ශයියගේ තාත්තා වෙන්න කලින් දසුන් තාත්තා කෙනෙක් වෙලා කතාව එළියට එන්නේ දැන්

  👤  2690 readers have read this article !
Published by : MB WEB 2018-06-29 11:03:28

දසුන් දැන් පුංචි තිරයෙත් තාත්තා කෙනෙක් වෙලා. මුලින්ම ඒ ගැන කියමු?

තාත්තා ටෙලිය කියන්නේ හැමෝටම දැනෙන නිර්මාණයක්. බොහෝ අයට දැනෙන චරිතයක් මම කළේ. ලලිත් රත්නායක අයියා තමයි මට මේ අවස්ථාව උදාකරලා දුන්නේ. මේ ටෙලි නාට්‍යයේ වැඩකරන්න ලැබීමත් මට ලැබුණු ලොකු අවස්ථාවක්.

සැබෑ ජීවිතේදී තාත්තා කෙනෙක් වෙන්න කලින් පුංචි තිරයේදී තාත්තා කෙනෙන් වෙලා දසුන්ට ලැබුණු අත්දැකීම කොයි වගේද?

මං සැබෑ ජීවිතේ තාත්තා කෙනෙක් වෙන්න හේතුවත් සිරිදාස කියන තාත්තාගේ චරිතයම තමයි. මටත් දරුවෙක් හදන්න ඕනි කියලා හිතුණේ මේ තාත්තාගේ චරිතය කළාට පස්සේ. මගෙ ශයියා දුව ඉපදෙන්න හේතුව මේ තාත්තා කිව්වොත් හරි. ඇත්තටම තාත්තා කෙනෙක් වුණාට පස්සේ මට හිතුණා මේ චරිතය තවත් හොඳට කරන්න තිබුණා කියලා.

වෙනස් වැඩක් නිසා දසුන් මේ චරිතය එක පයින් භාර ගත්තද?

මේ චරිතය ගැන ලලිත් අයියා කිව්වාට පස්සේ මම පැනලා භාරගත්තේ. මම මෙතෙක් කාලයක් කරපු චරිතවලින් වෙනස්ම චරිතය තමයි මේක. ඊට කලින් මම කළේ පෙම්වතාගේ චරිත, රස්තියාදුකාර චරිත විතරයි. මට හිතාගන්න බැරි වුණා ලලිත් අයියාට මාව තාත්තා කෙනෙක් විදියට පෙනුණේ කොහොමද කියලා. එක පයින් මේ චරිතය භාර ගත්තත් මට පොඩි බයක් තිබුණා. ඒ බය නැති කළේ ලලිත් අයියා තමයි. මේ චරිතය ගැන ලලිත් අයියා එක්ක කතා කරන කොට ඔහුගේ අදහස් එක්ක හිතුණා මේක කරන්න මට පුළුවන් කියලා. මගෙන් වෙන්න ඕන උපරිමය මම කළා. ඒ වගේම අධ්‍යක්ෂවරයාගේ හැකියාව නිසා මට ඒ දේ කරන්න පුළුවන් වුණා.

මේ වගේ චරිතයක් කරන පළමු අවස්ථාව මෙය. දසුන්ට එය අභියෝගයක්ද?

සැබෑ ජීවිතයේදී තාත්තා කෙනෙක් නොවී මේ චරිතය මම කරපු එක ගැන සතුටුයි. මේ චරිතයට අනුගත වෙන්න අවශ්‍ය මූලික දේවල් මට ලබලා දුන්නේ ලලිත් අයියා. ලලිත් අයියා ඒ චරිතයට මාව හොඳට පෝෂණය කළා. ඒ ටෙලි නාට්‍යයේ සිරිදාසව බිහි කළේ ඔහු. ලලිත් අයියා නොහිටින්න මට මේ චරිතය මේ තරම් සාර්ථකව කරන්න බැරි වෙයි.

පුංචි දරුවෙක් එක්ක මේ චරිත රංගන ගනුදෙනුව කරන්න දසුන්ට පහසු වුණාද?

තාත්තා ටෙලිනාට්‍යයේ මගේ පුතාට රඟපෑවේ ලලිත් අයියාගේ පුතා. දවස් දෙක තුනක් යනකම් ලලිත් අයියාගේ පුතා මට සමීප වුණේ නැහැ. මගෙ ගාවට ආවෙත් නැහැ. ඒත් ඊට පස්සේ අපි අතර ලොකු සම්බන්ධතාවක් ගොඩනැඟුණා. පුතා ගොඩක් මට සමීප වුණා. මගෙ ළඟටම ඇවිත් එකට කෑවා. නිදියගත්තෙත් මාත් එක්ක. ඊට පස්සේ තමයි ලලිත් අයියා මට කිව්වේ "ඔන්න දැන් වැඩේ හරි" කියලා. මම ඒ පොඩි එකාට ආදරේ කළේ නැත්නම් මට හරියට ඒ චරිතය කරන්න බැරි වෙනවා. රූගත කිරීම් ඉවර වෙලා එද්දී මට ගොඩක් දුක හිතුණා පොඩි එකාව දාලා එන්න. ඒවගේම ලලිත් අයියාව, අපේ සෙට් එකේ හැමෝම දාලා එන්න දුකයි. ඇත්තටම හදවතටම දැනුණා මේ චරිතය. ඒ වගේම මේ නාට්‍යය.

මේ චරිතයට ඔබේ පෙනුම අභියෝගයක් වුණේ නැද්ද?

මම කලිනුත් කිව්වා වගේ තාත්තා කෙනෙක් වගේ මාව ලලිත්ට පෙනුණේ කොහොමද කියන එක මට හිතා ගන්න බැරි වුණා. මගේ චරිතයට ගැළපෙන විදියට මාව හරියටම සූදානම් වුණා කියලා මට හිතෙනවා. වසන්ත පූර්ණවංශ තමයි අපේ මේකප් ආටිස්ට් වුණේ. ඔහු මගේ පෙනුම නියම විදියට තාත්තා කෙනෙක් විදියට හැඩගැන්වූවා. මට දැන් බලද්දී හිතාගන්න බැහැ ඒ මමමද කියලා. මම කොහොමත් එක වැඩක් කරලා ඉවර වෙලා තමයි වෙනත් චරිතයක් භාර ගන්නේ. චරිත ගොඩක් එක පාරම කරන්නේ නැහැ. ඒ නිසා මේ චරිතයට ගැළපෙන විදියට මගෙ පෙනුම පවත්වාගෙන ගියා.

මේ චරිතය නිසා දසුන්ගේ රංගන ධාරිතාව ගැන එක එක අදහස් පළ වෙනවා. ඔබටත් ඔබගේ හැකියාව ගැන තක්සේරුවක් තිබෙනවාද?

මං මට ලැබෙන චරිතය උපරිමයෙන් කරන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. ඒ හරහා මට චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්. ෆ්‍රැන්ජිපානි චිත්‍රපටයෙත් මම වෙනස්ම චරිතයක් කළා. ලංකාවේ වෙනසක් කරපු චරිතයක් ඒක. එදා ඒ චරිතය කරන්න එපා කියලා මට ගොඩක් දෙනා කිව්වා. නමුත් මම ඒක කළා. මම කැමැති වෙනස්ම චරිත කරන්න. ඒ හරහා මම හිතනවා මට රංගන ශිල්පියෙක් විදියට සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා.

මෙය හොඳම ගණයේ ටෙලි නාට්‍යයක් නිසා ඔබේ රංගනයට සම්මානනීය බලාපොරොත්තුවක් තියාගෙන ඇති නේද?

සම්මානයක් බලාපොරොත්තුවෙන් මම මේ චරිතය කළේ නැහැ. ලංකාවේ සම්මාන උළෙලවල් සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න තියෙනවා. නමුත් යම් කිසි සම්මානයක් ලැබෙන්නේ ඒ චරිතයට ඇගයීමක් විදියට. මම සම්මාන බලාපොරොත්තුවෙන් චරිත තෝරාගෙන කරන්නේ නැහැ කවදාවත්. නමුත් මට මේ චරිතයට සම්මානයක් ලැබුණොත් මම ගන්නවා.

මෙතෙක් කරපු කෙළිලොල් පෙම්වතාගෙන් ඔබ වෙනස් වුණා. දැන් ලැබෙන ප්‍රතිචාරත් වෙනස් ඇති නේද?

අම්මෝ ඔව්... ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. 'දස්සා.... මොකක්ද මචං, අපිට හිතා ගන්න බැහැ' කියලා සමහරු කියනවා. මගේ ඒ වෙනස් චරිතයට මිනිස්සු කැමැතියි. ඒ වෙනසට මගේ ප්‍රේක්ෂකයෝ පුදුම වෙලා. මටත් වෙලාවකට හිතාගන්න බැහැ මම එහෙම කළාද කියලා. මමත් පුදුම වෙනවා මගේ රඟපෑම් බලද්දී.

ඒ කියන්නේ මේ චරිතය බොහෝ දෙනෙක්ට දැනිලා කියන එක?

ඔව්. 'තාත්තාව' දැනෙන සියලු දෙනාටම ඒ චරිතය හදවතට ගොඩක් දැනෙයි. ඒක හැමෝටම බලන්න කියලා මම කියනවා. සිරිදාස කියන්නේ මාරම තාත්තා කෙනෙක්. සැබෑ ජීවිතයේදී සිරිදාස වගේ තාත්තා කෙනෙක් වෙන්න මටත් අමාරු වෙයි. මේ චරිතයට බැන්නත්, හොඳ කිව්වත් මං ඕනි දෙයක් භාර ගන්නවා. මේක බලන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලනවා.

ලංකාවේ ශිල්පීන් එකම වගේ චරිතවලට කොටු කරනවා. දසුන්ට ඉදිරියටත් මේ වගේම චරිතයක් ලැබුණොත් කරනවාද?

ආයෙත් ලැබුණොත් කරනවා. මම චරිත තෝරන්නේ නැහැ. හොඳයි කියලා හිතෙන ඕනෑම චරිතයක් මං කරනවා. කළු චරිතද, සුදු චරිතද කියලා බලන්නේ නැහැ. මම කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරනවා.

අලුත් නිර්මාණවලට දායක වුණාද?

ගජ මෑන් චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. ඒක තමයි ලංකාවේ පළමු 3ච් ෆිල්ම් එක. ඉස්සරහට තව චිත්‍රපටයකට දායක වෙන්න ඉන්නවා. ඒ වගේම මට දැනෙන ෆිල්ම් එකක් කරන්න ඕන අපේ උන් එක්ක.

උදයන්ති මුණසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon