ජුරසික් පාක් චිත්‍රපටයේ විද්‍යාත්මක පසුබිමක් ගැන ආවර්ජනයක්

  👤  2078 readers have read this article !
Published by : MB WEB 2018-06-05 17:46:46

1993 වසරේදී තිරගතවූ ස්ටීවන් ස්පිල්බර්ග් නිර්මාණය කළ 'ජුරසික් පාක්' චිත්‍රපටය හේතුවෙන් ඩයිනසෝරයන් පිළිබඳ යුගයක් පුරා දිවගිය සාකච්ඡාවක් ඇතිවිය.

එසේම, පොසිල අධ්‍යයන විද්‍යාව පිළිබඳ නව පර්යේෂණ කිරීමට එමගින් උත්තේජනයක් ලබාදුන් බවට චිත්‍රපටය ඇගයීමට ලක්විය.

නමුත් චිත්‍රපටය නිර්මාණයෙහිලා කෙතරම් විද්‍යාත්මක දත්ත යොදාගෙන ඇත්ද? එසේම එහි එන ඩයිනසෝරයන් පිළිබඳ සතු ඇති තවත් තොරතුරු මොනවාද?

චිත්‍රපටය නිකුත්වීමෙන් විසිපස් වසරක් ගතවීම නිමිත්තෙන්, දෘෂ්‍ය ප්‍රයෝග විශේෂඥ ෆිල් ටිපෙට් (Phil Tippett) සහ පොසිල විද්‍යාඥ ස්ටීව් බ්‍රසාටේ (Steve Brusatte) චිත්‍රපටය නිර්මාණය පිළිබඳ නැවත ආවර්ජනය කරන අතර එතැන් සිට ඔවුනොවුන් උගත්දේ පිළිබඳ විමසා බැලුවෝය.

ඔවුන්ගේ අදහසට අනුව චිත්‍රපටය ආරම්භයේදීම ඊට පාදකවූ මයිකල් ක්‍රයිටන්ගේ (Michael Crichton) නවකතාවේ ව්‍යාකූලතා ද එක්ව තිබිණි.

චිත්‍රපටයේ දැක්වෙන ටයිරැනසෝරස් රෙක්ස් (Tyrannosaurus rex) (මාංශ භක්ෂක් ද්විපාද ඩයිනෝසොරයා), වෙලෝසිරප්ටර් (Velociraptor) (මාංශ භක්ෂක කුඩා දෙපා ඩයිනෝසොරයා) සහ ට්‍රයිසරටොප්ස් (Triceratops) යන සතුන් ද ඇතුළු බොහොමයක් ඩයිනෝසරයන් ජුරසික් යුගයට පසු අවධිය වූ ක්‍රිටේසීය යුගයට අයත් සත්වයෝ වූහ.

සංරක්ෂිත DNA භාවිතයෙන් ඩයිනසෝරයන් නැවත බිහි කිරීමද ප්‍රශ්නකාරීය.

"ඩයිනසෝරයෙක් ක්ලෝනකරණයට ජානයක අඩංගු සියලුම කොටස් අවශ්‍ය වෙනවා. එනමුත්, කිසිවෙක්ට කිසිදිනක ඩයිනසෝරයෙක්ගේ ජාන හමුවී නැහැ" පොසිල විද්‍යාඥ බ්‍රසාටේ පවසනවා.

"ඉතිං අපි මේ කතා කරන්නෙ විය නොහැකි, එහෙම නැත්නම් සිදුවීමට ඉතා අපහසු දෙයක් ගැන" ඔහු වැඩිදුරටත් පවසයි.

සමහර විට, මෙවැනි තර්ක මතු කිරීම වැදගැම්මකට නැති කටයුත්තක් ලෙස පෙනෙන්නට පුළුවන්. නමුත් අත්භූත සත්ත්ව චරිත මෙන් නොව, ප්‍රාග් ඓතිහාසික සත්ත්ව චරිතවලට ඉතා හොඳ සාධාරණයක් කරන චිත්‍රපටයක් ගැන කතා කරනවානම් විද්‍යාත්මක නිරවද්‍යතාව සහ සිනමාත්මක ෆැන්ටසිය අතර ඇති තියුණු රේඛාවක ජුරසික් පාක් රැදී තිබේ.

ඩයිනසෝරයන් නිර්මාණය කිරීම

කිසිදු පුද්ගලයෙක් දැක නොමැති සත්ත්වයෙක් හැකිතාක් යථාවාදී ලෙස නිර්මාණය කිරීම එක් විශේෂත්වයකි.

එම කාලයට අනුව, ජුරසික් පාක් චිත්‍රපටය පරිගණක සජීවීකරණයේ විශාල පෙරළියක් කළ චිත්‍රපටයකි.

ස්ටාර් වෝර්ස් (Star Wars) චිත්‍රපටයේද කටයුතු කළ සජීවීකරණ විශේෂඥ ෆිල් ටිපෙට් (Phil Tippett) ඩයිනසෝර අධීක්ෂකවරයෙකු ලෙස චිත්‍රපටයට සම්බන්ධ විය.

චිත්‍රපටය සඳහා උපදේශකයෙක් වූ පාෂාණභූත විද්‍යාඥ ජැක් හෝනර් (Jack Horner) හැරුණුකොට ටිපෙට් හට ඩයිනසෝරයන් ගැන විශාල දැණුමක් විය.

"මම ඩයිනසෝරයන් පිළිබඳ ලියවුණු හැම පොතක්ම මිලදී ගත්තා. ඒ නිසා ඒ කාලයට අනුව, මම විද්‍යාත්මක දැණුම හොඳින් ග්‍රහණය කරගත් කෙනෙක් වුණා." ටිපෙට් බීබීසී සේවයට පැවසීය.

ෆොසිල කොටස් ජීවයක් දක්වා පරිවර්තනය කිරීම ඉතා අපහසු කටයුත්තක් වීම හේතුවෙන් ඩයිනසෝරයන්ට අනුරූප සතුන් නිරීක්ෂණය කිරීමට ටිපෙට් සහ ඔහුගේ කණ්ඩායම තීරණය කළේය. ඒ අනුව දිගු ගෙල ඇති දැවැන්ත බ්‍රේකියෝසෝරස් සත්ත්වගේ ස්වභාවය සඳහා අලියා ද, ගලිමයිමස් සත්වයාගේ ස්වභාවය සඳහා පැස්බරා ද නිරීක්ෂණයට කණ්ඩායම යොමු වූහ.

චිත්‍රපටයෙන් ලැබුණු නිර්මානාත්මක උත්තේජනය හේතුවෙන් තියුණු නිය සහ පියාපත් එක්වෙමින් ඩයිනසෝරයන් නිර්මාණාත්මකව වර්ධනය විය.

"ඩයිනසෝරයන්ට, සමහර විට සියලුම ඩයිනසෝරයන්ට යම් ආකාරයක පියාපත් තිබූ බව අපි දන්නවා. පියාපත් රහිත ඩයිනසෝරයන් නිර්මාණය කිරීම තරමක් අවලක්ෂණ කටයුත්තක් ලෙස දැන් හැඟෙනවා. එහි ස්වභාවික බවක් නැති බවක් පෙනෙනවා." බ්‍රසාටේ බීබීසී සේවයට පැවසීය.

"ඩයිනසෝරයන් පිළිබඳ දැන් මට තියෙන්නෙ සම්පූර්ණ වෙනත් අදහසක්." සජීවීකරණ විශේෂඥ ෆිල් ටිපෙට් පවසයි.

"ජුරසික් පාක් හැර වෙනත් චිත්‍රපටයක් කරනවනම්, මම ගොඩාක් වෙනස් විදියට දේවල් කරාවි. මම පියාපත් පිළිබඳ ගොඩක්දේ සොයා ගත්තා. එමගින් බොහෝ ආකර්ශනීය දේවල් කරන්න පුළුවන්" ඔහු පවසයි.

නමුත්, මුල් චිත්‍රපටය දෙස ආපසු හැරී බැලීමෙදී අකමැති වන්නට ඇති අවස්ථා ඉතා සුළු බව පොසිල විද්‍යාඥ ස්ටීව් බ්‍රසාටේ විශ්වාස කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon