ක්‍රීඩා ව්‍යායාම වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සැප්තැම්බර් 6දා සිට 9දා තෙක් කොළඹදී

  👤  1012 readers have read this article !
Published by : MB WEB 2018-08-03 10:16:30

ගමිත දෙහිපිටිය

ක්‍රීඩා වෛද්‍ය ආයතනය සහ පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව බි්‍රතාන්‍ය වෛද්‍ය විද්‍යා සඟරාවේ ප්‍රමිතීන්ට අනුගතව හා ලාංඡන අනුග්‍රාහකත්වය සහිතව (ritish Journal of Sports Medicine-BJSM) ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන ක්‍රීඩා ව්‍යායාම වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ලබන සැප්තැම්බර් මස 6 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

විදේශීය විද්වතුන් 25 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හරහා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ඉතා වැදගත් වන ඉසව් 4ක් ආවරණය කිරීමට සැලැසුම් කර ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් 6 වැනිදා 'ක්‍රීඩාව හා ළමුන්' යන මාතෘකාව යටතේ ක්‍රීඩාවේ නිරත දරුවන් සම්බන්ධ සියලු ක්ෂේත්‍ර ආවරණය කරන අතර සැප්තැම්බර් 7 සහ 8 පදක්කම් අපේක්ෂිත තරගකාරී ක්‍රීඩාවන් සහ සැප්තැම්බර් 9 වැනිදා ශරීර සෞඛ්‍ය නංවාලීමට කරනු ලබන ව්‍යායාම යන ක්ෂේත්‍රයන් ආවරණය කරනු ඇත.

තවද මෙයට සහභාගි වන්නන් හට සම්මන්ත්‍රණ දිනයන් 4 අවසානයේදී ක්‍රීඩාව හා විද්‍යාව එකට සම්බන්ධ කරගනිමින් වඩා ප්‍රතිඵලදායී ආකාරයට ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැළීම පිළිබඳ අවබෝධයක් ලැබෙන අතර යම් පුද්ගලයකු ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වන අවස්ථාවේ සිටම ඔහුගේ යෝග්‍යතාව පිළිබඳ විමසා බලමින් ඉදිරි ජයග්‍රහණයන් කරා ගමන් කරවිය යුතු ආකාරයද පැහැදිලි කරනු ඇත. එමෙන්ම ක්‍රීඩකයකුගේ යෝග්‍යතාව මැනීමේදී ඔහු තෝරාගෙන ඇති ක්‍රීඩාව ඔහුගේ යෝග්‍යතාවට ගැළපේද, වර්ධනය කළ යුතු පුහුණු ක්ෂේත්‍රයන් වන්නේ නම් ඒ කුමන ක්ෂේත්‍රයන්ද, එම පුහුණුව තුළදී ඔහුට ලැබිය යුතු පෝෂණයන් මොනවාද සහ අතිරේක පෝෂණයන් අවශ්‍ය වන්නේ නම් ඒවා ලබා දිය යුතු ආකාරය පිළිබඳවද මෙම සම්මන්ත්‍රණය තුළ සාකච්ඡා කිරීම විශේෂත්වයකි.

මේ අතර මෙම සම්මන්ත්‍රණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසා සිටියේ පසුගිය දශක කිහිපයක් තුළ ක්‍රීඩා ඉසව් මඟින් ලබාගන්නා ලද ජයග්‍රහණයන් අභිභවා යන ජයග්‍රහණයන් ලබා ගැනීමට ස්වාභාවික ජවය හා ජානමය කුසලතාව සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් අප රට සතු වන බව පොදු පිළිගැනීම වන බවයි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ එදිරිසිංහ මහතා 'එම තත්ත්වය වර්ධනය කර ගැනීමට නම් ක්‍රීඩකයන් පුහුණුකරුවන් ඇතුළු ඒ සඳහා සම්බන්ධ වන සියලු පාර්ශ්වයන් කෙරෙහි ක්‍රීඩාව පිළිබඳව විද්‍යාත්මක දැනුම ඇති කිරීම ඉතා වැදගත් කරුණක් වන අතරම මෙම සම්මන්ත්‍රණය මඟින් එම අරමුණු සපුරාලීම අපේක්ෂා කරනවා.

එමෙන්ම දෙවනුව අවධානය යොමු කෙරෙන ප්‍රජා ක්‍රීඩාව පිළිබඳ විමසා බැලීමේදී ශ්‍රී ලංකාව තුළ සිදුවන සියලු මරණ සංඛ්‍යාවෙන් සියයට 71කට ආසන්න ප්‍රමාණයකට ප්‍රධාන හේතුව බෝ නොවන රෝග බව අනාවරණය වී තිබෙනවා. කාර්යබහුල පරිසරයක් තුළ ව්‍යායාම්වලින් තොර ජීවන රටාව කෙරෙහි යොමුවීම බෝ නොවන රෝග වර්ධනය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. ඒ නිසා ක්‍රීඩාවට නැඹුරු ජීවන රටාවක් තුළ ක්‍රීඩා සංස්කෘතියක් අප අතර ප්‍රචලිත කිරීම වඩාත් කාලෝචිත බව පෙනෙනවා. ඒ පිළිබඳ නිවැරදි දැනුමක් ඇති විද්‍යා හා සම්බන්ධ පර්යේෂණයන් මඟින් සොයාගත් දත්ත හරහා න්‍යායන් ගොඩනඟා ගත හැකි පුද්ගලයන් මේ ක්ෂේත්‍රය තුළ බිහිකළ යුතුයි. එවන් විද්‍යාත්මක දැනුමැති පුද්ගලයන් බිහිකරමින් ප්‍රජා ක්‍රීඩාව නංවාලීමද මෙම සම්මන්ත්‍රණය තුළින් අපේක්ෂා කරනවා' යැයි පැවැසීය.

ඡායාරූපය -
සස්සඳ ලියනාරාච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon