බදුල්ලේ 'කැට හොරු' වැඩිවෙයි

  👤  1702 readers have read this article !
Published by : MB WEB 2018-07-12 07:33:27

මීගහකිවුල - රුවන් කුමාර

බදුල්ල - මහියංගණ මාර්ගයට යාබදව පිහිටි කන්දකැටිය හා බදුල්ල පොලිස් වසම්වලට අයත් බෞද්ධ ආගමික මධ්‍යස්ථාන තුනක තිබූ පින් කැට පෙරේදා (10දා) රාත්‍රියේ හා ඊයේ (11 දා) අලුයම් කාලයේ කිසියම් පිරිසක් විසින් කඩා ඒවායේ තිබූ මුදල් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම පින් කැට තුනටම ඉබි යතුරු සවිකර තිබූ අතර මැදියම් රැයේ එහි පැමිණි කිසිවකු විසින් මෙම පින්කැටවලට සවිකර තිබූ ඉබි යතුරු කඩා ඒවා විවෘත කර මුදල් පැහැරගෙන ගොස් තිබේ.

තල්දෙන බෝධිරාජාරාම විහාරස්ථානය, තල්දෙන 11 කණුව ආගමික මධ්‍යස්ථානය හා බලගොල්ල 17 කණුව බෝධි ප්‍රාකාරය අසල සවිකර තිබූ පින් කැට තුන මේ අයුරින් කඩා මුදල් පැහැර ගෙන ගොස් ඇති බවට එම ස්ථාන භාර දායක පිරිස් විසින් කන්දකැටිය හා බදුල්ල පොලිසි වෙත පැමිණිලි කර ඇත.

සොකරම් කරන ලද මුදල කොතෙක්දැයි ගණන් බලා නොමැත.

තල්දෙන විහාරස්ථානය අසල ඊයේ (11දා) අලුයම 12.30ට පමණ මෝටර් රථයකින් පැමිණි කිසිවකු විහාරස්ථානය අසල මෝටර් රථය නවතා පින් කැටය අසලට පැමිණෙන ආකාරය එහි සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ සටහන්ව ඇතත් එමඟින් සැකකරු හඳුනා ගැනීමට අසීරු බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් තල්දෙන බෝධිරාජාරාම විහාරාධිකාරි තල්දෙන ධම්මවංශ හිමියෝ පැවැසූහ.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවකදීද මේ අයුරින්ම මෙම පින්කැට කඩා මුදල් පැහැරගෙන ගොස් තිබූ අතර කිසියම් සංවිධානාත්මක කල්ලියක් මෙම සොරකම් සිදුකරන බව සිතිය හැකි යැයි ද විහාරාධිකාරි තල්දෙන ධම්මවංශ හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

සොරකම් සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වෙත දැනුම් දී ඇති අතර පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර
ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon