රජිතගේ කුකුල් කේන්තියට ඇන්ඩ්‍රියා කැමැති නෑලු

  👤  1987 readers have read this article !
Published by : MB WEB 2018-08-18 11:31:03

රජිත හිරාන් කියන්නේ හාසේ‍යාත්පාදක චරිත ඔස්සේ අපිට හමුවන නළුවෙක්. හැමෝම සිනහා සයුරේ ගිල්වන රජිතගේ සැබෑවත් එයමද? නැත්නම් රජිත ඊට හාත්පසින්ම වෙනස්ද? ඒ ගැන දන්නේ ජීවිත කාලයම ගෙවන්න රජිත එක්ක එකතු වෙලා ඉන්න බිරිය ඇන්ඩ්‍රියා. ඒ නිසා රජිතගේ ඇත්ත තත්ත්වය දැනගන්න අපි ඇන්ඩ්‍රියාට කතා කළා

පෙම්වතා කාලේ
ඒ කාලේ රජිත හොඳට මිනිස්සු ආශ්‍රය කරලා පොළොවේ පය ගහලා ජීවත්වුණ කෙනෙක්. ඒ වගේම හරිම සංවේදීයි. ඒ ගතිගුණවලට තමයි මම කැමති වුණේ. පවුලත් එක්කත් හරිම එකතුයි. ඒ වගේම ඕන කෙනෙක් එක්ක හරිම සුහදයි. මටත් ආදරෙන් හිටියා.

රජිතගේ ජනප්‍රියත්වය ඔය දෙන්නගේ සම්බන්ධතාවයට බලපෑවේ නැද්ද?
එහෙම වෙලා නෑ. මොකද අපි බඳින්න කලින් වැඩිය ඇවිදින්න යනවට අපේ ගෙදරින් කැමැති වුණේ නෑ. අපි දෙන්න බඳින්න කලින් තනියම බලලා තියෙන්නෙත් එක ෆිල්ම් එකක් විතරයි. යාළු වෙලා ඉන්න කාලේ රජිතගේ ගෙදර අය අපේ ගෙදර ආවා අවුරුද්දකට සැරයක් කෑමකට.

විවාහයෙන් පස්සේ රජිත
පෙම්වතා කාලේ තිබුණ ඒ හොඳ ගතිගුණ සැමියා වුණාට පස්සේ තව වැඩි වුණා. ඇත්තටම ලොකු වෙනසක් වුණා. පවුලේ වගකීම් හොඳට දරන්න එයාට පුළුවන්. අපි දෙන්නම පවුලට තමයි මුල්ම තැන දීලා තියෙන්නේ.

තාත්තා කෙනෙක් විදියට දරන වගකීම්?
දුවගේ ඉස්කෝලේ වැඩ කරන්න උදවු කරනවා. බබාගේ පාසලේ තියෙන මවුපිය රැස්වීම්වලටත් අපි දෙන්නම යනවා. එයා බබාලා දෙන්න වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕන වගකීම් මිස් කරගන්නේ නැහැ.

ගෙදර වැඩවලටදෙන සහයෝගය
සීයට දෙසීයක් ගෙදර වැඩ වලට සහයෝගය දෙනවා. ගෙදර හිටියොත් ගෙදර වැඩවලටත් උදවු කරනවා. රජිත හරි කැමැතියි ඉන්ටර්නෙට් එකෙන් බලලා අලුත් අලුත් කෑම හදන්න. මුලදී මුලදී නම් රස නෑ. හැබැයි දැන් මටත් වඩා හොඳට එයා උයනවා.

රජිතව අපි දකින්නේ හාස්‍යමය චරිතවලින්. ඇත්ත ජීවිතයේ කොයි වගේ කෙනෙක්ද?
ඉක්මනට කේන්ති යනවා. රඟපාන කෙනාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. රජිත සැබෑ ජීවිතයේදී පාඩුවේ ඉන්න කැමැතියි. වහිනව නම් හරි ආසයි. හතර දෙනා එකට ගුළි වෙලා ඉන්නවා. හතර දෙනාම ගෙදර ඉන්න වෙලාවට කවුරුත් එනවට කැමැති නෑ. අපි දෙන්නම ගෙදර හිටියොත් ඒ දවසට බබාවත් ඉස්කෝලේ යවන්නේ නැතිව ගෙදර තියා ගන්නවා.

රජිතගේ අකැමැතිම ගති ලක්ෂණය?
ඉක්මනට කේන්ති යන එකට මම කැමැති නෑ. මොකක්හරි වැරැද්දක් දැක්කොත් එයාට හරියට කේන්ති යනවා.

රජිත කියන්න තියෙන දේ මූණටම කියන කෙනෙක් කියන්නේ ඇත්තද?
ඇත්ත ජීවිතයේ රඟපෑමක් නෙවෙයි කියලා රජිත කියන්නේ. කියන්න තියන දේ ඒ වෙලාවෙම කියලා දානවා. හිත ඇතුළේ තියාගෙන ඉඳලා වැඩක් නෑ කියලා කියනවා. වෙන කෙනෙක්ගේ දෙයක් මට වැඩක් නෑ කියලා හිතන්නේ නෑ. ඒ වෙලාවකදී වුණත් කියන්න තියෙන දේ මූණටම කියනවා.

අපි නොදන්න රජිතගේ රහස්
හරිම සංවේදීයි. ඒ වගේම හරිම සරල, නිහතමානී කෙනෙක්. ආදරේ බලාපොරොත්තු වෙනවා. ගොඩාක් ආදරේ වුණත්, අපිට ඒක පෙන්නන්නේ නෑ. හිත ඇතුළේ තියාගෙන ඉන්නවා.

නිවාඩුවක් ලැබුණම යන්න කැමැති තැන්
නුවරඑළියට යන්න තමයි වැඩිපුරම කැමති.

රජිත කරපු චරිතවලින් වැඩිපුරම හිත ගිය චරිතය
පිං පොං චරිතයට තමයි මම කැමැතිම. ඒ රඟපෑම හරිම ස්වාභාවිකයි. ඒක ආපහු ගියත් මිනිස්සු හරිම කැමැතියි ඒක බලන්න. බොඳ මීදුම් එකේ කුමාර කියන චරිතයටත් හරිම කැමැතියි. තව සුදු හාමිනේ නාට්‍යයේ සීරියස් චරිතයක් කළා. මම ඒකටත් කැමැතියි.

අතේ මුදල් ගැවසෙන වෙලාවට රජිත මොකද කරන්නේ?
මට තමයි සල්ලි ගෙනත් දෙන්නේ. මම රජිතගේ බෑන්ක් එක වගේ. ඒ වගේම මම තමයි ඉතුරු කරන පැත්ත වගේම වියදම් කරන පැත්ත බලන්නෙත්.

රජිත වැඩිපුරම ආදරය කරන්නේ
පවුලටම ආදරෙයි. හැබැයි දුවලා දෙන්නට තමයි වැඩියෙන්ම ආදරේ.

දුක හිතුණාම
දුක හිතේ තද කරගෙන ඉන්නෙත් නෑ. දුකක් දැනුණොත් මාව බදාගෙන අඬනවා ඒ වෙලාවට.

සතුටින් ඉද්දි රජිත
සතුටු හිතුණම නම් කටෙන් මුහුණෙන් ඒ වෙනස තේරෙනවා. පටස් ගාලා මට කෝල් කරලා හරි කියනවා සතුටු හිතෙන දේවල්.

කේන්ති ගියාම රජිත මොනවගේ චරිතයක්ද?
කේනිති ගියාම හොඳටම කෑ ගහනවා. සෝඩා බෝතලේ කැඩුවා වගේ තමයි. හැබැයි ඒ දේවල් ඒ වෙලාවට විතරයි. හිතේ තරහා තියාගෙන ඉන්නේ නෑ.

රජිතට වැඩිපුරම තරහ යන අවස්ථා
ඩ්‍රයිව් කරනකොට තමයි වැඩිපුරම කේන්ති යන්නේ. පාර්කින් වලදී අනිත් කෙනා ගැනත් හිතලා තමයි වාහනේ පාක් කරන්නේ. අනික් අය එහෙම හිතන්නේ නැති වුණාම රජිතට කේන්ති යනවා.

උදාරා ඉන්දීවරී ජිනදාස

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon