සබරගමුවේ අවතැන් පිරිස 20,000ට ආසන්නයි

  👤  2655 readers have read this article !
Published by : MB WEB 2018-05-24 09:28:48

ගංවතුර හා නාය යෑම් අපදා තත්ත්වය හේතුවෙන් ඊයේ (23දා) සවස වන විට සබරගමුව පළාතේ පවුල් 5,133ක සාමාජිකයන් 19,830ක් පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ ඒකකය කියයි.


එම වාර්තාවට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 3,983ක සාමාජිකයන් 15,514ක් හා කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,150ක සාමාජිකයන් 4,316ක් පීඩාවට පත්ව සිටිති.


ආපදාව හේතුවෙන් සබරගමුව පළාතේ දෙදෙනකු මියගොස් තිබිණි.


පළාතේ හානියට පත් නිවාස සංඛ්‍යාව 734 කි. එයින් නිවාස 8කට පූර්ණ හානි සිදුව ඇත. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 5ක් පූර්ණ හානියට පත්වී ඇති අතර අර්ධ හානි වූ නිවාස ගණන 105 කි. කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 3ක් පූර්ණ හානියට පත්ව ඇති අතර අර්ධ වශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 621 කි.


ආපදාව හේතුවෙන් මේ වන විට කඳවුරු ගත කර ඇති පිරිස 2,832 දක්වා ඉහළ ගොස් ඇත. අරණායක වැලිමන්න-රයිනාවත්ත මාර්ගයට පස් කන්දක් කඩා වැටී මාර්ගයේ කොටසක් අවහිර වී ඇත.


අරණායක හොරේවල පිහිටි ක්‍රිස්තියන් පල්ලියට ප්‍රවේශ වන මාර්ගය සේදී ගොස් ඇත.


අරණායක - හෙම්මාතගම මාර්ගයේ හොරේවල ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට ඉවුර නාය ගොස් කඩා වැටීම නිසා එම නිවෙසට යෑමට ඇති මාර්ගයද වැසී ගොස් ඇත.
මෑතකදී කාපට් ඇතිරූ අරණායක- හෙම්මාතගම මාර්ගයේ මානදි මහා විද්‍යාලය ඉදිරිපිට මා ඔය දෙසට පස් පුරවා ඇති කොටස් හෝදාපාළු වී ගොස් මාර්ගයද අවදානමට ලක්ව ඇත.


දැරණියගල මියනවිට මාර්ගයට පස් කඳු වැටී ඇත.


කොස්ගහකන්ද ප්‍රදේශයට ආසන්නයේ මාර්ගය නාය යෑමකට ලක්වී ඇත. මාර්ගයේ ස්ථාන කීපයක් ගිලා බැසීමට ලක් වී ඇත.
පැය 24ක් පමණ වැසි නොමැතිව තිබූ මාවනැල්ල, කෑගල්ල, අරණායක, හෙම්මාතගම, අලුත්නුවර ප්‍රදේශවලට ඊයේ (23දා) උදෑසන 10.00 සිට යළිත් වැසි ඇති වී තිබේ.


කෑගල්ල දීවෙල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටී වෙළෙඳසලකට 23දා දැඩි ලෙස අලාභහානි වී තිබේ.
ධාරානිපාත වර්ෂාව නිසා පස් කන්දක් කඩා වැටී අරණායක-උඩගම මාර්ගයේ සුළු කොටසක් අවහිර වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon