බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ යෝජිත ක්‍රීඩාංගණ භූමියෙන් කොටසක් සිවුදෙනෙක් බලහත්කාරයෙන් අල්ලගෙන

  👤  1586 readers have read this article !
Published by : MB WEB 2018-06-20 10:11:43

බද්දේගම - ඕ. කමලනාථ

බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ ක්‍රීඩාංගණය ඉදිකිරීමට යෝජිත ඉඩමේ පර්චස් අසූවක පමණ කොටසක් යාබද ඉඩම් හිමිකරුවන් සිවුදෙනකු විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇතැයි විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.

විද්‍යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයෙන් අනෙක් පස වෙල්යායේ ක්‍රීඩාංගණය ඉදිකිරීමට යෝජිතව තිබේ. ඒ වෙනුවෙන් 2016 නොවැම්බර් මස තැබූ මුල්ගලද මේ වන විට කැලයට යටවෙමින් ඇත. එම භූමියේ නගර අන්තයේ කොටසක අඩි විසි පහක් පමණ දිගට සිමෙන්ති ගඩොලින් බඳින ලද තාප්පයක් පෙනෙන්නට තිබේ. එය මීට දින කිහිපයකට පමණ පෙර යාබද ඉඩම් අයිතිකරු විසින් ඉදිකර තිබෙන බව ආදි ශිෂ්‍ය සංගමය කියයි.

අප සමඟ අදහස් දැක්වූ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සාමාජික සී.ඩී. විතානගේ
බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය ඉදිරිපිට අක්කර 4යි පර්චස් 127ක භූමි ප්‍රමාණයක් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා රජයට පවරා ගෙන තිබෙනවා. ක්‍රීඩාංගණය ඉදිකිරීමට යෝජිත භූමියෙන් පර්චස් අසූවක පමණ කොටසක් ඒ යාබද ඉඩම් හිමිකරුවන් සිවුදෙනෙක් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඒ අයගෙන් තිදෙනෙක් බද්දේගම නගර අන්තයෙන්ද, අයෙක් ගිං ගඟ අන්තයෙන්ද ක්‍රීඩාංගණ භූමියෙන් කොටස් බලහත්කාරයෙන් අල්ලගෙන.

නගර අන්තයෙන් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින එක් පාර්ශ්වයක් විසින් පසුගිය දිනවල අඩි විසි පහක් පමණ දිග තාප්පයක් ඉදි කළා. පසුගිය 10 වැනිදා බද්දේගම පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළා. ග්‍රාම නිලධාරිතුමාත් දැනුවත් කළා. තාප්පය බැඳලා තියෙන්නේ ක්‍රීඩාංගණයට අයත් ඉඩමෙන් අඩි 15ක් පමණ පළල තීරුවක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන.

මේ ඉඩම් පවරා ගැනීමට අදාළ මූලික කටයුතු 1988 වසරේදී එවකට සිටි විදුහල්පති ධනපාල පතිරණ මහතාගේ නායකත්වයෙන් සිදු වුණා. එහෙත් විටින්විට පැමිණි බාධක නිසා ඉඩම නිල වශයෙන් රජයට පවරා ගැනීම කල් ගියත් 2004 වසරේදී ඉඩම නිල වශයෙන් රජයට පවරාගත්තා. ඉන් පසු අවස්ථා කිහිපයකදී ඉඩමට පස් දමා ගොඩ කළා. ඒත් ක්‍රීඩාංගණයේ වැඩ අවසන් කරන්න බැරි වුණා. කෙසේ නමුත් දක්ෂිණ අධිවේගී මාර්ග බද්දේගම පිවිසුම් මාර්ගය ඉදිකිරීම් කළ කොන්ත්‍රාත්කාර සමාගමක් විසින් පස්දමා යෝජිත ක්‍රීඩාංගණ භූමිය ගොඩ කළා. අවසන් වරට 2016දී නොවැම්බර් මස ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබුවා. ඒ සඳහා ලක්ෂ 75ක මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාදෙන බව අපට දැන ගන්න ලැබුණා. ක්‍රීඩාංගණය ඉදිකිරීමට පැමිණි කොන්ත්‍රාත්කරුවන් වැඩ අතරමඟ නවතා දමා යන්න ගියා.

ප්‍රදේශයේ තියෙන ප්‍රධානම ජාතික පාසලක ඉගෙන ගන්න අපේ ළමයින්ට ක්‍රීඩා කරන්න පිට්ටනියක් නැහැ. ක්‍රීඩා සඳහා බද්දේගම මහජන ක්‍රීඩාංගණය මුදල් ගෙවා වෙන්කර ගත යුතුයි. එයට විශාල වෑයමක් දරන්න වෙනවා. මේ ක්‍රීඩාංගණය ඉදිකිරීමට යෝජිත භූමිය නිරවුල් කරලා කඩිනමින් ක්‍රීඩාංගණය ඉදිකර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon