියක් එළිදක්වන්න අදහසක් තියෙනවා. කසුන් කල්හාර සමඟ 'නොදැනීම අවසන් වුණා' ගීතය කළා. ඒ ගීතය සංගීතවත් කළේ මහේෂ් විතාන. පසුගිය සතියෙ එය පටිගත කළා. නන්දා මාලනී මහත්මිය ගායනා කරපු නවරත්න ගමගේ මහත්මයා සංගීතවත් කරපු ගීතයකුත් ඉදිරියේදී එළියට එන්න තියෙනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

ඡායාරූපය - වෙනුර චන්ද්‍රමාලිත

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon