රංගනයට ආරාධනා නොලැබුණත් සේනක ඉලක්ක වෙත යන ගමන

  👤  1928 readers have read this article !
Published by : MB WEB 2018-06-27 09:00:07

මේ දවස්වල ඔබ අධ්‍යක්ෂණ කාර්යයට වැඩි බර තියලා නේද..?

ඔව්. මේ දවස්වල "සද්ධා" කියන මගේ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම් කරනවා. මගේ අනෙක් චිත්‍රපටවල වැඩ කටයුතු කිහිපයකුත් මේ දවස්වල කරගෙන යනවා. සද්ධා චිත්‍රපටයේ තිරපිටපත ලියන්නේ චාමර ප්‍රසන්න. එය නිෂ්පාදනය කරන්නේ රසික ශාලින්ද රත්නායක සහ සතාසිවම් සුදාගර්.

සද්ධා චිත්‍රපටය වෙනස් හැඩයක නිර්මාණයක්?

ලංකා ඉතිහාසයේ පළමු වතාවට කළ කුංෆු චිත්‍රපටය තමයි සද්ධා කියන්නේ. චීනයේ ෂාඕලිං ආරාමයේ ඩු ෂියැංපින්ග් කියන ගුරුවරයා මේ චිත්‍රපටයේ රඟපානවා. චීන ජාතික සටන්කරුවෙක් පළමු වතාවට තමයි ලංකාවේ චිත්‍රපටයක රඟපාන්නේ. ඒකත් විශේෂත්වයක්. මාෂල් ආට් චිත්‍රපටයක් කිරීමේ හීනයක් මට තිබ්බා. ඒ හීනය තමයි මම හැබෑ කරගත්තේ.

හීනය හැබෑ කරගන්න වගේම සිනමාවේ ලකුණක් තියන්නත් වුවමනා වෙන්න ඇති?

හීනය හැබෑ කරගන්න වගේම ලකුණක් තියන්නත් වුවමනාව තිබ්බා. කාටවත් මේ චිත්‍රපටයට අභියෝග කරන්න බෑ. මොකද ලංකාවේ මීට කලින් මේ වගේ චිත්‍රපටයක් හැදිලා නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙය සිනමාවේ ලකුණක් වෙයි.

ඔබ රංගනයට සම්බන්ධ වෙන්නේ ඔබේ නිර්මාණවලට විතරද?

අනෙක් නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට අනෙක් අය ආරාධනා කරන්න ඕනනේ.

ආරාධනා අඩුවෙන්න ඔබ වරද්දා ගත්තේ කොතැනද..?

මම වරද්ද ගත්තේ නෑ. නමුත් මම 2007දී මාධ්‍යවලට විශේෂ ප්‍රකාශයක් කරමින් කිව්වා "ලංකාවේ මෙගා නාට්‍ය ළමා පරපුර විනාශ කරනවා" කියලා. එතකොට මාව මෙගා නාට්‍යවලින් ගත්තේ නෑ. මෙගා නාට්‍යවලින් මාව ප්‍රතික්ෂේප වෙද්දී හොඳ නාට්‍යවලින් මාව ගන්න තිබ්බා. ඒත් එහෙම ආරාධනා මට ලැබුණෙත් නැහැ.

ඔබ කාලයක් හිටියේ විදේශගතව. ඒ නිසා ඔබව අධ්‍යක්ෂවරුන්ට මඟහැරුණා වෙන්න බැරිද..?

මම ලංකාවෙන් ගියේ 2014දී. නමුත් 2007 ඉඳන්ම මටටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණේ නෑ. මම විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආවට පස්සෙත් පුවත්පත්වල ලිපි පළ වුණා. ඒත් මට ආරාධනා ලැබුණේ නෑ.

ඔබ වෙනත් අධ්‍යක්ෂවරයන්ගේ නිර්මාණවලට සම්බන්ධ වුණේම නැද්ද..?

නිර්මාල් රාජපක්ෂ කියන අධ්‍යක්ෂවරයාගේ මාරාන්තික සර්පයා සහ යෝධයන්ගේ අඩවිය කියන චිත්‍රපට දෙකට සම්බන්ධ වුණා. නිර්මාල් මගේ මිතුරෙක්. ඉතිං ඔහු මට ඒ නිර්මාණවලට ආරාධනා කළා. නමුත් වෙන අධ්‍යක්ෂවරු නම් මාව නිර්මාණවලට සම්බන්ධ කරගන්න කතා කළේ නැහැ.

වෙනත් අධ්‍යක්ෂවරුන්ගෙන් ආරාධනා ආවොත් ඒ ආරාධනා භාරගන්න පසුබට වෙන්නේ නැද්ද..?

රඟපෑම මම ආසම දේ. මම ඕන කෙනෙක් කරන නිර්මාණයකට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා. සටන් අධ්‍යක්ෂවරයෙක් විදියට මාව යම් නිර්මාණයකට අවශ්‍ය නම් මම ඊට දායකත්වය දෙන්නත් කැමැතියි.

රංගනයට ආරාධනා නොලැබෙන නිසාද අධ්‍යක්ෂණයට වැඩි බර තිබ්බේ...?

2000 වර්ෂය කියන්නේ මට හොඳටම ආරාධනා ලැබුණු කාල වකවානුවක්. "සිහින තොටුපළක්" නාට්‍ය මම අධ්‍යක්ෂණය කරන්නේ ඒ කාලේ. දැන් වුණත් රංගනයට ආරාධනා නැති නිසා නෙවෙයි මම අධ්‍යක්ෂණයට එකතු වුණේ. මගේ සිහිනයන් බොහෝමයක් තියෙනවා. ඒ සිහින තමයි මේ හැබෑ කරගන්නේ. මේඝ, ආදරණීය අමන්දා, දවාග්නි, චිත්‍රපට මම නිර්මාණය කරලා තියෙනවා. හතරවැනි චිත්‍රපටය තමයි මේ දවස්වල නිර්මාණය කරන්නේ.

තාමත් ඔබ අධ්‍යක්ෂණය කළ ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට ගේන්න බැරි වුණා නේද..?

ඔව්. තාම ප්‍රේක්ෂකයන් අතරට ගේන්න බැරි වුණා. නමුත් මගේ ළග ඒ සඳහා වැඩපිළිවෙළක් තියෙනවා. චිත්‍රපට ප්‍රදර්ශකයන් එක්ක මම කතා කරපු අවස්ථාවක ඔවුන් මගෙන් ඇහුවා දැන් සේනක චිත්‍රපට තුන හතරක් හදලා තියෙන්නේ. කොහොමද පෙන්න ගන්නේ කියලා. දැනටම ෆිල්ම් සියයක් විතර පෙන්න ගන්න බැරුව හිරවෙලා තියෙන්නේ කියලා. නමුත් ඔවුන් කිව්වා ඒ චිත්‍රපට පෙන්වන්න තරම් සුදුසු නෑ කියලත්. මම හදන්නේ පෙන්වන්න බැරි චිත්‍රපට නෙමෙයි පෙන්වන්න පුළුවන් චිත්‍රපට. ජාත්‍යන්තරය සමඟ තරග කරන්න පුළුවන් හොඳ නිර්මාණ හැදුවොත් බය වෙන්න දෙයක් නෑ.

සේනක විජේසිංහ කියන රංගන ශිල්පියාට කැපිලි ඇවිත් තියෙද්දී සේනක විජේසිංහ කියන අධ්‍යක්ෂවරයාට කැපිලි නොඑයි කියලා විශ්වාසද..?

ලංකාවේ ඕනම ක්ෂේත්‍රයක ඉහළින්ම තියෙන දෙයක් තමයි කුහකකම. මගේ චිත්‍රපට හොඳ වුණත් අනෙක් අයගේ කුහකකම එළියට ආවොත් ඒ සියලු බාධක කඩාගෙන මම යනවා. මම කටින් සැරවුණාට ක්ෂේත්‍රයේ කා එක්කවත් ප්‍රශ්න ඇති කරගත්ත කෙනෙක් නෙවෙයි. මට ඉදිරියට යන්නම දුන්නේ නැත්තම් මං ඇතුළේ ඉන්න කෙනා එළියට එයි.අලුතින් චිත්‍රපට හදන විශාල පිරිසක් ඉන්නවා. දැන් තිබෙන මාෆියාවන් ඔවුන්ට බලපාලා තියෙනවා. අපි හැමෝම ඒ මාෆියාවට එරෙහිව හිටගන්න තරම් ශක්තිමත්ව ඉන්නේ.

ඊළග හීනය..?

මට ඊළඟට තියෙන ලොකුම හීනය තමයි සම්මානලාභී චිත්‍රපටයක් නිර්මාණය කිරීම. ඒක ළමා චිත්‍රපටයක්. වැඩිම පරිවර්තනයට ලක් කළ "හරි පුදුම ඉස්කෝලේ" කියන කෘතියෙන් තමයි මම මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. පුෂ්පකුමාර එල්ලාවල තමයි එහි තිරපිටපත ලියන්නේ. මේ කෘතිය ලියපු ජපන් ලේඛිකාව තාමත් ඉන්නවා. මම ඒ චිත්‍රපටය ජපන් භාෂාවට පරිවර්තනය කර ජපානයේ පෙන්වීමටත් කටයුතු කරන්න සූදානමින් ඉන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon