කලාකරුවන්ට දෙනවා කිව්ව බදු සහන ලැබුණද?

  👤  1876 readers have read this article !
Published by : MB WEB 2018-06-25 08:30:45

මේ දවස්වල ඔබ ඇතුළු කලාකරුවන් බදු දඩයමට එරෙහිව කතා කරනවා. මොකක්ද මේ කලාකරුවෝ හඬ නඟන බදු දඩයම?

2006 අංක 10 දරන බදු පනතේ ලබාදී තිබූ සියලුම සහනයන් 2017 අංක 24 දරන බදු පනතෙන් ඉවත් කර තිබෙනවා.
2006 අංක 10 දරන දේශීය ආදායම් පනතෙන් හඳුන්වා දුන් සහන සියල්ලම දැන් කපා හැර තිබෙනවා. නව පනතෙන් නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව, සාහිත්‍ය සංගීතය, නර්තනය, ප්‍රාසාංගික කලා ආදී සකලවිධ කලා සියල්ලෙහිම පැවැත්මට ඉතාම අහිතකර බදු පනවා තියෙනවා. වෘත්තීය කලාකරුවන් හා කාර්මික ශිල්පීන් ලබන ආදායම බද්දට යටත් කරලත් තියෙනවා. මේ කරුණු තුනම දැඩි ලෙස කලාකරුවන්ට, කලා ක්ෂේත්‍රයේ උන්නතියට බලපාන ආකාරයට තමයි බදු පනතින් යොදවා තිබෙන්නේ.

මේ බදු අය කර ගැනීම් නිර්මාණවලට බලපා තිබෙන්නේ කොහොමද?

ටෙලි නාට්‍යවලින් සියයට දහ හතරක බද්දක් රඳවා ගන්නවා. ඒ බද්ද රඳවා ගැනීමේදී සිදු වන්නේ මෙතෙක් නිර්මාණ කරපු නිර්මාණවලට තිබුණ ඉඩ ප්‍රස්තාව අහිමි වී යෑම. 1993දී මම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විකුම් සිය කතන්දර කෙටි කතා හතරකින් කොටස් 16ක නිර්මාණයක් කළා. ඒ කාලේ සිංගර් ආයතනය එක් ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් ගෙව්වා ඒ එක කොටසක් සඳහා. අද නිර්මාණයකට යන වියදම එදාට වඩා විශාල වශයෙන් වැඩි වී තිබෙනවා. එදා අපි ටෙලි නාට්‍යයක එක කොටසක් රූගත කරන්න දවස් තුනක්, හතරක්, පහක් ගත කළා. සාමාන්‍ය සරල ටෙලි නාට්‍යයක් කරන්නත් දවස් තුනක විතර කාලයක් ගත්තා. ඒකෙන් හොඳ නිරවුල් නිර්මාණශීලී දේවල් ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් වුණා. නමුත් එදා එක දවසට කොටසක් රූගත කිරීම වර්තමානයේදී නම් කොටස් දෙක තුන කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. අද ටෙලි නාට්‍ය නෙමෙයි ටෙලි නාට්‍ය නමින් හඳුන්වන වෙනත් කාරණාවක් බලන්නේ. ඒ අතරතුර හොඳ නාට්‍යයක් නිර්මාණය නොවනවා නෙමෙයි. අද වැඩි වශයෙන් මෙය ව්‍යාපාර කටයුත්තක් වෙලා.
මේ බදු ක්‍රමවේදයේදී නිෂ්පාදකවරයෙක්ට ලක්ෂයක මුදලක් ලැබෙන නිර්මාණයක දැන් හම්බෙන්නේ රුපියල් අසූහය දහසයි. දාහතර දාහක් කපනවා. ඒක කපපු ගමන් කරන්නේ ඒ දහහතර දාහත් නිෂ්පාදකවරයා අඩු කරනවා. එයින් වෙන්නේ නිර්මාණයක යම් කිසි තත්ත්වයක් තිබුණානම් ඒ තත්ත්වයත් නැතිවී යෑම. මෙයින් වෙන්නේ ප්‍රේක්ෂකයා තව තවත් පිරිහීම.

වර්තමානයේ නිර්මාණයකට ගෙවන මුදලත් අඩුවෙලා. ඒ තත්ත්වය මත මේ කාරණාව තව තවත් ප්‍රබල වෙනවා නේද?

අද ටෙලි නාට්‍යයක් සඳහා ලක්ෂයක්, එකහමාරක්, ලක්ෂ දෙකක් වගේ තමයි ගෙවන්නේ. ඉතාම කලාතුරකින් ඊට වඩා මිලකට යනවා. නමුත් සාමාන්‍ය මිනුම් දණ්ඩ බවට පත්වී තිබෙන්නේ ලක්ෂය සහ ලක්ෂ දෙක කියන මුදලක් තුළ ටෙලි නාට්‍ය දෝලනය වීම. සියයට දෙතුන් සියයකින් සියලු දේවල්වල මිල වැඩි වී තිබියදී ටෙලි නාට්‍ය කියන කාරණාව කොහොමද මිල අඩු වෙන්නේ. එතකොට වෙන්නේ මේ නිර්මාණවල ගුණාත්මකභාවය නැතිව දවසට කරන්න පුළුවන් උපරිම කොටස් ප්‍රමාණයක් කරන්න උත්සාහ කරනවා. නාළිකා ටෙලි නාට්‍යකට ගෙවන මුදල අඩු කරනවා. අද දැන්වීම් ගොඩක් බලද්දී ටෙලි නාට්‍යයක කොටසක් බලන තත්ත්වය ඇවිත්. ටෙලි නාට්‍යය යන ගුවන් කාලයෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ වෙළෙඳ දැන්වීම්. වෙළෙඳ දැන්වීම්වලින් නාළිකා විශාල මුදලක් හොයනවා. නමුත් නිර්මාණකරුවාට ගෙවන්නේ අවම මුදලක්.

ඔබලාගේ ඉල්ලීම වෙන්නේ කලින් තිබූ බදු සහන ලබා දෙන්න කියලා විතරමද?

අපි ඉල්ලීම් දෙකක් කරනවා. වර්තමානයේ ඇති කර තිබෙන බදු ප්‍රතිපත්තිය සහ 2017 අංක 24 දරන පනතෙන් අවලංගු වුණ කලින් තිබුණ බදු සහන නැවත ලබාදෙන්න කියලා අපි ඉල්ලන්නේ. කලින් විශාල බදු සහන ප්‍රමාණයක් තිබ්බා. අපි ඒවා නැවත ඉල්ලන්නේ. මොකද ඒවායෙන් නිර්මාණකරුවන් දිරිමත් වුණා. වර්තමානයේ ගෙනත් තිබෙන ක්‍රමවේදය ඉවත් කරන්න කියලා තමයි අපි කියන්නේ.
යම්කිසි රංගන ශිල්පියෙක් කාර්මික ශිල්පියෙක් හෝ නිර්මාණ ශිල්පියෙක් හෝ රුපියල් පනස්දාහකට වැඩි ආදායමක් මාසිකව ලබනවා නම් ඔවුන්ගෙන් 5%ක් අය කර ගන්නවා. අපි බදු ගන්න එකට විරුද්ධ නැහැ. නිෂ්පාදන ආයතනයකට වගේ බද්දක් ගෙවන්න පුළුවන්. එකම නිර්මාණයකදී වක්‍රව එක් එක් අයගෙන් බදු ගන්නවා. නිෂ්පාදනයේදී කෙළින්ම 14%ක් ගන්නවා. අධ්‍යක්ෂවරයෙක් ලෙස යම් මුදලක් අරගෙන තිබේ නම් ඔහුගෙනුත් බදු අය කරනවා. රංගන ශිල්පීන්ගෙනුත් බදු අය කරනවා. මේ ක්‍රමවේදයෙන් වක්‍ර සහ සෘජු ලෙස එක නිර්මාණයක් වෙනුවෙන් විවිධ අවස්ථාවලදී බදු අය කර ගන්නවා.

කලා ක්ෂේත්‍රයේ ඉන්න අයට පෙන්ෂන් නෑ. රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියා කරන අයට වගේ ලැබෙන්නට දීමනා නැහැ. මොවුන් යම් මුදලක් හම්බ කරලා ඉතිරි කරගත්තොත් තමයි ජීවිතේ අවසාන කාලයේ ජීවත් වෙන්න යම් මුදලක් තියාගන්න පුළුවන් වෙන්නේ. කලාකරුවෝ අහිංසක විදියට මේ ලබන මුදල කප්පාදු කිරීම වැරැදියි. නිර්මාණකරුවන්ට සමහර විට වසරකට ලැබෙන්නේ එක වැඩක් විතරක් වෙන්න පුළුවන්. ඒ නිසා බදු අයකර ගන්න විධිය ඉතාම අසාධාරණයි. මේ තුළ හරවත් විධිමත් ක්‍රමවේදයක් ඇති කරන්න කියලයි අපි ඉල්ලන්නේ.

ආණ්ඩුව කලාකරුවන්ට බදු සහන ලබාදෙන බවට ප්‍රකාශ කළා. එයින් ඔබලා බලාපොරොත්තු වෙන සහනය ලැබුණේ නැද්ද?

පසුගිය 6දා ජනාධිපතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලා මුදල් ඇමැතිවරයාට උපදේශයක් දුන්නා මේ බදු ඉවත් කරන්න කියලා. මෙහිදී වුණේ වංචනික රංගනයක්. මාධ්‍ය සන්දර්ශනයක් තමයි එතැන කළේ. 2017 අංක 24 දරන පනතේ ඉතාම පැහැදිලිව හඳුන්වාදී තිබෙනවා යම් කිසි නිර්මාණයක් එනම්, චිත්‍රපටයක් නම් ප්‍රදර්ශන අයිතිය, ටෙලිනාට්‍යයක් නම් විකාශන අයිතිය, පොතක් නම් ප්‍රකාශන අයිතිය සම්පූර්ණයෙන් අදාළ ආයතනය වෙත ලැබෙන්න ඕන. ලැබුණම බද්දෙන් නිදහස් කියලා. ටෙලි නාට්‍යයක් ගත්තොත් අපි යම් කාලයකට ප්‍රදර්ශන අයිතිය නාළිකාවකට ලබාදෙනවා. ඒ අදාළ කාලසීමාවෙන් පස්සේ නැවතත් ඒ නිර්මාණය නිෂ්පාදකවරයාට අයිති වෙනවා. ඔහුට හෝ ඇයට පුළුවන් නැවත වතාවක් මේ නිර්මාණය විකාශය කරගන්න. වෙනත් විද්‍යුත් නාළිකාවලට දීමේ හැකියාවත් තියෙනවා. ච්ඍච් වගේ දේවල් කරන්නත් පුළුවන්. මේ මොන ආකාරයෙන් හෝ තමන්ට තිබුණ වස්තුවක් තමයි මේ නොමිලේ දෙන්න කියන කාරණාවට යන්නේ. එහෙම නොමිලේ දුන්නට කමක් නැහැ, ඒකට හරි මුදලක් ලැබෙනවා නම්.අපි හැමදාම කතා කළේ රඳවා ගැනීමේ බද්ද නිදහස් කරන්න කියලා. ආණ්ඩුව කියනවා නිදහස් කියලා. නමුත් එය අහෝසි වෙලා නැහැ. මෙයින් සිදුවෙන්නේ නිෂ්පාදකවරු කබලෙන් ළිපට වැටීමක්. අදාළ ආයතනයට තමන්ගේ නිර්මාණය සම්පූර්ණයෙන් පැවරුවොත් තමයි මේ බදු සහනය ලැබෙන්නේ. එහෙම දෙයක් මෙතෙක් තිබුණේ නැහැ.

ජනාධිපතිතුමාට හෝ මුදල් ඇමැතිතුමාට හෝ වාචිකව මෙය නවත්වනවා කියන්න බෑ. මේක ඉතාම බලගතු පනතක්. මේ පනත වෙනස් කරනවා නම් නැවත පාර්ලිමේන්තුවට ගිහින් සංශෝධනය කර පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තමයි නැවතත් මේ බදු සංශෝධනය කරන්න පුළුවන් වෙන්නේ. එදා කළේ ව්‍යාජ රංගනයක්.

මේ ගෙනයන ක්‍රියාදාමයට කලාකරුවන් බොහෝ දෙනාගේ සහාය ඔබට ලැබෙනවාද?

බහුතරයක සහාය ලැබෙනවා. අපි තිබ්බ මාධ්‍ය සාකච්ඡාවට විවිධ දේශපාලන මත දරන කලාකරුවන් එකතු වුණා. වර්තමාන ආණ්ඩුව බලයට පත් කළ සිවිල් සංවිධාන සියල්ලකම පාහේ ප්‍රමුඛ චරිත ලෙස කැපී පෙනුණේ කලාකරුවන්. කලාකරුවන්ගේ පූර්ණ සහයෝගයෙන් බලයට පැමිණි ආණ්ඩුවට කලාව සහ කලාකරුවන් කෙරෙහි සුවිශේෂී වගකීමක් තිබෙනවා කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කලාකරුවන්ගේ උර මතින් බලයට පැමිණි ආණ්ඩුව අද කලාකරුවන්ගේ ගෙලට සහ කලාවේ හිසට පය තියලා තියෙනවා.

මේ කාරණාවට තිතක් නොතිබ්බොත් මේ කලාකරුවෝ එක තැනකට එක් රැස්කර අපි එළියට බහිනවා. දේශපාලනික කාරණාවකින් තොරව සියලු කලාකරුවන් මෙයට එකතු වෙයි. කලාකරුවා එළියට බැස්සොත් මේක හිතන තරම් සුළුපටු වෙන්නේ නැහැ.
පසුගිය දවසක එක්තරා නාළිකාවක් ඔබව විවේචනයට ලක් කළා. මේ විවේචන ගැන ඔබටත් අදහසක් ඇති.

එක්තරා නාළිකාවක් ප්‍රවෘත්ති විකාශයෙන් පස්සේ බදු ක්‍රමවේදය ගැන පළ කළ ලිපියක් ගෙන විවරණයක් කරමින් කියනවා සුදත් රෝහණ නිදහස් කලා සන්ධානය නමින් පෙට්ටි කඩයක් දාගෙන ව්‍යාජ රංගනයක යෙදෙනවා කියලා. මගේ ඡායාරූප දිගින් දිගටම පෙන්වමින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින් සුදත් රෝහණ කියන්නේ විමල් වීරවංශ යටතේ නිවෙසක් අරගෙන, ඒ නඩුවේ 13 වැනි චූදිතයා කියලත්. එදා හිටපු සුදත් රෝහණත් අද ඉන්න සුදත් රෝහණත් අතර කිසිම වෙනසක් නෑ කියලත් ඔවුන් කියනවා. මා පිළිබඳ කියූ ඒ කරුණු පිළිබඳ කිසිදු ගැටලුවක් නෑ. නමුත් මම කියන්නේ ඒ අදාළ නාළිකාවට, මාව හඳුන්වා දීමට ඇති එකම කාරණාව නිවෙස සම්බන්ධ කාරණාවද?

එතකොට ඔබට නඟන චෝදනා ඔබ පිළිගන්නවාද?

නිවෙස සම්බන්ධ කාරණාවේදී මම වැරැද්දක් කර තිබෙනවා නම්, ඒකට නීතිමය කාරණාවක් කරන්න පුළුවන්නේ. චූදිතයෙක් කියන්නේ වැරැදිකරුවෙක් නොවෙයිනේ.
මම නීත්‍යනුකූලව අනෙක් නිවෙස් හිමියන් නිවාස ගත්ත ආකාරයට, නිවෙසකට මුදල් ගෙවලා අරගෙන තිබෙනවා.
යම් යම් දේශපාලන කාරණා එක්ක මට මඩ ගැසීම සඳහා මේ කාරණාව පාවිච්චි කරනවා. හැබැයි ඒක පාවිච්චි කරන්න ඕනේ නෑ. මම වැරැද්දක් කරලා තියෙනවා නම් අවශ්‍ය දේවල් කරන්න පුළුවන්නේ. නමුත් මෙහෙම චෝදනා කරන නාළිකවම පසුගිය නොවැම්බර් 27 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණු මගේ උපහාර උළෙල සහිත වැඩසටහන දෙවරක් ප්‍රචාරය කළා. මම ඔය කියන විදියේ පුද්ගලයෙක් නම් ඒ නාළිකාව ඇයි එවැනි දෙයක් කරන්නේ. එහෙම ප්‍රචාරය කරන්නේ මම සමාජීය වශයෙන් කලාව වෙනුවෙන් යම් මෙහෙවරක් කළා කියල සාක්ෂියක් වන නිසානේ. ඒ නාළිකාව මගේ නිර්මාණ සඳහා පමණක් සම්මාන අසූවකට වඩා අරගෙන තියෙනවා.එතකොට මාව ඒ නාළිකාවට ගෙනැත් ප්‍රශස්ත ලෙස මාව අගය කළා. ඒ මාවම අද ඔවුන් හොරෙක්, වංචාකාරයෙක්, දූෂණ නඩුවක විත්තිකාරයෙක් ලෙස පෙන්වා දීලා තිබෙනවා. ඒක මහ පරස්පරයි.

ඔබ අලුත් නිර්මාණ කටයුත්තකට
අත ගහන්නේ නැද්ද?

නිර්මාණකරුවෙක් වශයෙන් මට නිර්මාණ කරන්න පුළුවන් මේ කාල වකවානුව නිකන් ක්‍ෂය වී යෑම ගැන මට තියෙන්නේ කනගාටුවක්. 2013, 2014 කාල වකවානුවේ තමයි මම "ගිරිකුළ" නාට්‍ය කළේ. ඒක 2015දී විකාශය කරලා ඒක වසරේ විශිෂ්ටම ටෙලි නාට්‍ය බවටත් පත්වුණා. එදා ඉඳන් අද දක්වා නිර්මාණ කටයුත්තක යෙදෙන්න වෙලා නැහැ. අවර ගණයේ රැල්ලක් හිස ඔසවනවා. අනෙක් පැත්තෙන් විදේශීය නාට්‍යවලින් ගුවන් කාලය පුරවනවා. ඉතාම අවම මිලක් නාට්‍යවලට ගෙවද්දී මට ඒ මිලත් එක්ක ගනුදෙනු කරන්න බෑ. මට බෑ ප්‍රේක්ෂකයාව ගොනාට අන්දවන්න. මම එදා නිර්මාණයක් කළෙත් වසර දෙකකට සැරයක්. මම නිර්මාණයක් කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. නමුත් ඒකට යන පිරිවැය මේ පවතින වාතාවරණය තුළ දරන්න බෑ. ඉතාම අවම මුදලක් නාළිකාවලින් ගෙවන්නේ. අවම මිලට යටත් වෙලා නිර්මාණයක් කළොත් එයින් මට සැබෑ නිර්මාණයක් කරන්න බෑ. මම ක්ෂේත්‍රයට යුතුකමක්, වගකීමක් ඉෂ්ට කළා කියන හැඟීම තියෙනවා. ඒ වගකීම මට තවදුරටත් ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා මම ප්‍රේක්ෂකයන්ව ගොනාට අන්දන, රසිකත්වය පිරිහෙන වැඩ කරන්න කැමැති නැහැ. ඒ නිසා අකැමැත්තෙන් වුණත් නිහඬව ඉන්නවා යහපත් වාතාවරණයක් එළැඹෙන තුරු.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon