ලූෂන් බුලත්සිංහල වේදිකාවේ නිහඬ බව බිඳ 'වෙස්මූණ ගලවන්න' සූදානම්

  👤  1561 readers have read this article !
Published by : MB WEB 2018-07-10 10:02:07

සාලිය විනෝදකාමී තරුණයෙකි. නමුත් ඔහු ත්‍යාගවන්ත යහපත් තරුණයෙකි. කැරොකි සමාජ ශාලාවක ගායන හා නර්තන ශිල්පිනියක වූ අශෝකමාලා කෙරෙහි සාලිය පෙමෙන් බැඳුණත් අශෝකමාලා ඒ ආලය ප්‍රතික්ෂේප කරයි. සාලියගේ මේ ප්‍රේමය දිනා දීමට සාලියගේ මිත්‍ර ඇමැති පුතකු ඉදිරිපත් වේ. සාලිය, අශෝකමාලා මුණගැහුණ මොහොතක, තමන් සිංහල තරුණියක ලෙස වෙස්වළාගෙන සිටින කොටි සෙබළියක බව අශෝකමාලා හෙළි කරයි. එහෙව් හෙළිදරව්වක් තුළ සාලිය අශෝකමාලා පෙමට කුමක් සිදුවෙයිද? ඒ හා බැඳෙන ගැටලු නිරාකරණය කර ගැනීමට දරන උත්සාහය සංගීතමය නාට්‍ය පෙළක් ලෙස ඉදිරිපත් කෙරෙන්නේ ලූෂන් බුලත්සිංහල මහතා වසර තිහකට පමණ පසු නිර්මාණය කරන 'වෙස්මූණ ගලවන්න' වේදිකා නිර්මාණයෙනි. ජූලි 12-13 යන දෙදින ප.ව. 6.30ට ලයනල් වෙන්ටඩ්හි මේ නිර්මාණය හා හා පුරා කියා වේදිකාගත වන්නට සූදානම් වන මොහොතක ලූෂන් බුලත්සිංහලයන් සමඟ හදගැස්ම කළ කතාබහයි මේ.

ඔබ 'වෙස්මූණ ගලවන්න' සූදානම් නේද?

ඔව්. ඒ මම කරන අලුත් වේදිකා නිර්මාණය. දීර්ඝ කාලයක් තිස්සේ හිතේ තිබුණ අදහසක් තමයි මම මීට අවුරුදු පහ, හයකට කලින් ලියලා තිබුණේ.

මොකද්ද මේ කතාව?

මගේ ළමාවිය අවසන් වෙන්නේ 1956දී. 1956න් පසුව සිදුවන දේවල් අපිව කම්පාවට පත් කළා. අපි පුංචි කාලෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කියලා ප්‍රශ්න තිබ්බේ නෑ. අපි හැමෝම එකට හිටියේ. නමුත් 1958න් පස්සෙ අපේ හදවත් අනුමත නොකළ දේවල් සිද්ධ වුණා. අපේම මිනිස්සු අතින් අපේම මිනිස්සුන්ට හිරිහැර වුණා. ඒ කම්පාව, ඒ මතකය තමයි මම නාට්‍යයට ලිව්වේ. ඒ කම්පාව අවුරුදු තිහක යුද්ධයක් වෙලා අවසන් වුණේ. ජාතිවාදය මෘගයෙක්, තිරිසනෙක් විදියට හැසුරුණේ. අදත් ඒ තිරිසනා සැරිසරනවා. ජාතිවාදී ප්‍රශ්න නිසා මනුස්සකම් නැතිවෙලා. හැමෝම ඉන්නේ වෙස්මුහුණු දාගෙන. මේ ජාතිවාදය මම අනුමත කරන්නේ නැහැ. මේ පසුබිම ප්‍රේම කතාවක් ලෙස තමයි මම ඉදිරිපත් කරන්නේ.

ඔබ මේ නාට්‍ය තුළින් කතා කරන්නේ අද දවසටත් ඔබිනා මාතෘකාවක්?

ඔව්. මේ නාට්‍යයේ කතාව දිගහැරෙන්නේ යුද්ධයේ අවසාන දවස් කිහිපය එක්ක. ඒ කාලය තුළ රාත්‍රි කැරොකි ශාලාවක තමයි මේ කතාවේ ආරම්භය සිදුවෙන්නේ. අශෝකමාලා කියන ගායිකාව ඇතිකර ගන්න ප්‍රේම සම්බන්ධතාව ඔස්සේ තමයි මේ ගැටලුව ගැන හෙළි වෙන්නේ.

ඔබ වේදිකා නාට්‍යයක් ප්‍රේක්ෂකයන් අතරට ගේන්නේ කාලයකට පස්සේ. ඇයි ඒ?

වසර තිහකට විතර පස්සේ තමයි මම නාට්‍යයක් කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා.

මම රතු හැට්ටකාරි සහ තාරාවෝ ඉගිළෙති කියන නාට්‍ය දෙකම කළේ ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරද්දි. නමුත් ඉන් පස්සේ අපේ මූලික කාලයම අවශෝෂණය වුණා අලුතින් ආපු මාධ්‍යයට. රූපවාහිනි සංස්ථාවේ පුරෝගාමී පිරිස අපි. ඒක අපිට අලුත් අත්දැකීමක් වුණා වගේම ඒ වෙනුවෙන් විශාල කාලයක් මිඩංගු කරන්න වුණා. මගේ ජීවිතේ වැඩිම කාලයක් මිඩංගු කළේ රූපවාහිනි සංස්ථාවේ වැඩ කළ අවුරුදු දහසයට. ඒ කාලය තුළ මට කිසිම නිර්මාණයක් කරන්න වෙලාවක් තිබ්බේ නෑ. රාජකාරිය නිසා වෙන දෙයක් කරන්න ඉඩ ලැබුණෙත් නැහැ.

රූපවාහිනියෙන් ඉවත් වුණාට පස්සෙත් විශාල කාලයක් නිර්මාණකරණයෙන් නිහඬ වෙලා හිටියනේ?

වැරැද්දක් හෝ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නේ නැතුව විධායක ජනාධිපති ක්‍රමයෙන් අනිවාර්ය නිවාඩු දීලා මාව කිහිපවතාවක් ගෙදර ඇරියා. විධායක ජනාධිපතිට තමන්ට කැමැති ඕන දෙයක් මේ රටේ කරන්න පුළුවන්. ඒකට අපේ කාලයේ ගොදුරු වෙච්ච දෙන්නෙක් තමයි මමයි බන්දුල විතානගේයි. අදත් මම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ ඒකයි. මාව රූපවාහිනියෙන් නෙරපුවාම ඊට පස්සේ ආපු සියලු ආණ්ඩු අපිව මේ ක්ෂේත්‍රයන්ගෙන් පලවා හැරියා. අපිට කිසි දෙයක් කරන්න ඉඩක් දුන්නෙ නැහැ. අපි ගැන කතා කළෙත් නෑ. අදත් මම නිර්මාණයක් කරනවා කිව්වම ඒ ගැන කතා කරන්න ඔය මාධ්‍යවලින් කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. එහෙම නෙරපා හැරීමකට ලක්වූ නිසයි අපිට කිසි දෙයක් කරන්න බැරි වුණේ. පසුගිය අවුරුදු ටිකේ ආපු පසුබිමත් එක්ක තමයි මම මේ නිර්මාණය කරන්න පටන් ගත්තේ.

මේ නිර්මාණය ඇතුළේ ඇතැම් පාර්ශ්වවලට පහර වදින්නත් පුළුවන්ද?

නැහැ. මෙයින් කිසිම කෙනකුට එහෙම පහර වදින එකක් නැහැ. මේක අපි හැමෝගෙම ආත්මයන් තුළ තිබෙන ප්‍රශ්නයක්. අපි ජාතිය සහ ආගම, කුලය කියලා වෙස්මුහුණු දාගෙන ඉන්නේ. අන්න ඒ වෙස්මුහුණු තමයි මේ ගලවන්න කියන්නේ. පුද්ගලයකුට, ආණ්ඩුවකට, ඇමැති කෙනෙක්ට පහර ගහන දෙයක් නොවෙයි මේක. පොදු සමාජයේ සිදුවූ, සිදු වෙමින් පවතින, එයින් විශාල කම්පාවකට පත්වූ පවුල් කඩා ඉහිරු පසුබිම නැවත මතක් කිරීමක් මේ කරන්නේ. අපි ඒ මුහුණ දුන්න දේවල් නැවත සිදුවෙන්න ඕනේ නෑ කියන පණිවුඩය දෙන්න ඒ කම්පනයන් පාවිච්චි කරනවා.

දැන් තිබෙන පසුබිම එක්ක වේදිකා නිර්මාණයක් කරන එක ලේසි පහසු නෑ නේද?

මේක කරන එක පහසු නැහැ. අපේ රටේ වේදිකා නාට්‍ය සංස්කෘතියක් තවම හැදිලා නැහැ. කීයක් හරි හොයා ගන්න කරන ප්‍රයත්න තමයි බොහෝ වෙලාවට නාට්‍යවල ස්වරූපයෙන් එන්නෙ. එහෙම නැත්නම් තමන්ගේ ආත්ම කථනයක් හෝ කලාකරුවෙක් ලෙස සමාජයට කියන්න තියෙන දේ මූලික කරනවට වඩා කෙනක්ව පිනවලා කුමක් හෝ කරන නිර්මාණ තමයි බොහෝ වෙලාවට එන්නේ. අපි පසුගිය කාලේ බලාගෙන හිටියා ඒ වගේ ඒවා තමයි බොහෝ වෙලාවට ආවේ.

මේ නිර්මාණ කාර්යය ඇතුළේ ඔබේ පරමාර්ථය මොකද්ද?

ලාභ ලැබීමේ පරමාර්ථ කියලා දෙයක් මේ නිර්මාණයෙදී නැහැ. මෙහි තියෙන එකම පරමාර්ථය හොඳ සංගීතමය රසාස්වාදනයක් සමඟ, අපේ ජීවිතවලට තදින් බලපාන ප්‍රශ්නයක් පිළිබඳ පණිවුඩයක් අපේ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කිරීම. අපි නැවතත් තවත් යුද්ධයකට යන්න ලෑස්ති වෙනවද නැද්ද කියන එක ගැන හිතන්න අපි ඉඩ දෙනවා.

ලාභ පරමාර්ථයක් නැතුව මේ කාර්යයට සහාය දෙන පිරිසක් නිර්මාණය වටා එකතු වුණාද?

මට මේ නිර්මාණයට ලොකු උපකාරයක් කරනවා වෛද්‍ය රංජිත් පතිරණ. ඔහු මේ නිර්මාණයේ බර පැන දරනවා. අපි කතා කරන විෂයට තියෙන කැමැත්ත නිසා ඔහු පරාර්ථයෙන් අපිට මේ නාට්‍ය කරන්න උදවු කළා. මේ කාර්යයට වෙන කවුරුත් අපිට උදවු කරලා නැහැ. අපේම සහෝදරයෙක්වත් අපිට උදවු කරන්න ඉදිරිපත් වෙලා නැහැ. අපි මෙය ලාබ පරමාර්ථයක් නැතුව කරන බවට තවත් අලුත් සංස්කෘතියක් අපි නිර්මාණය කර තිබෙනවා. ඒ තමයි ජූලි 10 වැනිදාට පෙර මේ නාට්‍ය නරඹන්න ලයනල් වෙන්ටඩ් රංග ශාලාවෙන් ටිකට්පතක් ගන්න අයට අපි 50%ක වට්ටමක් ලබාදීමට කටයුතු කරනවා. එය අලුත් සංස්කෘතියක්.

'රතු හැට්ටකාරි''තාරාවෝ ඉගිළෙති' වැනි ඔබ නිර්මාණය කළ නාට්‍ය තාමත් මතකයේ තිබෙන, ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නාට්‍ය. 'වෙස්මූණ ගලවන්න' නාට්‍ය මේ තිබෙන පසුබිම යටතේ ප්‍රේක්ෂකයෝ මොන විදියට භාර ගනීවිද?

ප්‍රේක්ෂකයෝ මේ නාට්‍ය වැළඳ ගනීවි කියලා මට විශ්වාසයි. මොකද ඔවුන්ට, ඔවුන්ගේ ආත්මයෙන් ගැලවෙන්න බෑ. ජාතියක වැදගත්ම දේ තමයි ජාතියක හෘද සාක්ෂිය. අපි මේ කතා කරන්නේ ඒ හෘද සාක්ෂියට. අපි ඉන්න තැන ගැන අපි මතක් කරලා දෙනවා. මෙය මනුස්සකම අවධි කරන්න කරන නාට්‍යයක්. අපි ළඟ මේ මනුස්සකම තිබුණා. නමුත් ඒක නැති කළේ 1956න් පසු බිහිවූ කාලකණ්ණි සමාජ ක්‍රමය. අපි මතක් කරන්න හදන්නේ අපි මේ විදියට ඉන්නවාද නැත්නම් අපේ තිබ්බ හෘද සාක්ෂිය අවදි කරලා එතනට යනවාද කියලා.

'වෙස්මූණ ගලවන්න' වේදිකා නිර්මාණයට සම්බන්ධ කරගත් රංගන ශිල්පීන් ගැනත් කතා කරමු.

මේ නාට්‍යයට විසි දෙනකුගේ පමණ දක්ෂතා අවශ්‍ය වුණා. ඒ දක්ෂතා තෝරගන්න අපේ රටේ නළු නිළියන්ගේ සංචිතයක් නැහැ. අපි සම්මුඛ පරීක්ෂණයක් තියලා එයට ඉදිරිපත් වූ ආධුනික ගණයේ පිරිසක් තමයි මෙයට තෝරා ගත්තේ. ඒක හරිම වෙහෙසකර කටයුත්තක් වුණා. මාස හයක් මේ ශිල්පීන් තෝරගන්න අපි මහන්සි වුණා. මම මීට කලින් කළ නාට්‍යවලට වඩා තදබල වෙහෙසකින් කළ නාට්‍යයක් තමයි මේක.

ඒ තෝරගත් ශිල්පීන් කවුද?

දිලුෂා ලක්ෂාණි, ඉෂාරා සෞභාග්‍යා, ප්‍රභාත් චින්තක, ඉෂාන් කුලතිලක, දිලිප් රෝහණ, නිමාලි දිල්ශානි, එෂාන් තිලකසේන, නිව්ටන් ගුණසේකර, ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙයට සහභාගි වෙනවා.

මෙතරම් මහන්සි වෙලා අලුත් පිරිසක්ම සම්බන්ධ කරගන්න හිතුවේ?

වේදිකාවෙන් එන බොහෝ නළු නිළියෝ වේදිකාවෙන් පොඩි සාර්ථකත්වයක් ලබපු ගමන් ඊළඟ දවසේ ඉන්නේ ටෙලි නාට්‍යවල. ඊට පස්සෙ ඒ මනුස්සයගේ මූලික ආත්මයම නැති වෙනවා. ඊට පස්සේ ඒ ශිල්පීන්ට ආයෙම වේදිකාවට එන්න බැහැ. වේදිකාවේ රියර්සල් එනවට වඩා ඔවුන්ට වාසියි ඒ කාලය පාවිච්චි කරලා කීයක් හරි හොයාගන්න එක. වේදිකා නාට්‍ය කලාව කියන්නේ කීයක් හරි හොයාගන්න කලාවක් නෙමෙයි. ගොඩක් අය ඒ කලාව කරන්නෙ තමන්ගේ තෘප්තිය වෙනුවෙන්. තමන්ට යමක් කියන්න තියෙන එකම තැන කියලා එය පාවිච්චි කරන්නේ. වෙන රටවල වේදිකාව කියන්නේ කිසිම තහංචියක් නැති, පාලනයක් නැති කලාකරුවන්ට තමන්ගේ නිදහස් අදහස් කියන්න පුළුවන් එකම තැන. අපේ රටේ ඒ නිදහස ඒ තරම්ම නැති වුණත් තාමත් නිදහසේ මොනවාහරි කතා කරන්නේ වේදිකාවෙන්. ඒ නිදහසට වඩා අද ඉන්න බොහෝ දෙනා ගරු කරනවා මුදල්වලට. ඒ නිසා පුළුවන්කමක් තියෙන තැනැත්තෙක් නාට්‍යයකට කැඳවාගන්න බැරි වෙලා තියෙනවා. වේදිකාව වෙනුවෙන් මිඩංගු කරන්න ඔවුන්ට කාලයක් නැහැ. රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිළෙති නාට්‍යවල හිටපු නළු නිළියන්ට පවා මේකට එන්න බැරි වුණා. ඒ තරම් වැඩ. නාට්‍ය කලා සංස්කෘතියක් ගොඩනඟා ගන්න බැරි වීමත් මීට බලපාලා තියෙනවා.

වේදිකා නාට්‍ය සංස්කෘතියක් නොමැතිවීම ගැන කාලයක් තිස්සේ බොහෝ දෙනා මැසිවිලි නඟනවා. ඇත්තටම මේ වේදිකා නාට්‍ය සංස්කෘතිය ගොඩනඟන්න බැරි ඇයි?

අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයක්, සංස්කෘතික අමාත්‍යාංශයක් තිබෙනවා. වෙන රටවල අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍යාංශ තමයි නාට්‍ය කලාව වගේ විෂයන් ගැන කටයුතු කරන්නේ. අපේ රටේ 1970ට කලින් හදපු කලා මණ්ඩලයක් තියෙනවා. ඒවා යල් පැනගිය නූතන ලෝකයට ගැළපෙන්නේ නැති දේවල්. කලා මණ්ඩල මොනවා කරනවද කියලා අපිවත් දන්නේ නැහැ. හැම අවුරුද්දකම රාජ්‍ය නාට්‍ය උත්සවය කියලා එකක් නම් කරනවා. වෙන රටවල ඔය රාජ්‍ය නාට්‍ය උත්සව කරන විදිය වෙනස්. අපේ ව්‍යවස්ථාවෙන් සංස්කෘතිය මූලික අයිතිවාසිකමක් විදියට ප්‍රකාශ වෙලා නැහැ. රාජ්‍ය මැදිහත් වෙලා වෙන රටවල මේ කලාවන් ආරක්ෂා කර ගන්නවා. අපේ රටේ එහෙම එකක් නෑ. අපේ තියෙන කැක්කුමටයි අපි නාට්‍ය කරන්නෙ. ඒක ජාතික අවශ්‍යතාවක් වෙලා නැහැ. ඒක ජාතික අවශ්‍යතාවක් වෙන්න ඕන.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon