වංගියගොඩ පාලම කැඩී අවුරුදු තුනක්

  👤  1538 readers have read this article !
Published by : MB WEB 2018-06-22 08:20:31

බොරලන්ද - සමන් නැදුන්ගමුව

වැලිමඩ මැතිවරණ කොට්ඨාසයේ බොරලන්ද වංගියගොඩ පාලම දැනට වර්ෂ තුනකට පමණ ඉහතදී කඩාවැටීම නිසා එම පාලම භාවිත කළ ප්‍රදේශවාසීන් රැසක් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව තිබේ.

බොරලන්ද වංගියගොඩ ගම්මානය හා අම්පිටිගොඩ ගම්මානය යා කරමින් වංගියගොඩ ඔය හරහා ඉදිකර තිබූ මෙම පාලම අධික වර්ෂාවත් සමඟ ඔයේ පැමිණි ජල ධාරාවට ඔරොත්තු නොදී කඩා ගෙන ගිය බවත් එතැන් පටන් මේ වන තෙක් කොතෙකුත් ඉල්ලීම් කළද මෙම ස්ථානයේ නව පාලමක් ඉදිකර දීමට බලධාරීන් කටයුතු නොකළ බවත් ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසියකු වන ටී. එම්. සනත් ප්‍රේමානන්ද මහතා.

මේ පාම කැඩිලා දැනට වර්ෂ තුනක් පමණ වෙනවා. අපි බලධාරීන්ගෙන් කොතෙක් ඉල්ලීම් කළත් මේ වන තෙක් බලධාරීන් ඒ ගැන ඇහැක් ඇරලා බැලුවේ නැහැ. අපි මේ ඔය හරහා යන්න විදිහක් නැති නිසා ලී කොටන් කිහිපයක් දාලා පොඩි පාලමක් තාවකාලිකව හදාගත්තා. එසේ පාලමක් අපි අපේ ගමන් පහසුවට හදා ගත්තත් එය ඉතා අවදානම්. සාදාගත් තාවකාලික පාලමේ ලී දැන් ගැලවිලා. වැස්ස දවස්වලට ලිස්සනවා. මේ වන විටත් කිහිප දෙනෙක් මේ පාලමෙන් ලිස්සලා ඔයට වැටිලා තුවාල ලබා තිබෙනවා. පාසල් ළමයි වංගියකුඹුර විද්‍යාලයටත් දහම් පාසලටත් යන්න භාවිත කරන්නේ මේ තාවකාලික පාලම, හරිම අවදානම් මේකේ ගමන් කරන එක. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ හැකි ඉක්මනින් මේ ස්ථානයේ නව පාලමක් ඉදිකර අපි විඳින දුෂ්කරතාවට විසඳුමක් ලබා දෙන ලෙසයි.
ප්‍රදේශවාසියකු වන ටී.එම්. රූපානන්ද මහතා,

මේ ප්‍රදේශයේ සිටින බොහෝ දෙනාගේ ජීවනෝපාය ගොවිතැනයි. අපි කුඹුරුවල නිපදවන කෘෂි අස්වනු වෙළෙඳපොළට ගෙන යෑමට භාවිත කරන්නේ මේ පාලම හරහා වැටී තිබෙන මාර්ගයයි. ප්‍රදේශයේ පවුල් හාරසියයක පමණ ජනතාවක් මේ පාලම භාවිත කරනවා. වර්ෂාව අධික දිනවල මේ ඔයේ විශාල ජල කඳක් ගලා එනවා. අපිට හිතන්නේ මේ පාලම හදන්න මුදල් නෑ නෙවෙයි. බලධාරීන්ට වුවමනාවක් නෑ කියලයි. රටේ ප්‍රධාන මාර්ගවල විශාල පාලම් හැදුවට වැඩක් නැහැ මේ වගේ ගම්මානවල දුප්පත් ජනතාවට සෘජුවම බලපාන මේ වගේ කුඩා පාලම් හදන්නේ නැතිව.

ප්‍රදේශවාසියකු වන ටී. එම්. ජයසිංහ මහතා.

වංගියගොඩ ගමත් අම්පිටිගොඩ ගමත් යා වෙන්නේ මේ වංගියගොඩ පාලම මඟින් මේ පාලම නැති වුණොත් වංගියගොඩ ගමේ ජනතාව බොරලන්ද නගරයට යෑමට විශාල දුරක් යන් ඕනි. අම්පිටිගොඩ ප්‍රදේශයේ ජනතාවට වංගියගොඩ හරහා වැලිමඩ - බොරලන්ද මාර්ගය හරහා කැප්පේටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට යෑමටත් වංගියකුඹුර ප්‍රදේශයට යෑමටත් දුෂ්කරතාවට පත් වෙනවා මේ පාලමේ අබලන් තත්ත්වය නිසා. පාසල් ළමයින් මේ පාලම මතින් දෛනිකව ගමන් කරනවා. ඒක හරිම භයානකයි. වර්ෂා දිනවල පාලමේ ලී ලිස්සනවා. අපේ දුක කාටවත් පේන්නේ නැහැ. මේ පාලම අබලන් නිසා අපේ කෘෂි නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන යෑමට ප්‍රධාන මාර්ගයට ගෙන යෑමේදී දුෂ්කරතාවට පත් වෙනවා. කුලී කම්කරුවන්හට විශාල මුලක් දීලා කෙටි මාර්ගය පාලම හරහා වැටී තිබුණත් ඒ හරහා නොගොස් විශාල දුරක් ගෙවා ප්‍රධාන මාර්ගයට යන්න වෙලා. අපි ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ මේ ග්‍රාමීය ජනතාවගේ ජීවිතවලට සෘජුවම බලපා ඇති මෙම පාලමේ ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon