සිල්ලර සමනල්ලු එක්ක ඉගිල්ලෙන ධනා සම්මාන ගැන බලාපොරොත්තු කඩවුණ තැන මතක් කරයි

  👤  2672 readers have read this article !
Published by : MB WEB 2018-06-14 11:57:13

'සිල්ලර සමනල්ලු' එක්ක ධනංජය වෙනස් හැඩයකින් දකින්න ලැබෙනවා?

ඔව්. මෙගා නාට්‍ය කරන්න එපා කියලා මට ගොඩක් අය කිව්වා. මමත් හැම එකක්ම කරනවා කියන පසුබිමේ හිටියේ නැහැ. නමුත් මේ යන විදියට වඩා වෙනස් දෙයක් කරන්න ඕන කියලා හිතුවා. 'සිල්ලර සමනල්ලු' ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා සහ රචකයා මට කතා කරද්දීම මම කිව්වා, මට පෙම්වතාවම සෙට් වෙන්නේ නැහැ. මට ඇක්ට් කරන්න ඕන කියලා. නින්ජාගේ චරිතය කියවද්දීම මටම හිනා ගියා. වෙනස් දෙයක් කරන්න ඕනකමින් හිටපු අවස්ථාවක මම හොයපු එක තමයි මේ කියලා මට දැනුණා. මම හිතුවා මේක මම රඟපෑ යුතු කතාවක් කියලා.

ඇයි ඒ?

මම කොමඩි චරිත කරලා තිබ්බේ නෑ. මට ඕන වුණා හරි විදියේ කොමඩි චරිතයක් කරන්න. හොඳ නළුවෙක්ට කොමඩි චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන. මේ කතාව ඇතුළේ කොමඩි එක තමයි මගේ චරිතය දැක්කම මටම හිනා යනවා.

වෙනස් වෙන්න සමහරු බයයි. ධනංජයට වෙනස් වෙන්න බයක් දැනුණේ නැද්ද?

මට එක විදියකට ඉන්න බෑ. එක රාමුවක ඉන්නයි මම බය. එක එක චරිතවලට මම ආසයි. මට වෙනස් වෙන්න පුළුවන් නම් මම ඒ චරිතයට වෙනස් වෙනවා. නින්ජා කියන්නේ මාව වෙනස් කළ චරිතයක්. චරිතාංග නළුවෙක් වෙන්න බය ඒකට තියෙන නොහැකියාව කියලා මම හිතනවා. මට තියෙන ලොකුම අභියෝගය තමයි බැහැයි කියලා හිතෙන දේ කරලා පෙන්වීම. නින්ජා තනිකරම චැලේන්ජ් එකක්. සද්ධාමංගල සූරියබණ්ඩාර සහ සංජය නිර්මාල් පුළුවන් නම් කරලා පෙන්වන්න කියලා මං ගැන විශ්වාසයෙන් මේ චරිතය දුන්නා. මම ඒ චරිතයට සාධාරණයක් කළා කියලා හිතෙනවා.

ධනංජයගේ වෙනසට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රේක්ෂකයන්ගෙන් විශාලම ප්‍රතිචාරය ලැබෙන්නේ මගේ ස්වරූපය වෙනස් කිරීම ගැන. ඔවුන් ඒ ගැන සතුටු වෙනවා. මේක ළාමක සිල්ලර වැඩක් නෙවෙයි. මේක සංකීර්ණ වැඩක්. අපි මහන්සියෙන් කළ චරිත මේ. මෙගා නාට්‍යවලින් අෑත් වෙලා හිටිය ප්‍රේක්ෂකයන්ට සිල්ලර සමනල්ලු හොඳ උත්තරයක් දෙනවා. එක කොටසක් බැලුව කෙනෙක් ඒක දිගටම බලනවා. මගේ චරිතයට විතරක් නෙවෙයි සිල්ලර සමනල්ලු ටෙලියටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සති අන්තවල විකාශය වුණ ටෙලිය දැන් සතියේ දවස් පහේම විකාශය වෙනවා. අපි මේ වැඩේ ඇතුළේ තිබ්බ රසය නැති කර ගන්නේ නැතිව ඉදිරියට ගෙනියනවා.

නින්ජාගේ ස්ටයිල් එක මේ චරිතය ප්‍රේක්ෂකයන් අතරට යන්න බලපෑවා නේද?

ඔව්. නින්ජා දාන කණ්ණාඩියේ වීදුරු දෙක නැහැ. ඒක හිතාමතාම කරපු දෙයක්. මේ ලොකේ කවුරුවත් වගේ නෙවෙයි නින්ජා, ඒක නින්ජාට ආවේණික ස්ටයිල් එකක්. මේ ස්වරූපයට ගොඩක් ප්‍රේක්ෂකයෝ කැමැතියි. මේ වෙනකොට නින්ජාගේ රූප කාටුන් චිත්‍ර ලෙස ඇඳලා මගේ ප්‍රේක්ෂකයෝ මට එවලා තියෙනවා. ඒ චරිතයට ආදරේ නිසා තමයි එහෙම කරන්නේ. නින්ජාගේ ස්වරූපයත් චරිතයේ සාර්ථකත්වයට බලපෑවා.

ධනංජය එක්ක එකතු වෙන අනෙක් 'සිල්ලර සමනල්ලු' දෙන්නා තමයි විරාජ් සහ රොහාන් කියන්නේ. ඔබ තමයි ඒ අතර ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයා. ඔබ, විරාජ් සහ රොහාන්ගේ මුහුවීම ගැන මොකද හිතෙන්නේ?

රොහාන් කියන්නේ ඉතාම ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම සුන්දර මිත්‍රයෙක්. විරාජ් තමයි වැඩිම මියුසික් වීඩියෝ සංඛ්‍යාවක් රඟපාලා තියෙන්නේ. අපි තුන්දෙනාම හොඳ සංයෝගයක්. ඔවුන් අලුත්ද කියන දේ අදාළ වුණෙත් නෑ. කවුද සීනියර් ජූනියර් කියලා අපිට මතකත් නෑ. අපි හොඳ යාළුවෝ. විරාජ්, රොහාන් කියන්නේ මාර ආතල් පිස්සෝ දෙන්නෙක්. ෂූටින් ඉවර වෙලා යද්දිත් අපිට මාර දුකයි. ඒ තරම් බැඳීමක් අපි අතර තියෙන්නේ.

තුන්දෙනා සෙට් එකේදී රණ්ඩු වෙනවා කියන්නේ ඇත්තද?

ඔව්. අපි තුන්දෙනා රණ්ඩු වෙනවා. දෙන්නෙක් එකතු වෙලා අනෙක් එකාව බයිට් කරනවා. හැබැයි ඒවා ජොලියට කරන දේවල්. හරි සුන්දර ගනුදෙනුවක් අපි තුන්දෙනා කරන්නේ.

ධනා කාලයක් දකින්න ලැබෙන්නේ එක නිර්මාණයක විතරයි. මොකක්ද ඒකට හේතුව?

මිල්ලෑව වලව්වෙන් පස්සේ මම මේ නිර්මාණයට තමයි සම්බන්ධ වුණේ. මම එහෙම වැඩ ගොඩක් පටලා ගන්න කැමැති නැහැ. එතකොට මට කරන නිර්මාණයට සියයට සියයක දායකත්වය දෙන්න පුළුවන්. නමුත් මේ නාට්‍යයට අමතරව මම තවත් නාට්‍ය දෙකක ෂූටින් යනවා. ඒ අතරින් ළඟදීම හරස්පාර ටෙලි නාට්‍ය විකාශය වෙයි.

ඔබත් සිනමා නිර්මාණයකට අත ගහන්න සූදානම් වෙනවා කියලා ආරංචියි?

ඔව්. මගේ කතා සංකල්පයකට චිත්‍රපටයක් කරන්න සූදානම් වෙනවා. ඒක ඉතාම සංකීර්ණ පිටපතක්. ඉතාම සංකීර්ණ වාණිජ චිත්‍රපටයක් වෙයි ඒ නිර්මාණය. හැබැයි කොයි තරම් චිත්‍රපට කළත් ගැටලුවක් තියෙනවා.

ඒ මොකක්ද?

අපිට දක්ෂ තරුණ සිනමාකරුවන් පිරිසක් ඉන්නවා. ඔවුන්ට හොඳ චින්තනයකුත් තියෙනවා. නමුත් ඔවුන්ට චිත්‍රපට කරලා පෙන්වන්න හෝල් නැහැ. තරුණ සිනමාකරුවන්ට හොඳ ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සිනමාව අත්‍යවශ්‍යයි කියලා ලෝකයම පිළිගත්තත් ලංකාව තාම හිතන්නේ සිනමාව හොබී එකක් කියලා. ආට් නැති රටක් කොහොමද පවතින්නේ. මේ දේවල් වෙනස් විය යුතුයි.

ධනංජය කියන්නේ සම්මානනීය නළුවෙක්. නමුත් පසුගිය කාලේ ධනංජයට සම්මානනීය ඇගයුම් ගිලිහුණා නේද?

'රතු අහස' නිර්මාණයේ විරාගගේ චරිතයට සම්මානයක් නොලැබීම එක්ක සම්මාන ගැන තිබ්බ මගේ හීනය බොඳ වෙලා යනවා. විරාගගේ චරිතයෙන් කියන්නේ නිසි ඇගයීම නොලත් ලංකාවේ සැබෑ කලාකරුවාගේ ඛේදනීය අනාගතය ගැන. විරාගව සම්මානයට පාත්‍ර නොකිරීම ගැන කනගාටුවක් තියෙනවා. ඒ චරිතය සම්මාන සඳහා නිර්දේශ වුණත් සම්මානනිය ඇගයුමක් නොලැබෙනවා. විරාගගේ චරිතයට සම්මානයක් නොලැබී මට ඔස්කාර් සම්මානය ලැබුණත් වැඩක් නෑ. සම්මාන ලැබුණත් නැතත් මම රඟපානවා. විරාග නාට්‍යයෙදීත් පැරැදුණා. සම්මාන උළෙලෙදීත් පැරැදුණා.

ඒ කියන්නේ විරාග වෙනුවෙන් ධනා අසීමිත බලාපොරොත්තු තියාගෙන හිටිය හැඩයි?

නාට්‍ය රඟපාද්දී නෙමෙයි, නාට්‍ය විකාශය වෙද්දි මම දැකපු දෙයක් තියෙනවා. ඒත් එක්ක විරාග සම්මානයට පාත්‍රවෙයි කියලා හිතුවා. ඒත් එහෙම වුණේ නෑ. කොහොම වුණත් මින් එහාට සම්මාන නොලැබුණාට දුකක් ඇති වෙන එකක් නැහැ.

ඔබේ ගුරු භූමිකාවේ සාර්ථකත්වය කොහොමද?

මම සහ සම්පත් එකතු වෙලා කරපු ප්‍රාණ ඇක්ටින් ස්ටුඩියෝවේ පළමු කණ්ඩායමේ වැඩ මේ මාසයේ අවසන්. සාර්ථක කණ්ඩායමක් එළියට දාන්න අපිට පුළුවන් වුණා. ලබන මාසේ ඉඳන් දෙවැනි කාණ්ඩයේ වැඩ පටන් ගන්න අයැදුම්පත් කැඳවනවා. රංගනය විෂයක් ලෙස හදාරන පිරිසට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූපය - අමිත තෙන්නකෝන්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon