චන්ද්‍රසේන හෙට්ටිආරච්චි 'තවලම ගී අසිරිය' වේදිකාවට ගෙනෙයි

  👤  1944 readers have read this article !
Published by : MB WEB 2018-08-02 10:48:23

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ බොහොම නිහඬව ඒත් හොඳ ගමනක් යන කලාකරුවෙක්. වසර පහකට වරක් ඔහු තම රසිකයන් වෙනුවෙන් තමන්ගෙ නිර්මාණ ඇතුළත් ප්‍රසංගයක් පවත්වනවා. විශේෂත්වය වන්නේ මේ ප්‍රසංගය නොමිලේ පැවැත්වීමයි. 2013 අවුරුද්දෙ "ඔයා නිසා" ප්‍රසංගය තම රසිකයන්ට තිළිණ කළ චන්ද්‍රසේන මේ දවස්වල තමන්ගෙ අලුත්ම ප්‍රසංගයට සූදානම් වෙනවා.

මේ අලුත් ප්‍රසංගය ගැන යමක් කියමු..?

මේක නම් කරලා තියෙන්නේ "චන්ද්‍රසේන හෙට්ටිආරච්චි 40 වසරක අභිමානය සෙනෙහසේ ගී අසිරිය තවලම" කියලයි. සැප්තැම්බර් 7 වැනිදා සවස 6.30ට මහරගම යොවුන් රඟහලේදී තමයි එය පැවැත්වෙන්නේ.

සැප්තැම්බර් 7 වැනිදා ප්‍රසංගයට දායක වෙන අනිත් පිරිස ගැනත් සඳහන් කරමු..?

ප්‍රසංගයට සංගීතය සපයන්නේ පොලිස් පෙරදිග සංගීත කණ්ඩායම සහ ඕල් රයිට් සංගීත කණ්ඩායමයි. තරුණ අයට රස වින්දනයක් ලබාදෙන්න තමයි ඕල් රයිට් සංගීත කණ්ඩායම සහභාගි කරගන්නේ.

මගෙ දුව ලිහිණි, ශශිකා නිසංසලා දෙන්නා යුග ගායනයෙන් මට සහාය වෙනවා. චන්ද්‍රලේඛා නංගී ලංකාවට ආවොත් අනිවාර්යයෙන්ම ඇයත් යුග ගායනයෙන් මේ ප්‍රසංගයට දායක වේවි. තරුණ සේවා සභාවේ නැටුම් කණ්ඩායමත් තම නර්තනයෙන් මේ ප්‍රසංගය හැඩ කරනවා.

මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ කවුද..?

ප්‍රසංගය සංවිධානය කරන්නේ ආර්.ඒ.ඩී. සිරිසේන, සෝමසිරි මැදගෙදර හා උපාලි ගුණසිංහ මහත්වරු ඇතුළු කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් යුත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහෘද පදනම.

මේ ප්‍රසංගය නොමිලේ පැවැත්වෙන ප්‍රසංගයක් නේද..?

ඔව්. මේ ප්‍රසංගය නැරඹීම සඳහා කිසිදු අය කිරීමක් නැහැ. ඒ හින්දා හිටගෙන හරි ප්‍රසංගය බලන්න එන්න කියලා මගේ රසිකයන් හැම දෙනාටම මං මේ මොහොතේ ආරාධනා කරනවා.

ඔබේ සංගීත ගමනේ මුල් අඩිතාලම ගැන මතක් කරමුද..?

මගේ සංගීත ගමනට අඩිතාලම වැටෙන්නේ ගෙදරින්මයි. අපේ අම්මයි තාත්තයි උදේ වැඩට ගිහින් හවස ගෙදර ඇවිත් වෙහෙස නිවාගන්න අපිවත් වටකරගෙන සින්දු කියනවා. තාත්තට ජපන් මැඩ්ලින් එක හරි ලස්සනට වාදනය කරන්න පුළුවන්. අම්මයි, තාත්තයි සින්දු කියන හැටි බලාගෙන ඉඳලා මටත් සංගීතයට ලොකු ආසාවක් ඇති වුණා. මං ඉඩ ලැබුණු හැමවෙලාවකම සින්දු කියන්න පුරුදු වුණා.

ඔබේ ජීවිතයට එළියක් වැටුණු තරුණ සේවා සභාවට ඔබ එක්වන්නේ කොහොමද..?

1979 යෞවන සම්මාන උළෙලේදී හොඳම ගායකයා, හොඳම තනු නිර්මාණය, හොඳම පද රචනය කියන සම්මාන තුනම මට ලැබුණා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තරුණ සේවා සභාවේ බෙල්වුඩ් රූපවාහිනි ආයතනයේ සංගීතය හදාරන්න මට අවස්ථාව උදාවුණා. බෙල්වුඩ්වල මගේ මුල්ම ගුරුවරයා වෙන්නේ ෂර්ලි වෛජයන්ත සර්. ඊළගට නිහාල් ගම්හේවා සර්. බෙල්වුඩ් යනකොටත් මට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒත් සංගීතය ගැන එතරම් දැනුමක් තිබුණේ නැහැ. ඒ හැමදේම මට ලැබුණෙ ජාතික තරුණ සේවා සභාවෙන්.

ඔබේ මුල්ම ප්‍රසංගය පැවැත්වුණේ කොහේදිද..?

මුල්ම ප්‍රසංගය පැවැත්වුණේ බෙල්වුඩ්වලමයි. ඉන් පස්සෙ තවත් ප්‍රසංග කිහිපයක්ම එතැනම පැවැත්වුවා. මුල්ම බාහිර ප්‍රසංගය පැවැත්වූවේ යටියන්තොට මධ්‍ය මහා විද්‍යාලයේ.

මහරගම යොවුන් රඟහලේ පැවැත්වුණු ඔබේ මුල්ම ප්‍රසංගයේදී බොහොම හැඟීම්බර දෙයක් සිදුවුණා නේද..?

ඔව්, මං එදා "අම්මා.." සින්දුව කිව්වේ අම්මව වේදිකාව උඩට එක්කගෙන ඇවිත් ඉන්දලා. මට ඉන්න ලොකුම වස්තුව තමයි ඇය. ඇය බොහෝම සතුටු වුණා. මොන තරම් ආරාධිතයන් හිටියත් මගේ හැම ප්‍රසංගයකම ප්‍රධාන ආරාධිත තැනැත්තිය තමයි මගේ අම්මා.

ගායන දිවියේ ගෙවී ගිය 40 වසරක කාලය දිහා ආපසු හැරිලා බලද්දී මොනවද හිතෙන්නේ..?

හරිම සතුටුයි. මගේ රසිකයන් වගේම තරුණ සේවා සභාවේ සියලුම කාර්ය මණ්ඩලය බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. තරුණ සේවා සභාවේ අය මං සලකන්නේ මගේ පවුලේම අය විදියට.

ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon