අපේ ආදර කතාව කොහොම විසඳෙයිද දන්නේ නෑ

  👤  3164 readers have read this article !
Published by : MB WEB 2018-06-11 14:37:10

සන්දේශ්ගෙයි ඔයාගෙයි ලස්සන ආදර කතාවට මොකද මේ වුණේ?

අපි දෙන්නගේ ආදර කතාව ඇත්තටම ලස්සන ආදර කතාවක්. ඒත් ආදරය කියන්නේ පරිත්‍යාගයක්. මට මගේ ආදරය මවුපියන්ගේ බල කිරීම නිසා අතහරින්න සිද්ධ වුණා.

ජීවිතයට එකතු කරගන්න හීන දැක්ක සන්දේශ් ආබාධිතයෙක් වුණ ගමන් මවුපියන් කිව්වා කියලා එහෙම අතහැරලා දැම්මේ කොහොමද?

ඒක කරන්න අමාරු වුණා. ඒත් අමාරුවෙන් වුණත් ගන්න වෙන තීරණ තියෙනවා. මටත් ඒ වගේ අමාරු තීරණයක් ගන්න වුණේ. සන්දේශ්ව අතහරින්න මම හිතුවේ නැහැ. ඒත් මොනවා කරන්නද අකැමැත්තෙන්, අමාරුවෙන් ගොඩක් විඳවලා ගත්ත තීරණයක් මේක.

ගත්ත තීරණය ගැන දෙපාරක් හිතන්න හිතුවෙම නැද්ද?

තනියෙන් අත්පුඩි ගහන්න බෑ කියලා කියනවනේ. ඒවගේ තනි පාර්ශ්වයකින් ආදරය කරන්න බෑ. දෙපාරක් නෙවෙයි දහපාරක් හිතුවත් ඔය තීරණය තමයි අමාරුවෙන් වුණත් ගන්න වෙන්නේ.

සන්දේශ් ලංකාවට ආවෙත් ඔයාගේ මඟහැරීම නිසා කිව්වොත්?

ඇක්සිඩන්ට් එකත් එක්ක සන්දේශ්ට ඒ වෙලාවේ ලංකාවට එන්න වුණා. මට එයාව නවත්ත ගන්න බැරි වුණා. එහෙම එයාව නවත්ත ගන්න පුළුවන් පසුබිමක් මට තිබුණේ නෑ.

ඔයා ආයෙත් ලංකාවට ආවේ සන්දේශ් එක්ක එකලාසයක් වෙන්නද?

ඒක මටත් ප්‍රශ්නාර්ථයක්. අපේ ආදර කතාව කොහොම විසඳෙයිද කියලා මටත් හිතාගන්න බෑ. මොන දේ වෙන්න හරි මම ලංකාවට ආවා.

අපි මෙච්චර වෙලා කතා කළේ 'වස්සානයේ සඳ' චිත්‍රපටයේ නතාෂාගෙයි සන්දේශ්ගෙයි ආදර කතාව ගැනනේ. මේ අපූරු ආදර කතාවෙ නතාෂා වෙන්න ඕෂධීට අවස්ථාව ලැබුණේ කොහොමද කියලා දැන් කියමු?

එක දවසක් මට දන්නේ නැති දුරකථන අංකයකින් කෝල් එකක් ආවා. ඒ කතා කළේ උදයකාන්ත අයියා. ඔහු කිව්වා අලුත්ම චිත්‍රපටයට මාව ගැළපෙනවාද බලන්න ඕන කියලා. ඒ වෙලාවේ ඇත්තටම මම පුදුම වුණා. මම උදයකාන්ත අයියව මුණගැහුණට පස්සේ මාව නතාශා කියන චරිතයට තෝරා ගත්තා.

ඕෂධීට මුලින්ම ආරාධනා ලැබෙන්නේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කියන්නේ ඇත්තද?

ඔව්. මාව මුලින්ම බැලුවේ මිහිරිගේ චරිතයට. උදයකාන්ත අයියා මාව ඡායාරූපවලින් දැකලා තිබ්බට ඇත්තට දැකලා තිබ්බේ නෑ. දැකපු ගමන් ඔහු කිව්වා.' "අම්මෝ මෙයා ගොඩක් කෙට්ටුයිනේ" කියලා. මිහිරිගේ චරිතයට හොයලා තිබ්බේ ගැමි පෙනුමක් තියෙන කෙනෙක්. ඔහු ඒ පෙනුම මගෙන් දැක්කේ නැහැ. ඒත් සතියකට විතර පස්සේ ඔහු මට කතා කරලා කිව්වා චිත්‍රපටයේ නතාෂා කියලා චරිතයක් තියෙනවා. ඒක කරන්න පුළුවන්ද කියලා. මම ගොඩක් ආසාවෙන් ඒ චරිතය භාරගත්තා.

ඕෂධීට ප්‍රධාන චරිතය මඟහැරුණු එක ගැන දුකක් නැද්ද?

එහෙම නැහැ. උදයකාන්ත අයියා මට ගැළපෙන චරිතය දුන්නේ. ඔහුගේ සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබීම භාග්‍යයක්. මට චරිතය අදාළ නැහැ. උදයකාන්ත අයියා මුහුණ බලලා තමයි චරිත තෝරලා බේරලා දුන්නේ. මිහිරි කියන ප්‍රධාන චරිතය මට නොලැබීම ගැන දුකක්වත් පසුතැවීමක්වත් නැහැ. ඔහු දුන්නේ හොඳම තීරණය.

ඕෂධී නිරූපිකාවක්. සිනමාවට එකතු වෙන්න ලැබුණ අවස්ථාව අභියෝගයක් වුණේ නැද්ද?

අනිවාර්යයෙන්ම අභියෝගයක්. මම වෘත්තීයමය නිරූපණ ශිල්පිනියක්. මම මියුසික් වීඩියෝවල පෙනී හිටියට සිනමාව කියන්නේ ඒ දෙකටම වඩා හාත්පසින්ම වෙනස් වුණු දෙයක්. මේ අවස්ථාව මට ලොකු අභියෝගයක් ලෙස දැනුණා. උදයකාන්ත වර්ණසූරිය කියන්නේ දැවැන්ත අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ නිර්මාණයකින් සිනමා ගමන ආරම්භ කරන්න ලැබීම මගේ භාග්‍යයක්.

සිනමාවේ පළමුවැනි පිම්මට ඕෂධීට ලැබෙන ප්‍රතිචාර ජයද?

ඇත්තටම මම හිතුවෙවත් නැති විදියට ප්‍රතිචාර ලැබෙනවා. පෞද්ගලිකව මගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර තියෙනවා. ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්වලින් මට ප්‍රතිචාර ලැබෙනවා. මගේ පළමුවැනි සිනමා රංගනය වෙනුවෙන් මේ වගේ ප්‍රතිචාර ලැබෙද්දී පුදුමාකාර සතුටක් දැනෙන්නේ.

ඕෂධීට රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න වුණේ ඕස්ට්‍රේලියාවේදී. ඒකත් වෙනස් අත්දැකීමක් වෙන්න ඇති?

මට ලංකාවෙදි ෂූටින් තිබ්බේ එක දවසයි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල තමයි දිගටම ෂූටින් තිබ්බේ. මම ඕස්ට්‍රේලියාවට ගිය පළමු අවස්ථාව ඒක. ඒක සුවිශේෂී අත්දැකීමක් වුණා. ඕස්ට්‍රේලියාවේ රූගත කිරීම්වල නිෂ්පාදක විදියට කටයුතු කළේ මහේෂ් බණ්ඩාර. ඔහු අපිට ලොකු සහායක් දුන්නා. අපිව ආදරයෙන් බලාගත්තා. සිඩ්නිවල ලස්සන තැන් බලන්න එක්කගෙන ගියා. අපි සති තුනක් විතර ඕස්ට්‍රේලියාවේ හිටියා. ඒ හැම දවසක්ම අපිට විශේෂ සහ අමතක නොවන දවස් වුණා.

ඕෂධීට වැඩිපුරම රංගනයට දායක වෙන්න ලැබුණේ අනුජ් එක්ක. කොහොමද සිනමාවේ පෙම්වතා ලෙස අනුජ්ගෙන් ඕෂධීට ලැබුණු සහාය?

අනුජ්ට මීට කලින් සිනමාවේ අත්දැකීම් තිබ්බා. අපි සිනමාවේදී මුලින් මුණගැහුණට නිරූපණ ක්‍ෂේත්‍රයේ එකට වැඩ කරපු යාළුවෝ. පියුමි, ඇන්ජලෝ වුණත් එහෙමයි. අපේ තිබ්බ යාළුකම රංගනය සාර්ථකව කරගන්න උදවු වුණා.

'වස්සානයේ සඳ' ඕෂධීගේ සිනමා රංගනයේ හොඳ පිම්මක් වුණා කියලා හිතනවාද?

ඔව්. මොකද මේ වෙද්දි මම තවත් චිත්‍රපට දෙකක රඟපා අවසන්. ඒ ජ්චජඥ බධ ජ්චජඥ සහ මං මිස් ජෙනිස් කියන චිත්‍රපට. ඒ චිත්‍රපට දෙකටම මට ආරාධනා ලැබුණේ 'වස්සානයේ සඳ' චිත්‍රපටයෙන් පස්සේ. අවුරුදු දෙකක් ඇතුළත මෙවැනි අවස්ථා ලබන්න තරම් වස්සානයේ සඳ හොඳ පිම්මක් වුණා.

රංගනය නිසා නිරූපණ කටයුතු මඟහැරෙයිද?

නැහැ. මම නිරූපණ කටයුතු මඟහැරගන්නේ නැහැ. මම කැමැතියි නිරූපණ ශිල්පිනියක් ලෙස ඉදිරියට යන්න. ඒ අතරේ හොඳ සිනමා නිර්මාණ ලැබුණොත් භාරගන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon