පාකිස්තාන මැතිවරණය මැද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා රැසක්

  👤  949 readers have read this article !
Published by : MB WEB 2018-07-25 15:50:47

පාකිස්තානයේ අද (25) පැවැත්වෙන මහ මැතිවරණය සඳහා මිලියන ගණනක් පිරිස සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටිති. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා වෙමින් තිබෙන අතර, 'ක්වෙටා' නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 27ක් පමණ මිය ගොස් තිබේ.

තවත් ස්ථාන කීපයකින් වාර්තා වූ සුළු පිපිරීම් සහ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් එක් අයෙකු මියගොස් කීප දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙවර පාකිස්තාන පාර්ලිමේන්තු බලය හිමිවන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් නියෝජනය කරන පක්ෂයට ද, නැත්නම් දූෂණ චෝදනා හේතුවෙන් අපකීර්තියට පත් හිටපු අගමැති නවාස් ෂෙරීෆ් අයත් පක්ෂයට ද යන්න ජනතාව තීරණය කරනු ඇත.

කෙසේවෙතත්, මැතිවරණ ප්‍රචාරක කටයුතු පුරාවට දූෂණ, වංචා සහ ප්‍රචණ්ඩත්වය දැකිය හැකි විය.

ඡන්ද වංචා කිරීමට දැරූ "අශෝබන" උත්සාහයන් බොහොමයක් වාර්තා වී ඇති බව පකිස්තානයේ මානව හිමිකම් කොමිසම පවසයි.

මැතිවරණය පැවැත්වෙන කාලය තුළ රට පුරා ආරක්ෂාව තර කර ඇති අතර 370,000 කට අධික හමුදා භටයින් පිරිසක් යොදවා තිබේ. නමුත් මේ සියල්ල මධ්‍යයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතී.

බලොචිස්තාන ප්‍රාන්තයේ ක්වෙටා නගරයේ සිදු වූ බෝම්බ පිපිරීම ඡන්ද මධ්‍යස්ථානයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව බලධාරියෝ පවසති.

මෙම මස මුලදී පකිස්තානයේ මස්තුන්ග් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයෝ 149 දෙනෙකු පමණ මියගියහ. එම ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් භාර ගන්නා ලදී.

පකිස්තානයට දේශපාලන ආරාවුල් ආගන්තුක නොවන අතර, එය පසුගිය මාස කීපය ඇතුළතද දක්නට ලැබිණි.

පසුගිය මැතිවරණය ජයග්‍රහණය කළ පුද්ගලයා වන නවාස් ෂෙරීෆ් මෙවර මැතිවරණය නරඹන්නේ සිර මැදිරියේ සිටය. 2015 දී පැනමා ලිපිගොනුවලින් අනාවරණය වූ පරිදි ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී යෙදුනු දූෂණ සම්බන්ධයෙන් ඔහු පසුගියදා සිර භාරයට පත් වුණි.

එම දුෂණවලට සම්බන්ධ වීම හේතුවෙන් නවාස් ෂෙරීෆ්ගේ දියණිය වන මාරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් සහ ඔහුගේ බෑනා වන සෆ්දාර් අවාන්ට වසරක සිර දඬුවමක් නියම විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon