පිච්චමල් විහාරයේ කෞතුකාගාරය ගරා වැටෙන ලකුණු

  👤  1267 readers have read this article !
Published by : MB WEB 2018-06-20 13:55:39

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

වටිනා කෞතුක භාණ්ඩ රැසක් තැන්පත් කර ඇති කුච්චවේලි පිච්ච මල් රජමහ විහාරයේ පිහිටි කෞතුකාගාරය ගරාවැටී විනාශයට යමින් පවතින බව පිච්චමල් රජමහ වෙහෙර වාසී පූජ්‍ය කැප්පෙටියාවේ අරණ විහාරි හිමියෝ පැවැසූහ.

කුච්චවේලි පුරාවිද්‍යා වැඩබිමින් සොයා ගන්නා ලද බොහෝ පුරාවස්තු මෙම ස්ථානයෙහි ස්ථාපිත කර ඇතත් ඒවා නිසි ලෙසට ආරක්ෂාකාරීව තබා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇති බව උන්වහන්සේ පවසති.

මේ ගොඩනැඟිල්ල කුච්චවේලි පැරැණි තානායමට අයත් එකක්. අසල බෝධියේ මුල් නිසා මෙහි බිත්ති දෙදරා පොළොව ඉරිතළා ගොසින් තිබෙනවා. වහලයේ සිවිලිම කඩා වැටිලා වැස්ස කාලෙට වැසි වතුරවලින් පුරාවස්තු සේදෙනවා. සුළඟ කාලෙට ජනේල්වලට ගසා තිබෙන මේ දිරා ගිය දැල්වලින් එන දුහුවිල්ලෙන් මේවා අපිරිසුදු වෙනවා. තවත් ටික දවසකින් මේ ස්ථානයේ වහලය කඩා වැටෙන්නට පුළුවන්. මේ ගැන මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් දන්වා තිබෙනවා. මේ වටිනා පුරාවස්තු ආරක්ෂා කර ගන්න වෙනත් ස්ථානයක මේවා ස්ථාපිත කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. නමුත් ඒ හැම එකක්ම බීරි අලින්ට වීණා වයනවා වගේ මේ අය තවමත් කෞතුකාගාරය රැකගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා නැහැ.

මෙම ස්ථානයෙහි පිහිටි වටිනා කෞතුක භාණ්ඩ අතර බුදු පිළිමයන්හි සිරස් කිහිපයක්, සිරස සහිත හිටි
පිළිමයක් සහ සිරස රහිත හිටි පිළිමයක්, හිඳි පිළිමයක්, සිරස අහිමි බෝසත් පිළිමයක්, කැටයම් සහිත සිරිපතුල් ගලක් මෙන්ම තවත් පුරාවස්තු රැසක් පවතී.

පිච්චමල් රජමහ වෙහෙරට පූජා කරන ලද ඉඩම් පිළිබඳව මෙන්ම ඒවා වෙනත් අයකු පරිහරණය කළහොත් ඉර හඳ පවතින තෙක් බල්ලන්, කපුටන් වී ඉපදෙන බවට සඳහන් විස්තරයක් ඇතුළත් ඉර, හඳ, බල්ලකු සහ කපුටකුගේ රුව සහිත තුන් පැත්තක ලියන ලද ටැම් ලිපියක්ද කෞතුකාගාර ඉදිරිපිට වේ.

සඟ සතු දේ පරිහරණය කළහොත් බල්ලන් කපුටන් වී ඉපදෙන බවට පැරැන්නන් කීවද එසේ ලියා ඇති ශිලා ලිපියක් මේ ප්‍රදේශයෙන් හමුවන්නේ මේ ස්ථානයෙන් බවත් මේ වටිනා ටැම් ලිපිය අව්වට, වැස්සට මෙන්ම ලවණ මුසු සුළඟටද මුහුණ දෙමින් විනාශයට යමින් පවතින බවද උන්වහන්සේ පවසති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon