අතුල පීරිස්ගේ ‘සහෘදයෝ’ රුසියාවෙ ඉහළම සම්මානය දිනයි

  👤  861 readers have read this article !
Published by : MB WEB 2018-07-06 16:34:31

පහුගිය දවසක ඔබගේ නිර්මාණයකට ජාත්‍යන්තර ඇගැයුමක් ලැබුණනේ ඒ ගැන මුලින්ම කියමු.

මගේ "සහෘදයෝ" කියන ඒකාංගික ටෙලි නාට්‍යය රුසියාවේ පැවැත්වුණු විසි වන ඩිටෙක්ටිව් (ච්ඥබඥජබඪමඥ) අන්තර්ජාතික සිනමා උළෙලේදී ඇගැයීමට ලක් වුණා. එහිදී විශේෂ සම්මානය මගේ නාට්‍යයට ලැබුණා. ඒ පසුගිය අප්‍රේල් 27 වැනිදා. රටවල් හැත්තෑ එකකින් නිර්මාණ හයසියයක් ඉදිරිපත් කරලා තිබුණා. එයින් ලංකාවේ මට තමයි සම්මානය ලැබුණේ. රංග බණ්ඩාරනායකට සහ ශිරාන් රත්නායකටත් ජූරියේ විශේෂ ඩිප්ලෝමා සහතික ලැබුණා. අනෝමා රාජකරුණාගේ නිර්මාණ දෙකකට විශේෂ සහතික ලැබුණා.

මේ සම්මානය විශේෂයි නේද?

ලංකාවේ රූපවාහිනි ඉතිහාසයේදී ටෙලි නාට්‍යයකට රුසියාවෙන් සම්මානයක් ලැබුණු පළමු අවස්ථාව මේක. සම්මාන උළෙල අවසානයේ ඔවුන් විශේෂ ප්‍රකාශයක් කළා. ඔවුන් කිව්වා 'මොස්කව් නගරයෙන් සම්මානයක් අරගෙන යනවා කියන්නේ ඒක ඉතාම වටිනා දෙයක්. මොස්කව් නගරයෙන් ලේසියෙන් අපි කාටවත් සම්මානයක් දෙන්නේ නෑ' කියලා.

මේ නිර්මාණයට පාදක කර ගත්තේ කුමන තේමාවක්ද?

ඒ නිර්මාණය කරන්න මම තෝරගත්තේ මානව සම්පත. ලෝකයේ ජීවත් වෙන්නේ එකම ජාතියයි. ඒ මිනිස් ජාතිය. ඒක තමයි මම නාට්‍යයෙන් කියන්නේ. මම සම්මානය ගත්ත අවස්ථාවෙත් ප්‍රකාශ කළා 'ලෝකයේ ජීවත් වෙන සියලුම මිනිස් ජාතිය වෙනුවෙන් මේ සම්මානය පුද කරනවා" කියලා. රටක් හැටියට සියලු දෙනා එකම ජාතියක් ලෙස ගොඩනැඟුණොත් විතරයි රටක යම්කිසි අනාගතයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අවුරුදු ගාණක් තිස්සේ අපේ රටේ පැවතුණු යුද්ධයක් නිසා සියලුම ජාතීන් දුක් වින්දා. යුද්ධය අවසන් වෙලා වසර ගණනාවක් ගෙවුණත් යුද්ධයට පාදක වුණු මූලික වස්තුබීජයට කඹ ඇදිල්ලක් පමණයි තියෙන්නේ. මම මේ නාට්‍ය තුළ කියන්නේ ඉදිරියටත් සියලුම ජාතීන් අතර ඒකීයභාවයක් ඇති කර ගන්න කියන එක.

මේ නිර්මාණයේ ඉන්න ශිල්පීන් ගැනත් කියමු?

මේ නාට්‍යයේ ප්‍රධාන චරිත දෙකයි තියෙන්නේ. ලක්මා වීරසේකර සහ නවබුජා රාධා කියන ද්‍රවිඩ නිළියත් රඟපෑවා. නිරෝෂන් විජේසිංහ, නිලූකා රේඛානි, බොනිපස් ජයශාන්ත මෙහි රංගනයට දායක වුණා.

ජාත්‍යන්තර සම්මානයක් දිනා ගත්ත ඔබේ නිර්මාණයට ලංකාවේ සම්මාන උළෙලවලින් ලැබුණේ කුඩම්මාගේ සැලකිලි නේද?

ලාංකික සම්මාන උළෙලවල මේ නාට්‍ය නිර්දේශ වුණේවත් නෑ. පහුගිය අවුරුදු දෙක තුනේම මම කලින් නිර්මාණ කළ නාට්‍ය ජාත්‍යන්තර සම්මාන සඳහා නිර්දේශ වුණා. නමුත් ඒ හැම වාරයකදීම ලංකාවේ කිසිදු සම්මාන උළෙලක ඒ නිර්මාණවලට කිසිදු ඇගැයීමක් ලැබුණේ නැහැ. ලංකාවේ විනිශ්චය මණ්ඩලවල ඉන්න අයගේ ප්‍රඥාවට ගැළපෙන නාට්‍යයක් ඉදිරියේදී කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ඔබ කලා ක්ෂේත්‍රයේ ආරම්භය තියන්නේ වේදිකාවෙන්. ඒ ආරම්භය ගැනත් කතා කරමු.

මම මුලින්ම ජාතික මට්ටමේ සම්මානයක් හිමි කර ගත්තේ 1979දී. ඒ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය උළෙලට මම ඉදිරිපත් කළ 'මේවැනි බිලින්දෝ' කියන නාට්‍ය වෙනුවෙන්. හොඳම රචනය, හොඳම දෙවැනි නිෂ්පාදනය, හොඳම සංගීතය ඇතුළු සම්මාන හයක් මට හම්බ වුණා. ඊට පස්සේ මම 1983 'ඒරොප්පේ ජූජකයෝ' කියන නාට්‍ය නිර්මාණය කළා. ඒක නවක රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවැනි වටයෙන් මම ඉවත් කර ගත්තා. ඒ වසරෙම සාහිත්‍ය සම්මාන උළෙලේදී එම නාට්‍ය පිටපතට විශේෂ සම්මානයක් ලැබුණා. 1985දී මම 'ශුද්ධ නගරය' නමින් නාට්‍යයක් නිර්මාණය කළා. එහි එක දර්ශනයයි ප්‍රදර්ශනය කරන්න ලැබුණේ. එය තහනම් කළා. ඒ වසරෙම සරුංගල් මාමා නමින් කෙටි නාට්‍යයක් කළා. ඒ නාට්‍ය වෙනුවෙනුත් කිහිප වාරයක්ම මාව රහස් පොලිසිය ප්‍රශ්න කරන්න අරගෙන ගියා.

ඔබේ නිර්මාණ තහනමකට ලක්වුණේ ඒ නිර්මාණවල තිබුණු දේශපාලනය නිසාද?

මගේ නිර්මාණවල දේශපාලන දර්ශනයක් තියෙනවා. නිර්මාණවල තියෙන්නේ පක්ෂ දේශපාලනය නෙවෙයි. මගේ හැම නිර්මාණයකින්ම ඒ දේශපාලන දර්ශනය කතා කරන්න උත්සාහ ගන්නවා. මට ඒ ආභාසය ලැබුණේ ප්‍රවීණ නාට්‍යකරු සුගතපාල සිල්වා මහත්මයාගෙන්. ඔහුගේ ඇසුර මට ගොඩක් ලැබුණා. ඔහු ඉතා සියුම් ලෙස දේශපාලනය ස්පර්ශ කළා. ඒ ආභාසය මට ලැබුණා. මගේ නාට්‍ය තහනම් කළෙත් ඒ නිර්මාණ තුළ ඒ දේශපාලනය තිබීම. මගේ තිබ්බ දේශපාලන දර්ශනයෙන් අදටත් මම මිදිලා නැහැ. ඒ භාවිතය තාමත් මට තියෙනවා.

ඊට පස්සෙත් ඔබ වේදිකා නාට්‍ය නිර්මාණය කළා?

ඔව්. 1986 සුබ සරණාගත නාට්‍ය නිර්මාණය කළා. ජාතික තරුණ සේවා නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය ඇතුළු සම්මාන එකොළහක් ලැබුණා. වේදිකාවේ කෙටි නාට්‍ය 28ක් නිර්මාණය කර තිබෙනවා. 1993දී මම නිර්මාණය කළා පස්මහ බැලුම් කියන නාට්‍ය. ඒකත් සම්පූර්ණයෙන්ම දේශපාලන නාට්‍යයක්. ඒ නාට්‍යයෙන් පස්සේ මහා ඊඩිපස් කියන නාට්‍ය නිර්මාණය කළා. ඒ නාට්‍ය පරිවර්තනය කළේ ආරියවංශ රණවීර මහත්මයා. එය සංගීතවත් කළේ පණ්ඩිත් අමරදේවයන්. අමරදේවයන් සංගීතය නිර්මාණය කළ ලංකාවේ එකම පරිවර්තන නාට්‍ය ඊඩිපස් නාට්‍ය. 1998 ඉඳන් මම මේ වන තුරු වේදිකා නාට්‍යයක් නිර්මාණය කළේ නැහැ.

ඇයි ඒ?

වේදිකා නාට්‍යයක් නිර්මාණය කර ගෙදර තියාගෙන ඉඳලා වැඩක් නැහැ. නාට්‍යයක් පෙන්වීම පිළිබඳ ගැටලු රාශියක් තියෙනවා. 1979 අපි නාට්‍ය කරද්දි තිබුණු ගැටලු අදටත් තියෙනවා. නාට්‍ය පුහුණුවීම් කරන්න නිශ්චිත ස්ථාන නැහැ. ප්‍රාදේශීය වශයෙන් නාට්‍ය පෙන්වන්න පුළුවන් විදියේ ශාලා නැහැ. නෙලුම් පොකුණ රංග ශාලාව නිර්මාණය කළාට එය ප්‍රදර්ශන භාණ්ඩයක් විතරයි. ඒක නාට්‍යකරුවන්ට හදපු එකක් නෙවෙයි. ඒ වගේම ප්‍රේක්ෂකාගාර අද ලාභ සිනා ලබාදෙන තැනක් බවට පත්වෙලා. ඒකේ වගකීම නිර්මාණකරුවොත් භාරගන්න ඕන. සමස්තයක් ලෙස කලාව තුළ රස¼ඥතාව කියන දේ පිරිහිච්ච යුගයක්. දැන් ඒ පිරිහුණු තත්ත්වයේ උච්චතම අවස්ථාවට ඇවිත් තියෙන්නේ.

නිර්මාණකරුවන්ට මේ වගකීම තනියම දරන්න බෑ. රාජ්‍ය අනුග්‍රහයත් මෙයට ලැබෙන්න ඕන. යම්කිසි දෙයක් අඩියටම වැටුණට පස්සේ එය ගොඩගන්න අමාරුයි. වේදිකා නාට්‍යයක් නිර්මාණය කරලා අපි මේක පෙන්වන්නේ කාටද?

නිර්මාණකරුවෙක් විදියට අද පවතින ටෙලි නාට්‍ය කලාව ගැන ඔබට අදහසක් ඇති?

අද ඕනේ මල් වෙඩි. අද ගොඩක් අයට අවශ්‍ය වෙලා තියෙන්නේ නිර්මාණ නෙවෙයි මල්වෙඩි. අද ටෙලි නාට්‍ය බලන කට්ටියටත් මුකුත් ඉතිරි වෙන්නේ නෑ. ටෙලි නාට්‍ය කලාවේ තියෙන ගැටලුව තමයි සියලුම නාළිකාවල විකාශය වන වැඩසටහන් තීරණය කරන්නේ බහුජාතික සමාගම්. ඒ වගේම අපි ප්‍රේක්ෂකයෝ ඉල්ලන ඒවා දෙන්න ඕනේ නෑ. මම නිර්මාණකරුවෙක් නම් මම මගේ නිර්මාණය ජනතාව අතරට යවනවා. ජනතාව එයට දක්වන ප්‍රතිචාරය අනුව තමයි මම ඊළඟ නිර්මාණයට යා යුතු වන්නේ. ජනතාව මගේ නිර්මාණය ප්‍රතික්ෂේප කළොත් මම ඒකට හේතුව බලන්න ඕනෑ. මගේ නිර්මාණය උසස් මට්ටමක තිබිලත් ජනතාව එය ප්‍රතිකේෂ්ප කළා නම් මම දැනගන්න ඕනෑ මගේ නිර්මාණය රසවිඳීමට තරම් ජනතාව උසස් මානසික මට්ටමක නෑ කියලා. නමුත් අද වෙලා තියෙන්නේ වෙළෙඳ ආයතන කිව්වොත් නිර්මාණය හොඳ නෑ කියලා අපට ඒක නොකර ඉන්න වෙනවා. විකිණීමේ අවශ්‍යතාවට තමයි බොහෝ නිර්මාණ කරන්නේ.

ඔබ එවැනි ඉල්ලීම්වලට යටත් වුණු කෙනෙක්ද?

මගේ නිර්මාණයේදී මට අදාළ ජනතාව විතරයි. කවදාහරි දවසක ජනතාව මාව ප්‍රතික්ෂේප කළොත් එදාට මම නිර්මාණ කිරීම නවත්තනවා. ආනන්දයෙන් ප්‍රඥාව කියන දෙයට මම ගරු කරනවා. මම පහත් මට්ටමකට වැටුණොත් ඒක මම ආභාසය ලබපු වැඩිහිටි නිර්මාණකරුවන්ට කරන අපරාධයක්. අපි වපුරන්නේ ඔවුන්ගෙන් ලබාගත්ත දේවල්
විකිණීමේ කලාව අවශ්‍ය වෙන්නේ නැද්ද?

වාණිජ දේවල් සම්පූර්ණයෙන්ම නැති කරන්න කියලා නෙවෙයි මම කියන්නේ. මේ හැම දෙයක්ම සමබරව තියා ගන්න ඕනෑ. රූපවාහිනි නාළිකාවක් කියන්නේ පොඩි දරුවාගේ සිට මහල්ලා දක්වා එකට නරඹන දෙයක්. ඒ නිසා එහි මූලික තැනක් අධ්‍යාපනයට දිය යුතුයි. හරිම ප්‍රවේශමෙන් කළ යුතු කාර්යභාරයක් තමයි රූපවාහිනි වැඩසටහන්. රූපවාහිනි නාලිකා යම් යම් අය භාවිත කිරීම තුළත් අවර ගණයේ නිර්මාණ හරහාත් රසඥතාව දුර්වල වෙලා තියෙනවා. අද ටෙලි නාට්‍ය කලාව පහත්ම මට්ටමකට වැටිලා තියෙනවා. දැන් තියෙන සමහර ටෙලි නාට්‍ය කරන්න අධ්‍යක්ෂවරයෙක් අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නේ සංවිධායකවරයෙක් විතරයි.

සමහර පිටපත් නළු නිළියෝ බලලා ලියන්නේ. ප්‍රේක්‍ෂකයෝ මෝඩයි කියලා තමයි සමහරු හිතන්නේ. මේක ලංකාවේ කලාවට වුණු මහ විනාශයක්.

නිර්මාණ පිරිහෙන්න මේ කාරණා විතරද බලපාලා තියෙන්නේ?

ලංකාවේ විචාර කලාවත් මීට බලපාලා තියෙනවා. අපි කලාව ඉගෙන ගන්න කාලේ ජයවිලාල් විලේගොඩ, පියල් සෝමරත්න, සුසිල් සිරිවර්ධන වගේ දක්‍ෂ විචාරකයෝ පිරිසක් හිටියා. ඔවුන් නිර්භයව ඕනෑම නිර්මාණයක් විවේචනය කරනවා. ඔවුන් නිර්මාණයේ හොඳ පැත්තත් කතා කරනවා. ඒ විචාරවල යම් කිසි පදනමක් තිබුණා. නමුත් අද නිර්මාණයක් ගැන පදනමක් සහිතව විචාර කරන කලාවක් නෑ. ඒ විචාර කලාව නැති වීමත් නිර්මාණ කඩා වැටීමට හේතුවක් වී තිබෙනවා. ඒ වගේම ලංකාවේ සම්මාන උත්සවත් මීට බලපානවා. සම්මාන උළෙලවල ඉන්න බොහෝ මහාචාර්යවරුට මේ නිර්මාණ පිළිබඳ අවබෝධය අඩුයි. අතරින් පතර අවබෝධයක් සහිත අය ඉන්නවා. පසුගාමී දේවල් ඉහළට එසවීමක් සමහරු කරනවා. විෂය කරුණු පිළිබඳ න්‍යාය දැනුම ඔවුන්ට තිබ්බට ප්‍රායෝගික දැනුම ඔවුන්ට නෑ. අන්තර්ජාතික සම්මාන උළෙලක විශේෂත්වය තමයි එහි ඉන්න විනිශ්චය මණ්ඩල සාමාජිකයන්. සම්මාන උළෙල අවසානයේදී අපිට ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. සම්මාන නොලැබුණේ හෝ ලැබුණේ ඇයි කියලා ඔවුන් එය විග්‍රහ කරනවා. නමුත් ලංකාවේ එහෙම නෑ.

ඔබ අලුත් නිර්මාණ කටයුතුවලට අතගහලාද තියෙන්නේ?

ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවක් කරන්න මට භාරදීලා තියෙනවා. සංහිඳියාව පිළිබඳව තමයි ඒ නිර්මාණ කටයුතුත් කරන්නේ. ඒ වගේම මම ජාතික රූපවාහිනියේ සතිපතා වැඩසටහනක් කරනවා වාහල්කඩ කියලා. වකුගඩු රෝගය නිසා මිනිසුන් මිය යමින් පවතිනවා. එය දරුණු ඛේදවාචකයක්. මේ ගැටලුව ජාතික වැඩසටහනක් ලෙස මම ඉදිරිපත් කරනවා. සිකුරාදා 6.30ට තමයි මේක විකාශය වෙන්නේ. කිසිම අනුග්‍රහයක් නැතුව වසර තුනක් මේ වැඩසටහන විකාශය කරන්න අවස්ථාව දුන් ජාතික රූපවාහිනියට ස්තූති කරන්න ඕන. රත්න ශ්‍රී විජේසිංහ සමඟ මම "මී මන්දාව' කියලා වැඩසටහනක් කරනවා. එය රත්න ශ්‍රී විජේසිංහ, මස්ඉඹුල සහ අපි මචං සුසංයෝගයෙන් කරන්නේ. කවිය, ගීතය සහ ජීවිතය ගැන තමයි එහි කතා කරන්නේ. එය සෑම මසකම දෙවැනි අඟහරුවාදා රාත්‍රි 10.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon