සාමසර කන්ද 'ගී' පබැඳුමට සම්මානනීය ඇගයුම්

  👤  1886 readers have read this article !
Published by : MB WEB 2018-08-08 11:02:17

ඔබේ නිර්මාණය මෙවර රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වුණා. ඔබේ නිර්මාණයේ පසුබිම ගැන මුලින්ම කතා කරමු.

"සාමසර කන්ද" කියන ගීතයට තමයි රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී හොඳම පද රචනයට හිමි සම්මානය ලැබුණේ. මේ ගීතයේ පද රචනය කළේ මම. සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග. ගායනා කළේ සමන් ලෙනින්. ඇත්තටම මේ ගීතය නිර්මාණය කළේ අරණායක ප්‍රදේශයේ සාමසර කන්ද නාය යෑම නිසා ඇතිවෙච්ච සිදුවීමක් මුල්කරගෙන.

මොකක්ද ඒ සිදුවීම?

සාමසර කන්දට යට වුණු මිනී හොයන තැනක ඉඳන් ගැබ්බර අම්මා කෙනෙක් අඬන දර්ශනයක් මම ප්‍රවෘත්තිවලින් දැක්කා. සමහරවිට ඒ කාන්තාවගේ තාත්තා එහෙම නැත්නම් සැමියා මැරිලා වෙන්න පුළුවන්. එහෙම දෙයක් සිදු වුණහම මේ සමාජය තුළ කාන්තාවක් කොච්චර අපහසුතාවකට ලක් වෙනවද කියලා මට හිතුණා. ඒ සිදුවීමෙන් මගේ හිත කම්පනය වුණා. ඒ ඔස්සේ තමයි මේ ගීතය නිර්මාණය කරන්න ඕනේ කියලා මං හිතුවේ.

ඇයි මේ වගේ වෙනස් තේමාවක ගීතයක් කරන්න හිතුවේ?

මාව කම්පනය කරපු සිදුවීම් ආශ්‍රයෙන් තමයි මම ගීත ලියන්නේ. සාමසර කන්ද නාය යෑමෙන් සිදුවුණු සිදුවීම මාව කම්පනයට පත් කළා. ඒ නිසා තමයි මම මේ ගීතය ලිව්වේ.

මේ ඔබට ලැබුණු පළමු සම්මානනීය ඇගයුමද?

ඔව්. මේ මට ලැබුණු පළමු වැනි සම්මානය. ඒ වගේම තමයි රාජ්‍ය සම්මානයකට මගේ නිර්මාණයක් නිර්දේශ වුණෙත් පළමු වැනි වතාවට.

මේ සම්මානය බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්ද?

අනේ නෑ. මම ලියන හැම ගීතයක්ම හොඳට හිතලා මතලා තමයි කරන්නේ. මේ සම්මාන උළෙලට මම ගීත 3ක් ඉදිරිපත් කළා. සම්මානයක් ලබා ගන්න නොවෙයි මම බලාපොරොත්තු වුණේ. ඒ නිර්මාණ අවසන් වටයට යනකම් තියෙයි කියලා තමයි මම බලාපොරොත්තු වුණේ. මෙවර මගේ ගීතයත් එක්ක අවසාන වටයට නිර්දේශ වුණේ සෝමරත්න දිසානායකගේ ගීතයක් සහ ගියවර මේ සම්මානය ගත්ත අසංක රුවන් සාගරගේ ගීතයක්.

ඔබ ගී පද රචනා කරන්නේ තමන්ගේ පෞද්ගලික අත්දැකීම් මුල් කරගෙනද, එහෙමත් නැතිනම් වෙනත් මූලාශ්‍ර පදනම් කරගෙනද?

මගේ අත්දැකීම් හෝ මාව කම්පනය කරපු වෙන අයගේ අත්දැකීම් ආශ්‍රයෙන් තමයි මම ගීත නිර්මාණය කරන්නේ.

අද කාලේ තියෙන ගීත එක්ක මෙවැනි අර්ථාන්විත පද රචනා සහිත නිර්මාණවලට මාධ්‍යවලින් ලැබෙන ඉඩකඩ ගැන සැහීමකට පත් වෙනවාද?

මාධ්‍ය තුළ තියෙන්නේ වාණිජ පරමාර්ථයක්. ඒකත් එක්ක මාධ්‍ය හැල්මේ දුවනවා. හැබැයි එක්තරා කණ්ඩායමකට අවශ්‍යයි ආනන්දයෙන් ප්‍රඥාවට යන නිර්මාණ. අද වෙනකොට අවර ගණයේ නිර්මාණවලට මාධ්‍ය තුළ ඉඩකඩ වැඩියි. හැබැයි සමහර මාධ්‍යවලින් අර්ථාන්විත නිර්මාණවලට යම් ඉඩකඩක් ලබා දෙනවා. ඒ ගැන මම ඒ මාධ්‍යවලට ස්තුතිවන්න වෙනවා.

මේ වෙන කොට ගී පද රචනා කොච්චර ප්‍රමාණයක් කරලා තියෙනවාද?

ලියපු ගීත 100ක් විතර තියෙනවා. හැබැයි ගීත 13ක් වගේ තමයි තාම පටිගත කරලා තියෙන්නේ.

ගී පද රචනයට යොමු වුණ මුල ගැනත් මතක් කරමු?

මම ඉගෙන ගත්තේ තවලම විද්‍යාරාජ විද්‍යාලයෙන්. පාසල් කාලේ ඉඳලාම පළාත්, කලාප, දිස්ත්‍රික් මට්ටමින් විවිධ ජයග්‍රහණ ලබලා තියෙනවා. ඊට පස්සේ මම රුහුණ විශ්විද්‍යාලයට ඇතුළත් වෙනවා. විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මම වෙනත් විශ්වවිද්‍යාලවල තියෙන කලා උළෙලවල්වලට, තරගවලට ගීත ලිව්වා. එයින් මට යම් යම් ඇගයීම් ලැබුණා. ඒ ඇගයීම් අනුව දිගටම නිර්මාණකරණයේ යෙදුණා. මම කවිය සහ ගීතය වෙන් කොට ගත්තේ ඒ කාලෙදි. මම අදත් වැඩියෙන් ආදරේ කරන්නේ කවියට. 2003 මගේ පළමුවැනි කවි පොත "කොන්‍ෙදාස්තර තාත්තා" යන නමින් එළි දැක්වූවා.

ඒ කවි පොත ගොඩගේ සම්මානවල නිර්දේශ කෘති හතරටත් ඇතුළත් වුණා.

ඉදිරි වැඩ කටයුතු මොනවාද?

ඉදිරියේදී සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ ගීත මඟින් සමාජයට පණිවුඩයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

උදාරා ඉන්දිවරී ජිනදාස

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon