තුන්වැනි විවාහ සංවත්සරයට ඉෂාරාගෙයි අනුරගෙයි කැදැල්ලට අපූරු තෑග්ගක්

  👤  2515 readers have read this article !
Published by : MB WEB 2018-05-28 14:30:50

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඉෂාරාගෙයි අනුරගෙයි තුන්වැනි විවාහ සංවත්සරය වෙද්දී දූ පැටියෙකුත් පවුලට එකතු වෙලා?

ඔව්. ඔව්. අපේ තුන්වැනි විවාහ සංවත්සරය තිබ්බේ පසුගිය 21 වැනිදා. මේ සැරේ උත්සව අරගෙන විවාහ සංවත්සරය සැමරුවේ නම් නෑ. හැබැයි අපේ තුන්වැනි විවාහ සංවත්සරය වෙද්දී අපේ ජීවිතයට වටිනාම තෑග්ග ලැබිලා තියෙනවා. ඒ අපේ දුව.

ඉෂාරාගෙයි අනුරගෙයි කැදැල්ලට දූ පැටියෙක් එකතු වුණ නිසා ලොකු සතුටකින් ඇත්තේ..?

ඔව්. ඒ සතුට වචනවලින් විස්තර කරන්න බෑ. අම්මා කෙනෙක්ගේ හැඟීම තේරුම් ගන්න ඇත්තටම අම්මා කෙනෙක් වෙලා බලන්න ඕන. ඇත්තටම ලොකු බැඳීමක් අපේ ජීවිතයට මේ එකතු වෙලා තියෙන්නේ.

ඒ වගේම දරුවෙක් කියන්නේ ලොකු වගකීමක් නේද..?

ඇත්තටම සතුටත් එක්කම ජීවිතයට ලොකු වගකීමකුත් එකතු වුණා. ඉස්සර නම් ඕන වෙලාවක ගෙදර එන්න පුළුවන්. හිතෙන හිතෙන තැන්වල යන්න පුළුවන්. රස්සාව වුණත් ඕන වෙලාවක කරන්න ගැටලුවක් නෑ. ඒත් දැන් ගෙදර කෙනෙක් ඉන්නවා. එයාව කාමරේ තියලා සාලේ ඉන්නවත් මට බෑ. එයා ගැනමයි හිතෙන්නේ. ඒ වගකීම,
ඒ බැඳීම ජීවිතයට සම්බන්ධ වෙලා.

ඉෂාරාට ලැබුණේ පුතෙක් කියලත් සමහරු හිතාගෙන හිටියා නේද..?

ඔව්" එක පුවත්පතකින් දාලා තිබ්බා අපිට ලැබිලා ඉන්නේ පුතෙක් කියලා. ඒත් මට ලැබුණේ දුවෙක්. දුව ලැබුණට පස්සේ මම මුලින්ම කතා කළේ හදගැස්මට තමයි.

ඉෂාරා හා හා පුරා කියලා ජීවිතයට බලාපොරොත්තු වුණේ දුවෙක්මද..?

අයියා නම් මුල්ම බබා ගැහැනු දරුවෙක් වෙනවට කැමැත්තෙන් හිටියා. පවුලේ මුල්ම ගැහැනු දරුවා වාසනාවන්තයි කියනවනේ. ඒත් පුතෙක් වුණත් දුවෙක් වුණත් ඒ අපේ දරුවෙක්නේ. ඉතිං අපිට සතුටුයි දුවෙක් ලැබුණු එක ගැන.

දුවට නමක් තිබ්බද..?

ඔව්. අපි නම් ගොඩක් බැලුවා. ඊට පස්සේ ඉසස්යා සිදුප්‍රි සඳුමිණි කියන නම දුවට තිබ්බා.

ඉෂාරාගේ නමට සමීප නමක් නේද තියලා තියෙන්නේ...?

ඔව්. අනුරගේ නමේ පතිරණ කියන කොටස දුවගේ නමට කොහොමත් එකතු වෙනවනේ. ඒ නිසා මම කැමැති නම දුවට තියන්න කියලා අනුර කිව්වා.

දුව කවුරු වගේ කියලද වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ..?

දුවගේ පෙනුම අපි දෙන්නම වගේ කියලා එක එක අය කියනවා. දුවගේ නහය නම් අයියගේ (අනුරගේ) වගේ කියලා තමයි ගොඩක් අය කියන්නේ.

දුවගේ වැඩ රාජකාරි ඉෂාරාට තනියෙන් කරගන්න පුළුවන්ද..?

මම හරි ආසයි දුවගේ වැඩ මගේ අතින්ම කරන්න. දරුවන්ට අපි ගැන ආදරයක් ඇතිවෙන්නේ අපි එයාලට කරන දේවල් එක්ක. මම කැමැති නැහැ දුවව සේවිකාවක් ළඟවත් නතර කරලා යන්න. මම එයාට මුල්තැන දෙන්න තමයි උත්සාහ කරන්නේ. අනුරගේ අම්මායි, අපේ අම්මායි ගොඩක් උදවු කරනවා බබා බලාගන්න. දුවගේ වැඩ තනියෙන්ම කරන තැනට එන්න මම උත්සාහ කරනවා.

දුවගේ වැඩ රාජකාරිවලට අනුරත් කැපවෙලා ඇති..?

අම්මෝ ඔව්. මට තනිකමක් බැරිකමක් දැනෙන්නේ නැහැ එයා නිසා. දැන් බබාට මාස එකහමාරක් වෙනවා. උදේ දවල් රෑ නැතුව අපි දෙන්නම එයා වෙනුවෙන් තමයි මහන්සි වෙන්නේ. ජීවිතේ අමුතුම පෙරළියක් වෙලා. අපි හිතුවේ නෑ අපේ ජීවිත මේ තරම් වෙනස් වෙයි කියලා. ඒත් ඇත්තටම දුව අපේ ජීවිතේ වෙනස් කළා.

සුදුසුම වයසේ ඉෂාරා තමන්ගේ ජීවිතේ බොහෝ හීන හැබෑ කරගත්තා නේද..?

ඔව්. මම ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. හැබැයි මම රංගනය සහ අධ්‍යාපන කටයුතුවලින් ස්ථාවර වුණාට පස්සේ විවාහ වෙලා අවුරුදු දෙකක් ජීවිතය වින්දා. ඊට පස්සේ දුව අපේ ජීවිතයට ආවා. තුන්වැනි විවාහ සංවත්සරය එද්දී අපි තුන්දෙනෙක් වුණා. අපි බලාපොරොත්තු වෙන හැම දෙයක්ම වෙන්නේ නැහැනේ. නමුත් මම මේ තාක් බලාපොරොත්තු වුණු හැම දෙයක්ම හරි විදිහට හරි කාලෙදි සිද්ධ වුණා. ඇත්තටම ඒ ගැන පුදුම සතුටක් තියෙන්නේ.

දරුවෙක් පවුලට එකතු කරගන්න තීරණයේ හිටපු නිසාද කාලයක් ඉෂාරා රංගනයේ දකින්න නොලැබුණේ..?

ආයුර්වේද වෛද්‍යවරියක් කියන මගේ රැකියාව නිසා තමයි මම රංගනයෙන් ටිකක් අෑත් වුණේ. මොකද මුල් පුහුණු කාලේ මට නිවාඩු ගන්න හැකියාවක් තිබ්බේ නෑ. ඒ නිසා උතුම් පැතුම් ටෙලි නාට්‍යයෙන් පස්සේ රංගනය ටික කාලයකට නවත්තන්න සිද්ධ වුණා. ඒ අතරේ බබාත් අපේ ජීවිතයට ආපු නිසා රංගනයට අවුරුද්දකට ආසන්න කාලයක නිවාඩුවක් දුන්නා.

ඉෂාරා ක්‍ෂේත්‍රයෙන් ඉවත් වෙයිද?

ක්‍ෂේත්‍රයෙන් සමුගන්නේ නෑ. රංගනය වගේම මගේ දරුවත් මගේ ජීවිතයට ලැබුණු තෑගි. ඒ කිසි දෙයක් මම අහිමි කර ගන්නේ නෑ. දැන් බබා මාවයි අනුරවයි දෙන්නවම හොයනවා. දුව වෙනුවෙන් මම උපරිම කැප වෙනවා. ඊට පස්සේ ආයෙත් රංගනයට එනවා.

ආයෙත් රංගනයට එනකල් ඉෂාරාගේ ප්‍රේක්‍ෂකයන්ට ඔබව අමතක නොවෙයිද?

ප්‍රේක්‍ෂකයන්ට තාම මාව මතකයි. මම ආයෙත් ක්‍ෂේත්‍රයට එද්දී මගේ ප්‍රේක්‍ෂකයෝ මාව පිළිගනී කියලා හිතනවා.

දුව කවදා හරි නිළියක් වෙනවට ඉෂාරා කැමැතිද?

තාම එහෙම හිතලා නැහැ. එයා අනාගතයේදී මොන වෘත්තිය තෝරගත්තත් ගැටලුවක් නැහැ. අපි එයාව රටට හොඳ පුරවැසියෙක් කරනවා. එයා යන්න ඕන හොඳම පාර තෝර ගනිවී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon