ලක්පාන ගම්වැසියන්ට ජලයත් නෑ විදුලියත් නෑ යන්න එන්න පාරකුත් නෑ

  👤  1650 readers have read this article !
Published by : MB WEB 2018-06-20 11:37:36

බුලත්කොහුපිටිය - අසේල වික්‍රමනායක

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලක්පාන ප්‍රදේශයේ ගම්වාසීන් හට අත්‍යවශ්‍ය විදුලිය, ජලය නොමැති බවත් ගමන් කිරීමට ඇති එකම මාර්ගයද දැඩි ලෙස අබලන් වී ඇති බවත් එම ගම්වාසීහු පවසති.

මෙම පිරිස 2016 වර්ෂයේ නාය යෑම්වලින් අවතැන්ව පැලැම්පිටිය, යටිදැරිය, දේදුගල ප්‍රදේශවල අවතැන් කඳවුරුවල සිටියදී 2017 වර්ෂයේ නොවැම්බර් මස බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් මෙම ස්ථානයෙන් ඉඩම් ලබාදී ඇති අතර මේ වන විට පවුල් 36ක ජනතාවට නිවාස ඉදිකරමින් තිබේ.

මෙහි ඉඩම් ලබාදුන් ජනතාවට අවශ්‍ය විදුලිය, ජලය නොමැති අතර මෙම ගම්මානයට පැමිණෙන මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇත. මාර්ගය අබලන් වීම නිසා තමන්ට මෙහි නිවාස තනා ගැනීම සඳහා රජය ලබාදුන් ලක්ෂ 12ක මුදලින් හරි අඩක්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා යෙදවීමට වූ බව ගැමියෝ පැවැසූහ.

මේ පිළිබඳව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය හා අදාළ බලධාරීන් අවස්ථා කිහිපයකදී දැනුවත් කළත් කිසිදු පලක් නොවූ බවද ගම්වාසීහු පවසති.

ඩී.ආර්. අමිල ලක්මාල්, මම පැලැම්පිටිය ප්‍රදේශයේ තමයි ජීවත් වුණේ. එහේ මගේ ගෙවල් හොඳට හදලා තිබුණා. 2016 මැයි මස නාය යෑම නිසා අපිට අයින් වෙන්න කීවා. ඊට පස්සෙ රජයෙන් අපි 2017 වර්ෂයේ නොවැම්බර් මස මෙහෙට ගෙනත් දැම්ම. ලක්ෂ 12ක් දෙන්නම් ගෙයක් හදාගන්න කියල. එතකන් අපි හිටියෙ කූඩාරම්වල. අපි මෙහෙට එන්න ඉස්සර වෙලා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය කීවේ මෙම ඉඩමට පාරවල්, විදුලිය, ජලය ඇතුළු සියලු පහසුකම් ඇති සුරපුරයක් බවට. අපි මෙහෙට ආවට පස්සෙ තමයි දන්නෙ පාර දැඩි ලෙස අබලන් කියලා. රජයෙන් මෙම පාර හදල දෙන්නම් කියල කීවා. ඒත් දැන් ඇවිල්ල අවුරුද්දකට කිට්ටු වෙනවා තාම නෑ. නිවාස හදන්න අවශ්‍ය බඩු ගෙන ඒමේදී ලැබුණු ලක්ෂ ‍ෙදාළහෙන් 6ක්ම ලොරි සඳහා දෙන්න වුණා. තන්තිරිමලේ සිට ලක්පාන මේ අපේ ගමට එන්න ලොරියකට රුපියල් 2,500ක මුදලක් අයකරනවා. ඒ වගේම බීමට, නෑමට ජලය නෑ. විදුලිය නෑ. අපි දැන් කබලෙන් ළිපට වැටිලා. මම සහ මගේ බිරිය දැන් කුලියට තේ දලු කඩල තමයි ජීවත් වෙන්නෙ.

කේ. එමලින් මහත්මිය - මගේ මහත්තය කරෙන්ම තමයි කිලෝමීටර් භාගයක ඉඳල අපේ නිවෙස හදන්න වතුර ඇද්දෙ. අපි වැස්ස දවසට ගෙයි වහලෙ පීල්ලෙන් භාජනවලට එකතු කරගන්න ජලය තමයි පානය කරන්නෙ. පාරත් වාහනයක් තියා පයින්වත් යන්න බැරි තත්ත්වයකට අබලන් වෙලා තියෙනවා. දැනට දවස් කිහිපයකට උඩදී පාරෙ ගමන් කරනකොට එක්කෙනකු වැටිලා රෝහල් ගත කළා. අපි මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කළා. අද එනව හෙට එනවා කියනවා. ඒත් තාම වැඩක් නෑ. දැන් නිලධාරීන් කවුරුවත් මේ පැත්ත දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ. මේ නිසා අපේ අහිංසක දරුවොත් ගොඩාක් දුක් විඳිනවා. පින් අයිති වෙයි. අපි වෙන මොනවත් ඉල්ලන්නෙ නෑ. මේ අබලන් මාර්ගය හදලා දෙන ලෙසත් ඒ වගේම ජලයයි, විදුලියයි ලබා දෙන්න කියා ඉල්ලනවා.

කවිදි ළහිරුණි සිසුවිය, මම පාසල් යන්නෙ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විදුහලට. මම උදෑසන 5ට පමණ තමයි පාසල් යන්න පටන් ගන්නේ. මොකද කියනවා නම් පාර දැඩි ලෙස අබලන් නිසා කිලෝමීටර් 2ක් විතර පයින් යන්න සිදුවෙලා තියෙනවා. සමහර දවස්වලට පාරෙ ලෙස්සලා වැටිල තියෙනවා. කුප්පි ළාම්පු පත්තු කරල තමයි පාඩම් කරන්නේ. විදුලිය නොමැති නිසා රටේ ලෝකයේ සිදුවන තොරතුරු දැනගන්න ලැබෙන්නෙ නෑ. අපේ අම්මල තාත්තල ගොඩක් දුරක් පයින් ගිහින් තමයි ජලය රැගෙන එන්නෙ.

එච්.පී. අමිල සම්පත්, අපි මෙහෙට ගෙනත් දැම්මට අපට කිසිදු පහසුකමක් නෑ. දැනට නිවාස 36ක් විතර හදලා තිබෙනවා. ඒවයේ ටික දෙනෙක් පමණයි දැනට පදිංචිව ඉන්නේ. අපි බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. අපි මෙහෙම හිටපු මිනිස්සු නෙවෙයි. අපි මේ අපායකට ගෙනත් දමලා තියෙන්නෙ. බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියපු වාර නම් අනන්තයි. අපි සතියකට සැරයක් ගිහින් මේ අපි විඳින දුක කියනවා. ඒත් වැඩක් නෑ. 2016 මැයි මාසයේ සිට මේ දක්වා දුකම තමයි විඳින්නෙ. අවුරුද්දකට වැඩි කාලයක් මේ ළමයි එක්ක කූඩාරම් තුළ සිටියා.

මට දුක අපි ගැන නෙවෙයි මේ ළමයි ගැන. අපි මේවට එනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සුරංගනා කතා ගොඩාක් කීවා. පිවිසුම් මාර්ගම 3ක් තියෙනවා කීවා. බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය නම් අපි දන්න කාලෙක මේ ලක්පාන ප්‍රදේශයට ආවෙ නෑ. මට හිතෙන විදියට ප්‍රාදේශීය ලේකම්වරිය මේ ඉඩම තියෙන්නෙ කොහෙද කියලවත් දන්නෙ නැතුව ඇති.

පූජ්‍ය සේරුවාවිල ධම්මාලෝක හිමි, මගේ දායකයෝ බොහෝ දෙනෙක් මේ ප්‍රදේශයට ඉඩම් ලැබිල ඇවිල්ල ඉන්නවා. මේ මිනිස්සු එන්න කලින් නිලධාරීන් මෙහි සියලු පහසුකම් ඇති බව පවසමින් එක්කරගෙන ඇවිත් තියෙන්නෙ.

මේ අය 2016 වර්ෂයේ මැයි මස නාය යෑම් හා අවදානම නිසා අවතැන් වූ අසරණ මිනිස්සු. ඒ එනකොට තියෙනවා කිව්ව ජලය, විදුලිය හා හරිහමන් පාරක් මෙහි නෑ. දැන් මේ අසරණ මිනිස්සු මෙහෙට ඇවිත් අවුරුද්දකට ළං වෙනවා. මේවා මූලික මිනිස් අයිතිවාසිකම්. මම රජයේ වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ මිනිසුන් අසරණභාවයෙන් මුදාගෙන ඔවුන්ට අවශ්‍ය විදුලිය, ජලය හා ගමන් කිරීමට සුදුසු මාර්ගයක් ඇතුළු මූලික මිනිස් අවශ්‍යතාවන් ටිකවත් හදල දෙන්න කියලා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon