නිවුස් කියන කෝෂිලාගේ හීන හැබෑ වුණු දවස

  👤  3023 readers have read this article !
Published by : MB WEB 2018-07-27 09:02:19

කෝෂිලාගේ ජීවිතේ සුන්දර වෙනසක් වුණානේ. මුලින්ම ඒ ගැන කියමු නේද?

ජීවිතේ සුන්දරම දවසක්, හීන දැකපු දවසක් උදාකර ගත්තා. පසුගිය ජුනි 8 වැනිදා තමයි මම විවාහ වුණේ. හිතපු විදියටම හැමදේම කරගන්න පුළුවන් වුණා. මගේ සැමියාගේ සහ මගේ පවුලේ අයත් අපේ යාළුවොත් අපිට ගොඩක් උදවු කළා.

කවුද මේ කෝෂිලාගේ හිත අරගෙන අතගත්ත කෙනා?

එයාගේ නම තුසිත චරිත්. එයා වෘත්තියෙන් ජේ‍යෂ්ඨ අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙක්.

ජීවන සහකාරයාව මුණගැහුණේ කොහොමද?

එයාව මට මුණගැහෙන්නේ මීට අවුරුදු තුනකට කලින්. යාළුවකුගේ මල්ලි කෙනෙක්ගේ වෙඩින් එකකදී තමයි එයාව හඳුනා ගත්තේ. ඊට පස්සේ අපි යාළුවෝ වගේ කතාබහ කළා. ආදර කතාව පටන් ගත්තේ ඊට පස්සේ.

කෝෂිලාගේ හිත තුසිත ළඟ නැවතුණේ විශේෂ හේතුවක් නිසාම වෙන්න ඇති නේද?

එයා හරි තැන්පත් කෙනෙක්. හරිම නිහඬ චරිතයක්. කතාබහ කරද්දී වුණත් එයා හරිම නිවුණු චරිතයක් කියලා මට දැනුණා. ඒකයි මම එයාට කැමැති වුණේ.

ඔය ආදර කතාවට බාධා ආවෙම නැද්ද?

අපේ සම්බන්ධය ගැන මුලින්ම අම්මට කිව්වා. ඊට පස්සේ අම්මා කිව්වා එයාව පවුලේ අයට මුණගස්සන්න කියලා. අපේ හදහන් ගැළපුණා. ඉතින් දෙපාර්ශ්වයෙන්ම අපිට විරුද්ධත්වයක් තිබුණේ නැහැ.

ආදර සම්බන්ධය ගොඩනැඟෙන්න කලින් තුසිත දැනගෙන හිටියද, කෝෂිලා ප්‍රවෘත්ති නිවේදිකාවක් කියලා?

නැහැ. එයා මාව ඊට කලින් හඳුනාගෙන හිටියේ නැහැ. යාළුවෝ විදියට කතාබහ කරද්දී තමයි එයා මං ගැන විස්තර දැන ගත්තේ.

විවාහ වුණාට පස්සේ වගකීම් ගොඩක්නේ. ඒ වගකීම් කෝෂිලා අකුරට ඉෂ්ට කරනවද?

විවාහ වුණාට පස්සේ අපි වෙනම ගෙදරක ඉන්නේ. මම උයන පිහින වැඩ, ගෙදර වැඩත් කරනවා.

වෘත්තීයමය කටයුතුත් එක්ක පවුලේ වගකීම් ඉෂ්ට කරන්නත් කාලය තියෙනවාද?

මම පෞද්ගලික ආයතනයක විධායක ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. ඒ අතරේ සිරස ටී.වී. නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට වඩා මම කාර්යබහුලයි. හැබැයි මොන වැඩකටයුතු තිබ්බත් මම පවුලේ දේවල්වලටත් මුල් තැන දෙනවා.

ඒ කියන්නේ කෝෂිලා ජීවිතේ සියල්ල සමබර කරගෙන ජීවත් වෙන කෙනෙක්?

ඔව්. මුලින් නම් හැමදේම සමබරව කරගන්න අමාරුයි කියලා හිතුවේ. ඒත් කිසි දෙයක් එකකට එකක් පටලවා ගන්නේ නැතුව වෙලාව වෙන් කරගෙන කළොත් ජීවිතේ පටලවා ගන්නේ නැතුව හැමදේම කරගන්න පුළුවන්.

සැමියාගෙන් කෝෂිලාගේ වැඩ කටයුතුවලට ලොකු සහයක් ලැබෙනවත් ඇති.

ඔව්. මට ලොකු සහයෝගයක් දෙනවා. එයාව මට මුණගැහෙන්න කලින් මගේ අම්මයි, තාත්තයි තමයි මගේ පස්සෙන්ම හිටියේ. දැන් මම රෑ නිවුස් කියන්න ගිහින් එද්දී පවා මාව ගෙනියන්න එන්නේ මගේ සැමියා. මගේ හැම දේකදිම එයා මගේ සෙවණැල්ල වගේ ඉන්නවා.

ඔබව බොහෝ අය දන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක් නිසා. ඇත්තටම ඔබ තෝරාගෙන තියෙන්නේ වගකීම් සහිත පැතිකඩක් නේද?

ඔව්. ඇත්තටම ප්‍රවෘත්ති නිවේදනය කියන්නේ වගකීම් සහිත දෙයක්. හැමෝටම නිවුස් කියන්න බැහැනේ. ඒකට හොඳ දැනුමක් සහ පුහුණුවක් තියෙන්නත් ඕනේ. ඒ වගේම ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස වැඩ කරද්දී අපිටත් හොඳ දැනුමක් ගොඩනැඟෙනවා. මම හරිම කැමැත්තෙන් ඒ වගකීම ඉෂ්ට කරනවා.

දැන් ප්‍රවෘත්ති නිවේදනයට එකතු වෙලා කොච්චර කාලයක් වෙනවද?

සිරස ප්‍රවෘත්ති කියන්න පටන් අරගෙන අවුරුදු හතරක් වෙනවා. ඇත්තටම මේ වෙලාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයම මතක් කරන්න ඕනේ. මගේ අඩුපාඩු නිවැරැදි කරගෙන මේ කාර්ය කරන්න ඔවුන් හොඳ සහයෝගයක් දුන්නා.

ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට කෝෂිලාට ජීවිතේ අමතක නොවන දවස් ඇති නේද?

මීට අවුරුදු 4කට කලින් ප්‍රවෘත්ති නිවේදනය කරන්න ආපු මුල්ම දවසේ පුදුම බයකින් ප්‍රවෘත්ති කිව්වේ. මගේ හාට් බීට් එක මාව අහන අයට ඇහෙයිද කියලත් වෙලාවකට මට හිතුණා. එදා බය වුණාට මම හරියට මගේ කාර්යය කළා. දැන් නම් අත්දැකීම් එක්ක කිසිම බයක් නැතුව ඒ කාර්යය කරනවා.

මොනවද ඉදිරි වැඩ?

රැකියාවේ වැඩකටයුතු සහ පවුලේ වැඩකටයුතු එක්ක මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය අවසන් කළා. එහි උපාධි ප්‍රදානෝත්සවය ලබන මාසේ තියෙනවා. ඊට පස්සේ ඉතිරි උසස් අධ්‍යාපන කටයුතුත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon