ධනුෂ්කටත් ක්‍රිකට් පිටිය තහනම්

  👤  1579 readers have read this article !
Published by : MB WEB 2018-07-23 13:28:59

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති කරගත් ගිවිසුමට එරෙහිව යමින් ක්‍රීඩක ආචාර ධර්ම කඩකිරීමක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හට අදාළ පරීක්ෂණය අවසාන වන තුරු ජාත්‍යාන්තර ක්‍රිකට් තරග තහනමක් පැනැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

මෙම තහනමට අදාළ කාලසීමාව ඉදිරියේදී ඔහුට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විනය කමිටුව මඟින් පැවැත්වෙන පරීක්ෂණයකදී තීරණය කරනු ලබන අතර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමඟ දෙවැනි ටෙස්ට් තරගයට අදාළ තරග ගාස්තුවද අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක මෙසේ ජාතික ක්‍රීඩකයකු ලෙස විනය කඩ කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්වීමෙන් පසු සිදු කරනු ලැබූ මූලික පරීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මේ අතර මෙම වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී තරගයක් අතරතුර බංග්ලාදේශ ක්‍රීඩක තමීම් ඉක්බාල්ගේ දැවී යැමෙන් අනතුරුව ඔහු හට බැන වැදීම හේතුවෙන් ද ධනුෂ්ක ගුණතිලකට අසාදු ලකුණක් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් පසුව පියවර ගෙන තිබිණි. තවද පසුගිය වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තරගාවලියේදී විනය කඩකිරීම හේතුවෙන් ඔහුට සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන තරග 6ක් තහනම් කිරීමට ද මේ වන විටත් පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව මෙවන් දඬුවමක් පැනැවීමට ආසන්නම හේතුව වී ඇත්තේ පෙරේදා රාත්‍රියේ ඇති වූ සිදුවීමක් බවද දැනගන්නට ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon