ලාඕසය: ජල විදුලි බලාගාරයක වේල්ලක් කඩා වැටී විශාල පිරිසකට හානි

  👤  1673 readers have read this article !
Published by : MB WEB 2018-07-25 10:10:25

ලාඕසයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පැවති වේල්ලක් කඩා වැටීමෙන් පිරිසක් මරුමුවට පත්ව ඇති අතර, සිය ගණනක් අතුරුදහන්ව සිටින බව ජනමාධ්‍ය වාර්තා කරයි.

Attapeu ප්‍රාන්තයේ පිහිටි ජල විදුලි බලාගාරයක වේල්ල සඳුදා (23) රාත්‍රියේ කඩාවැටීමත් සමග ගම්මාන හයක හදිසි ගංවතුරක් හටගත් බව ලාඕ පුවත් සේවය වාර්තා කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් 6,600 කට වැඩි පිරිසකට උන් හිටි තැන් අහිමි වී තිබේ.

ගංවතුරට කොටු වූ ජනතාව ජලයෙන් යට වූ සිය නිවාසවල වහල මත නැගී සිටින අන්දම සහ බෝට්ටු මගින් ඔවුන් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යන ආකාරය ඡායාරූපවල දැක්වේ.

"මේ ඛේදවාචකය මගින් ජීවිත කිහිපයක් බිලිගෙන සිය ගණනක් දෙනා අතුරුදහන් කර ඇති," බව ද පුවත් සේවය වාර්තාකර තිබුණි.

කාම්බෝජ සහ වියට්නාම දේශසීමාවේ පිහිටි Attapeu, ලාඕසයේ දකුණු කෙලවරේ පිහිටි ප්‍රාන්තය ය.

කෘෂිකර්මාන්තය සහ ලී පදනම් කරගත් කර්මාන්ත පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන එම ප්‍රාන්තය, ජල විදුලි බලය අපනයනය කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon