ගා්‍රම ශක්තියෙන් - ගම හදන ගමන අද පුත්තලමෙන් ඇරැඹේ

  👤  1194 readers have read this article !
Published by : MB WEB 2018-06-13 09:47:33

පී.ඒ.එස්. ප්‍රදීපිකා

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවන ලද පුළුල් ජනතා ව්‍යාපාරය වූ ග්‍රාම ශක්ති ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක වන "ග්‍රාම ශක්තියෙන් - ගම හදන ගමන" වැඩසටහන අද (13දා) පුත්තලම දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ.

"දිළිඳුකම පිටුදැකීමේ වුවමනාව මගේ ඇඟේම තියෙනවා. ඒ මම දිළිඳුකම අත්විඳපු කෙනෙක් නිසයි. ඒ පීඩාව ලබපු කෙනෙක් නිසයි" මෙම විවෘත සහ සංවේදී ප්‍රකාශය සිදු කළේ අන් කිසිවකු නොව මේ රටේ වත්මන් රාජ්‍ය නායකයායි.

ඒ පසුගිය වසරේ කොළඹ පැවැති බහු අංශ තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශි්‍රත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ තෙවැනි සැසිවාරයේ අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමිනි.

දිළිඳුකමෙන් පීඩා විඳින ජනතාව ඉන් නිදහස් කර ගැනීම වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාව එතුමා එහිදී හදවතින්ම ප්‍රාර්ථනා කළේය.

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය පළ දරන්නේ එකී අභිමතාර්ථය ඉටු කරගැනීම වෙනුවෙනි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවශ්‍යව ඇත්තේ වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීම හුදු සංඛ්‍යා ලේඛනවලින් ඔබ්බට ගිය තිරසර වැඩපිළිවෙළක් බවට පත්කර ගැනීමටය.

දරිද්‍රතාව ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා පටන් මේ දක්වා විශේෂ අවධානයක් යොමුවූ කරුණක් විය. ශ්‍රී ලංකාවේ බලයට පත්වූ සෑම රජයක්ම දිළිඳුකම තුරන් කිරීම තමන් ඉදිරියේ වූ විශාල අභියෝගයක් ලෙස හඳුනාගනිමින් විශේෂ වැඩසටහන් ක්‍රියාවට නැංවීය.
එහෙත් ග්‍රාම ශක්ති ව්‍යාපාරය මෙතෙක් ක්‍රියාවට නංවා තිබෙන දිළිඳුභාවය පිටුදැකීමේ ජනතා ව්‍යාපාර අතරින් වෙනස් ව්‍යාපාරයක් බවට පත්වන්නේ එය යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්ව උත්සාහයෙන් නැඟී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම නිසාය.

එමෙන්ම එදා මෙදා තුර, දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් සිදුකෙරුණු බොහෝ ව්‍යාපෘති දියත් කෙරුණේ රජය සහ ජනතාව අතර ගනුදෙනුවක් වශයෙනි. එහෙත් ග්‍රාම ශක්ති ව්‍යාපාරය තුළ පළමු වරට දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයක් සාර්ථක වීමට පෞද්ගලික අංශයේ දායකත්වය විධිමත් පරිදි යොදා ගැනීමට කටයුතු කරයි. එසේ කරනුයේ ජනතාවගේ
නිෂ්පාදනවලට වඩාත් හොඳ සහ ස්ථාවර මිලක් සහ අඛණ්ඩ වෙළෙඳපොළක් සම්පාදනය කිරීම සඳහාය.

ශක්තිමත් හා ගෞරවාන්විත ආර්ථියකින් හෙබි තිරසර ශ්‍රී ලංකාවත් තුළ සියලු ආකාරයේ දිළිඳුකම මුලිනුපුටා දැමීම ග්‍රාම ශක්ති වැඩසටහනේ පරමාදර්ශි අරමුණයි.

ග්‍රාම නිලධාරි වසම තුළ සිටින වඩාත් දිළිඳු හා සාපේක්ෂ වශයෙන් දිළිඳු පවුල් වර්ගීකරණය කර ඔවුන් තුළ සමාජ සජීවිකරණ ක්‍රියාවලිය තුළින් දරිද්‍රතාව පිටුදැකීමට අවශ්‍ය ආකල්පමය වෙනස ඇති කිරීම ග්‍රාම ශක්ති ව්‍යාපාරය හරහා සිදු කෙරේ.

ග්‍රාම ශක්ති වැඩසටහන විවිධාකාරයෙන් භේදභින්න වූ සමාජයක ප්‍රජාව සහයෝගිතාවයෙන් එක්තැන් කර තොරතුරු, තීරණ ගැනීමේ බලය සහ ගමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට සම්පත් ප්‍රජාවට පැවරෙන ප්‍රජාපාලිත ක්‍රමවේදයකි. එමෙන්ම කවුරුත් එකතු කරගෙන වගකීමෙන් ක්‍රියාකරන ආර්ථික සංවිධානයක් මඟින් ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වෙමින් ජීවන මාර්ග වැඩි දියුණුවට ඉඩ සැපයෙන වැඩපිළිවෙළකි.

රාජ්‍ය ජනතා සහ පෞද්ගලික අංශයේ හවුල්වීමෙන් නව ආර්ථික දියුණුවකට මඟපෑදීමක් මෙමඟින් සිදුවන අතර දැනටමත් ක්‍රියාත්මක දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන් අගයමින් ඒවා සමඟ එක්ව ක්‍රියාත්මක වන ජනතා ව්‍යාපාරයකි.

වසර 2020 වනවිට ප්‍රජා පාලිත ග්‍රාම නිලධාරි වසම් පන්දහසක් ඇති කිරීම තුළින් එකී ග්‍රාමයන් තුළ ජීවත්වන ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ද වර්ධනය වන අවශ්‍යතාවන්ද, පුද්ගලයන් ලෙස, සාමුහිකවද, අත්පත් කර ගැනීම සඳහා ප්‍රජාවට තොරතුරු, තීරණ ගැනීමේ බලය සහ සම්පත් සම්පාදනය මඟින් පහසුකරණය සැපයීම ග්‍රාම ශක්ති හරහා සිදු කෙරේ.

වඩාත් දිළිඳුබවින් පෙළෙන දිස්ත්‍රික්කවල, දිළිඳුකම ඉහළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ හඳුනා ගන්නා ග්‍රාම නිලධාරි වසම් තුළ නීතියේ විධානයට, යහපාලන මූලධර්මවලට හා පිළිගත් පරමාදර්ශයන් යටතේ ක්ෂේත්‍ර ජනතා සමාගම් ගොඩනැඟීම සිදු කෙරෙයි.
දැනටමත් ගැමිදිරිය යටතේ පිහිටුවා ඇති ජනතා සමාගම් 2040ක් යාවත්කාලීන කර ග්‍රාම ශක්ති ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම සිදු කෙරෙන අතර තෝරාගත් නව ග්‍රාම සේවා වසම්වල සංවර්ධන අරමුදල සඳහා එක් පුද්ගලයකු රු. 8000ක් වන සේ ගණනය කෙරෙන අරමුදලක් ආයෝජනය සහ ජනතා සමාගම ලබාගන්නා ප්‍රගතිය මත වාර්ෂිකව අරමුදල් නිදහස් කිරීම සිදු කෙරේ.

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය හා ජනතාව යන අංශ තුන අතර සම්බන්ධීකරණ හා සහයෝගිතාව ඇති කරමින් ග්‍රාමනිලධාරි වසම් තුළ ග්‍රාමශක්ති ජනතා සමිති ස්ථාපිත කරනු ලැබේ. මෙම සමිති යටතේ සංවිධානගත කරනු ලබන ග්‍රාමීය ප්‍රජාව ඵලදායී ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු කරමින් රු. 60,000ක් දක්වා මාසික ආදායමක් දක්වා ආදායම් මට්ටම් ඉහළ නැංවීමට අදාළ විශේෂිත වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් ජනතා සමාගමක් මෙම ව්‍යාපෘතියේ නිමවුමයි. එමෙන්ම සියලු ජනතාවගේ සහභාගිත්වයෙන් ගොඩනැඟෙන ග්‍රාමීය සැලැස්මක්, යැපුම් මානසිකත්වයෙන් මිදී ව්‍යවසායකත්වය වෙත එළැඹීමට විශේෂ පුහුණුව, ග්‍රාමීය ප්‍රාග්ධනය ශක්තිමත් කරන ග්‍රාමීය ඉතුරුම් ක්‍රමයක්, පෞද්ගලික අංශයේ නිර්මාණාත්මක මැදිහත්වීම මඟින් දේශීය සහ ගෝලීය සැපයුම් දාමයන්, අගය දාමයන් වෙත සම්බන්ධ වීමට ග්‍රාමීය ක්ෂේත්‍ර සමාගම් වෙත අවස්ථාවක් මෙන්ම ගමේදීම තම නිෂ්පාදනයන්ට අගය එකතු කිරීමේ දැනුම, තාක්ෂණය සහ උපකරණ ව්‍යවසායකත්ව සහ තාක්ෂණික කේන්ද්‍රයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඇති කිරීම මෙහි අවසන් අරමුණයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon