සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන්ට ඉගිල්ලෙන්න අවස්ථාවක්

  👤  2189 readers have read this article !
Published by : MB WEB 2018-07-11 11:49:19

හා හා පුරා කියලා ඔබේ නිර්මාණයක් ලාංකේය ප්‍රේක්‍ෂකාගාරයට විවෘත වෙලා?

ඔව්. මම මුලින්ම චිත්‍රපටයක් හැදුවේ 2011දී. ඒ ඉගිළෙන මාළුවෝ චිත්‍රපටය. නමුත් ඒ චිත්‍රපටය මට ලංකාවේ පෙන්වන්න බැරි වුණා. දැවෙන විහඟුන් චිත්‍රපටය නිර්මාණය කළේ 2016දී. එය තිරගත කරන්නත් අවුරුදු දෙකක් බලාගෙන ඉන්න වුණා. චිත්‍රපට දෙකක් හැදුවට පස්සේ තමයි මගේ චිත්‍රපටයක් මවු රටේ ප්‍රදර්ශනය කරගන්න පුළුවන් වුණේ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. නමුත් වාසනාවකට ලංකාවේ මගේ චිත්‍රපටය පෙන්වන්න පුළුවන් වෙලා තියෙනවා.

සිනමාකරුවෙක් විදියට මම බලාපොරොත්තු වුණු දෙයක් තමයි කොච්චර ජාත්‍යන්තර සම්මාන ලැබුණත්, ජාත්‍යන්තර පිළිගැනීම ලැබුණත් ලංකාවේ ප්‍රේක්‍ෂක සමාජය ඉදිරියේ චිත්‍රපටය නිල වශයෙන් ප්‍රදර්ශනය කිරීම. ඒ ගැන මම ගොඩක් සතුටුයි.

ලාංකේය ප්‍රේක්‍ෂකයන්ට 'දැවෙන විහඟුන්' විවෘත වන්නට කලින් එය ජාත්‍යන්තර ඇගැයුම් රැසක් දිනා ගත්තා. ඒ ඇගැයුම් මේ නිර්මාණයට වටිනාකම් එක් කළා නේද?

මේ චිත්‍රපටය වෙනුවෙන් මට සම්මාන රැසක් හිමිවුණා. ඒ අතරින් මම වැදගත් දෙයක් ලෙස සලකනවා රොටර්ඩෑම් සිනමා උළෙලේ ප්‍රේක්‍ෂක මනාපයෙන් මගේ චිත්‍රපටය චිත්‍රපට 168කින් 17 වැනි ස්ථානයට ඒම. ලංකාවේ චිත්‍රපටයක් ප්‍රේක්‍ෂකයන් ඒ තරම් පිළිගත්ත අවස්ථා බොහොම අඩුයි. ප්‍රධාන උළෙලවල සම්මාන ලබාගත් චිත්‍රපට එක්ක තරග කරලා තමයි ප්‍රේක්‍ෂක මනාපයෙන් මගේ චිත්‍රපටය 17 වැනි තැනට ආවේ. ඒක මට විශාල තෘප්තියක් ගෙන දුන්නා. ජිනීවා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඊධඬරධ ජ්ඪතථඥය සිනමා උළෙලේ විශේෂ ජූරි සම්මානය ලැබුණා. ලොස්ඇන්ජලිස්හි පැවැත්වුණු ඒඵඪචද එධපතඤ ජ්ඪතථ ජ්ඥඵබඪමචත එකේදී අනෝමා ජිනාදරී මහත්මියට හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ වගේම මගේ චිත්‍රපටය ඇගැයුම්වලට නිර්දේශ වූ අවස්ථා බොහොමයකුත් තියෙනවා. දැවෙන විහඟුන් චිත්‍රපටයත් සමඟ මේ වෙනකොට අන්තර්ජාතික සිනමා උළෙල විසිපහකට වඩා සහභාගි වෙලා තියෙනවා. මෑත කාලයේ විමුක්ති ජයසුන්දරගේ අහසෙන් වැටෙයි චිත්‍රපටයට පස්සේ වැඩිම ජාත්‍යන්තර අවධානය දිනාගත්ත චිත්‍රපටය තමයි මගේ 'ඉඟිළෙන මාළුවෝ' චිත්‍රපටය. ඊට පස්සේ වැඩිම ජාත්‍යන්තර අවධානය දිනාගත් ලාංකේය චිත්‍රපටය තමයි දැවෙන විහඟුන්.

කලාත්මක චිත්‍රපට ජාත්‍යන්තර ඇගැයුම් උදෙසාම නිර්මාණය කරන බවට බොහෝ අය චෝදනා නඟනවා. ඔබටත් මූලිකව තිබ්බේ ඒ අදහසද?

විදේශීය චිත්‍රපට උළෙල ගැන අපේ සමාජයේ දන්නේ ඉතාම සුළු පිරිසක්. ඒ ගැන නොදැන නමුත් ඒ බව දන්න බව හඟවන බහුතරයක් ඉන්නවා. මේ සම්මාන පිටුපස්සේ තියෙන ඇත්ත ස්වභාවය ඔවුන් දන්නේ නෑ. චිත්‍රපට උළෙලවල් කියන්නේ සිනමාකරුවන්ට තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කර ගැනීම සඳහා තියෙන තවත් එක මධ්‍යස්ථානයක්.

ඉස්සර තිබුණේ චිත්‍රපටයක් හදලා දේශීය වශයෙන්, විදේශීය වශයෙන් මහජන ප්‍රදර්ශනයන්ට යොමු කිරීම. නමුත් සිනමා උළෙලවල් ආවට පස්සේ තමන්ගේ රටේත් තමන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කරගන්න අමාරු තත්ත්ව තිබියදී වෙන රටවලත් වාණිජමය වශයෙන් ප්‍රදර්ශනය කර ගන්න අමාරු තත්ත්ව තිබියදීත් ඔවුන්ට තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කර ගන්න එක මධ්‍යස්ථානයක් තිබෙනවා. ඒ තමයි සිනමා උළෙලවල්. දේශීය වශයෙන් චිත්‍රපට මහජන ප්‍රදර්ශනයට යොමු කරනවා වගේම සිනමාකරුවන් ආදායම් ලබන එක මාවතක් තමයි සිනමා උළෙලවල්. මම දැවෙන විහඟුන් චිත්‍රපටය හදලා අවුරුදු දෙකක් බලන් හිටියම මට ඇති වෙන්න පුළුවන් පීඩාව කොච්චරද? මගේ පළමුවැනි චිත්‍රපටය අද වෙනකල් තිරගත කරන්න බැරි වෙලා තියෙනවා. මට මගේ තියෙන මානසික පීඩාව නැති වෙලා, පළමු චිත්‍රපටය තිරගත නොවීත් මට දෙවැනි චිත්‍රපටයක් කරන්න පුළුවන් වුණේ මගේ චිත්‍රපටය ලෝකේ කොහේ හරි තැනක ප්‍රදර්ශනය වී තිබුණු නිසා. ජාත්‍යන්තර සිනමා උළෙල කියන්නේ නිර්මාණකරුවන්ට අනුප්‍රාණය සපයන එක තැනක්.

ජාත්‍යන්තර ඇගැයීම් ලබන ඇතැම් චිත්‍රපට දේශීය ප්‍රේක්‍ෂකයන් දිනා ගන්නේ නැහැ. ඔබේ චිත්‍රපටයට මේ කියන තත්ත්වය බලපාලා නැද්ද?

ගොඩක් අය මගේ චිත්‍රපටය එනකල් බලාගෙන හිටියා. මම මේ ඔබට කතා කරන වෙලාව වෙනකොටත් චිත්‍රපටය හොඳින් ප්‍රදර්ශනය වෙනවා. චිත්‍රපටය බලපු ප්‍රේක්‍ෂකයන්ගෙන් සියයට අසූපහකට, අනූවකට වඩා මේ චිත්‍රපටයට කැමැතියි. ඔවුන් චිත්‍රපටය ගැන සුබවාදීව කතා කරනවා. ඒක සතුටට කාරණාවක්.

ඔබේ නිර්මාණයට විවේචනත් එල්ල වෙනවා ඇති?

ඔව්. ඕනෑම දෙයකට අකැමැති පිරිසකුත් ඉන්නවා. දේශපාලන දෘෂ්ටිවාදය නිසා අකැමැති, නිර්මාණයේ තිබෙන සෞන්දර්ය භාවිතයට අකැමැති, පෞද්ගලික හේතු නිසා අකැමැති, සමාජීය හේතු නිසා අකැමැති පිරිසක් ඉන්න පුළුවන්. මම පිටස්තරයෙක්. ප්‍රියත් ලියනගේ මගේ තිර රචනාවේ පෙරවදනටත් ලියලා තිබ්බා, 'පිටස්තරයාගේ පැමිණීම ඉතාම දුෂ්කරයි. පිළිගැනීම ඉතා අවමයි' කියලා. ඒක එහෙම තමයි. ඒකට මම සූදානම්. එක එක් කෙනා තැන් තැන්වල කියන දේවල් මට අදාළ නැහැ. නමුත් ඉතාම ශාස්ත්‍රීය මට්ටමෙන් කිසියම් කෙනෙක් කිසියම් දෙයක් විග්‍රහ කරනවා නම් ඒක වැදගත්. නමුත් අපිට විරුද්ධව නැඟීසිටින්න පුළුවන් පිරිස් විශාලයි සහ ඒ සඳහා ඒ අයට අයිතියක් තියෙනවා. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.

ඔබ මේ නිර්මාණයට ඉලක්ක කර ගත්තේ සමස්ත සමාජයමද?

මේ චිත්‍රපටයේ මූලිකව කතාව වෙන්නේ කුසුම් කියන කාන්තාව සහ ඇගේ දියණිය කොහොමද තමන්ගේ පවුල නඩත්තු කිරීම සඳහා ජීවිතය සමඟ අරගල කරන්නේ කියන කාරණය. එයට අනෝමා ජිනාදරී, සමනලි ෆොන්සේකා විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග, ලියෝනි කොතලාවල රංගනයෙන් විශාල දායකත්වයක් ලබා දෙනවා. චිත්‍රපටය පවුල වටා ගෙතුණට එක් එක් අයට මෙයට විවිධ මානයන්ගෙන් ඇතුළු වෙන්න පුළුවන්. චිත්‍රපටය ගොඩනඟද්දී කුසුම්ගේ දෘෂ්ටි කෝණයෙන්ම මේ චිත්‍රපටයේ ආඛ්‍යානය ගොඩනඟන්න මම ප්‍රවේසම් වුණා. එතකොට මිනිසුන්ට හැම වෙලාවම මේ චරිතය එක්ක බැඳෙන්න පුළුවන්. කතා රසය හොයන ප්‍රේක්‍ෂකයාට මේ චිත්‍රපටයේ කතා රසය ලබාදීම තමයි මගේ එක අභිලාෂයක් වුණෙත්. මම පිළිගන්න සිනමාත්මක සෞන්දර්යය භාවිත කරමින් තමයි එය කළේ.

අසරණවීම කියන කාරණාව මත කාන්තාව අවසානයේ අසුබවාදී, අයහපත් පැතිකඩකට තල්ලු වෙනවා කියන මතවාදය මේ නිර්මාණය හරහා ගොඩනඟනවා කියලත් අදහස් පළවෙනවා. ඔබට මොකද හිතෙන්නේ?

මට ඒක එහෙම දැනිලා නැහැ. චිත්‍රපටයකින් කෙරෙන්නේ මමවත් වෙන කෙනකුවත් බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. මම කරලා තියෙන්නේ සමාජයේ පවතින ස්වභාවය ප්‍රති නිර්මාණය කිරීම. සමාජය විසින් ඇති කළ තත්ත්වයක් තමයි මම නිර්මාණයෙන් ප්‍රතිනිර්මාණය කළේ. කාන්තාව මේ තත්ත්වයට පත් වෙන්න හොඳ නැහැ කියලා කෙනෙක් කියනවා නම්, ඒක තමයි මතු කළ යුතු සාකච්ඡාව. ඒ අයට පුළුවන් මේ සමාජය යහපත් තැනක් කරන්න මැදිහත් වෙන්න. මේ චිත්‍රපටයේ සමාජ ආරක්‍ෂනය පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාව මතු කළොත් හරි. එතකොට සමහරු අකැමැතියි කියන තත්ත්වයට කාන්තාව පත් නොවෙන්න පුළුවන්. නමුත් දැන් තිබෙන පසුබිම යටතේ කුසුම් වගේ චරිතවලට අත්වන තත්ත්වය තමයි මම ප්‍රතිනිර්මාණය කර තිබෙන්නේ.

චිත්‍රපටය සංස්කරණයකට ලක් කරලා තිබෙන බවට විවිධ පාර්ශ්ව ඔබට චෝදනා නඟනවා. ඇත්තටම චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කර ගන්න අවශ්‍ය නිසා එය සංස්කරණය කළාද?

චිත්‍රපටය අන්තර්ජාතිකව පෙන්වද්දී විනාඩි 84ක දර්ශන මේ චිත්‍රපටයේ තිබුණා. දැන් ප්‍රදර්ශනය කරන්නේ විනාඩි 82යි. මම කැමැති හෝ අකැමැති හේතුන් මත විනාඩි දෙකක කුඩා සංස්කරණයකට යන්න මට සිද්ධ වුණා. චිත්‍රපටයේ තිබ්බ ලිංගික දර්ශන දහහතරක් ඉවත් කළා කියන කතා නම් විහිළු. ලිංගික දර්ශන දහහතරක් තිබ්බා නම් එක සීන් එකක් විනාඩියක්වත් තියෙන්න ඕන. එහෙම බැලුවත් විනාඩි දහහතරක් කැපෙන්න ඕන. චිත්‍රපටයෙන් විනාඩි දෙකක් අයින් කරද්දී කොහෙද ඒ සීන් කපලා තියෙන්නේ.

එවැනි දර්ශන රූගත කළෙත් නැද්ද?

අපි සමහර දර්ශන විවිධ මානවලින් රූගත කරනවා. රූගත කරන හැම දර්ශනයක්ම අපි පාවිච්චි කරන්නේ නෑ. මේ චිත්‍රපටයේ මූලික විෂුවල් පැය 18ක් තියෙනවා. මේ පැය 18 අපි විනාඩි 84කට සංස්කරණය කළා. අපිට එහෙම කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට ප්‍රසන්න විතානගේ මහත්තයා, මචං චිත්‍රපටය කරද්දී පවතින ස්වභාවය අනුව කිසියම් දර්ශනයක් ඔහුට ඉවත් කරන්න සිද්ධ වුණා. මේ චිත්‍රපටය හැදුවේ මම මිසක් ඔය කෑගහන අය නෙවෙයි. මේ චිත්‍රපටයේ එන සියලු දේවල්වලට මුහුණ දෙන්න ඕන මම. මට හැඟීම්බරව දේවල්වලට මුහුණ දෙන්න බෑ. සිනමාකරුවෙක් විදියට දැවෙන විහඟුන් කියන්නේ මගේ අවසාන චිත්‍රපටය නෙවෙයි. මගේ ඉගිළෙන මාළුවෝ චිත්‍රපටය තහනම් කරද්දී කවුරුත් ඒ වෙනුවෙන් මැදිහත් වුණේ නැහැ. කිහිප දෙනෙක් තමයි යම් අදහසක් හෝ පළ කළේ. මට මගේ සිනමා ජීවිතය ආරක්‍ෂා කර ගැනීම සඳහා මැදිහත් වෙන්න ඕන. මට කවුරුත් සතුටු කරන්න පුළුවන්කමක් නෑ. මම ඉතාම ඥානාන්විතව මේ මහ පොළොවේ හැසිරෙන්න ඕන. මම මගේ සිනමා ජීවිතය ගැන දුරදිග බලලා කටයුතු කරන්න ඕන.

ඒ කියන්නේ ඉගිළෙන මාළුවෝ චිත්‍රපටයට අත්වුණු ඉරණම නිසා ඔබ මෙදා සැරේ පරිස්සම් වුණාද?

අපි ජීවිතේ හැම වෙලාවෙම දේවල් ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගත්ත පාඩම් මම මේ චිත්‍රපටයේදී යොදා ගත්තා.

මේ නිර්මාණය තුළ ප්‍රවිණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් පිරිසක් සම්බන්ධ වෙනවා. ඔබට ඔවුන්ගේ අවශ්‍ය රංගන දායකත්වය මේ නිර්මාණය සඳහා උපරිමයෙන් ලබා ගන්න පුළුවන් වුණාද?

ඔව්. මම හැම වෙලාවේම මට අවශ්‍ය දේ ලබා ගැනීමට උත්සාහ කළා. ඒ වගේම මට අවශ්‍ය දෙයට වඩා දෙයක් ඒ අයට දෙන්න පුළුවන් නම් ඒක ලබා ගැනීම සඳහා මම උත්සාහ ගත්තා. ඒක ඇතැම් අවස්ථාවල පහසු දෙයක් නෙවෙයි. අපේ සමාජයේ තිබෙන සම්බන්ධතාවල ස්වභාවය අනුව මේ චිත්‍රපටයට සම්බන්ධ වූ හැම නළු නිළියකගෙන්ම මට අවශ්‍ය කරන දේ මොන විදියකින් හෝ ලබාගන්න පුළුවන් වුණා.

චිත්‍රපටය තුළ ඒ ශිල්පීන්ට විශාල කැප කිරීම් කරන්නත් සිද්ධ වෙන්න ඇති?

හැම කෙනාම විශාල කැප කිරීමක් කළා. මේ චිත්‍රපටය රූගත කරලා තියෙන්නේ ත්‍රිකුණාමලයේ. ජූලි මාසයක තමයි රූගත කිරීම් කළේ. ඒ කාලයේ හරිම රස්නෙයි. චිත්‍රපටයේ ප්‍රධාන පසුතලය නිර්මාණය කර තිබෙන්නේ හුදෙකලා පරිසරයක. එතැනට පැය ගාණක් යන්න එන්න ඕන. නළු නිළියන්ට අවශ්‍ය විශාල පහසුකම් සපයන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මට. ඒ/ඛ් වෑන් දෙන්න, බෝතල් කරපු වතුර දෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. හෝටල් කාමර දෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මම ඒ දෙවල් ඒ අයට මුලින්ම කිව්වා. ඒ අය ඒ දේවල්වලට එකඟ වුණා. ඒ වගේම එයාලට පුළුවන් දායකත්වය මට ලබා දුන්නා. ඒ හැමෝටම මම ගෞරව කරනවා. දුෂ්කරත්වය අතරේ සුන්දරත්වය හොයා ගැනීම තමයි අපේ ඉලක්කය වුණේ.

චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තට පස්සෙත් යම් යම් බාධා ආවා කියලා ආරංචියි?

මුල ඉඳලම මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න ලංකාවේ සිනමා සර්කිට් එකක්වත් කැමැති වුණේ නැහැ. ඛ්ඡ්ඹ්, ඡ්ඒර්ථී සහ අනෙක් අය කැමැති වුණේ නෑ. කිහිප දෙනෙක් මේක පෙන්වන්න එකඟ වුණා. නමුත් ඉතාම කුඩා මුදලකට මෙය මිලදී ගන්න හැදුවේ. එක පුද්ගලයෙක් ලක්‍ෂ හැත්තෑපහකට තමයි මේ චිත්‍රපටය ඉල්ලුවේ. මම කිව්වා එහෙම කරන්න පුළුවන්කමක් නෑ කියලා. අවසානයේ චිත්‍රපට සංස්ථාව එකඟ වුණා මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න. විශේෂයෙන්ම චන්දන රූපසිංහ මහත්මයා, අතුල මහත්මයා විශාල මැදිහත්වීමක් වුණා මේ චිත්‍රපටය එළියට ගන්න. සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය මේ චිත්‍රපටයට තිබෙන ආදරයට සහ මට තියෙන බැඳීමට මේ චිත්‍රපටයට මැදිහත් වුණා. නැතිව ඒ අයට මෙයින් විශාල ආර්ථික ලාභයක් ලැබෙන්නේ නෑ. මේ චිත්‍රපටය අසාර්ථකයි කියලා පෙන්වන්න ඕන පිරිස් ලංකාවේ ඉන්නවා. මොකද ඔවුන් කැමැතියි හින්දි, ඉංග්‍රීසි චිත්‍රපට ගෙනත් පෙන්වන්න. මිත්‍රයන්ගේ චිත්‍රපට පෙන්වන්න. මොකද ඒක ඔවුන්ට ලාභදායකයි. පසුගිය සෙනසුරාදා අපිට ආරංචි වුණා ගල්කිස්ස ඕඩියන්ස් සිනමා ශාලාවේ සහ පානදුර මාෂා සිනමා ශාලාවට රාත්‍රි 7.00ට ආපූ ප්‍රේක්‍ෂකයෝ හරවල යැව්වා කියලා. ලොකු මාෆියාවක් මේක ඇතුළේ තියෙනවා. ඒකට අපි මුහුණ දෙන්න ඕන.

ලාංකේය සම්මාන උළෙලවලදී දැවෙන විහඟුන් ඇගැයීමට ලක් වෙයිද?

මම මේ චිත්‍රපටය කළේ සම්මාන සඳහා නෙවෙයි. නමුත් සම්මාන ලැබීම සතුටට කාරණාවක්. ශක්තියක්. සම්මාන නොලැබුණාට කිසි ගැටලුවක් නැහැ. මම චිත්‍රපට දෙකයි කරලා තියෙන්නේ. මට සැලකිය යුතු අන්තර්ජාතික සම්මාන, ඇගැයුම් ලැබිලා තියෙනවා. මම ජීවිතයේ අතෘප්තිමත් මිනිසෙක් නෙවෙයි.

ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමු?

මාලිනී ෆොන්සේකා මහත්මිය ප්‍රධාන චරිතය නිරූපණය කරන 'අම්මා' කියන චිත්‍රපටයේ වැඩකටයුතු කරමින් ඉන්නවා. ලෙනාඩ් වුල්ෆ්ගේ ලංකාවේ ජීවිතය ගැන චරිතාපදානයක් කරන්න පර්යේෂණ කරන්න පටන් අරගෙනත් ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon